රැකියාවට එහා ගොස් මානුෂීයව සේවය කරනු ඇතැයි විශ්වාස කරනවා
- CNL Reporter
- May 26, 2025
- පුවත්
- අගමැතිනිය
- 0 Comments
හෙද හෙදියන් 3147කට පත්වීම් ලිපි ප්‍රදානය කරමින් අගමැතිනිය කියයි
සෞඛ්‍ය ක්ෂේත්‍රයේ පහසුකම් සහ වෘත්තීය සංවර්ධනය ඉහළ නැංවීමට රජය කටයුතු කරන බවත්, හෙද හෙදියන් මානුෂීයව තම සේවාව ලබාදෙනු ඇතැයි තමන් අපේක්ෂා කරන බවත් අගමැතිනි ආචාර්ය හරිනි අමරසූරිය මෙණෙවිය පැවසුවාය. හෙද හෙදියන් 3147ක් සඳහා පත්වීම් ලිපි ලබාදීම වෙනුවෙන් අරලියගහ මන්දිරයේ පෙරේදා (24) පැවති උත්සවයේදී අගමැතිනිය මේ බව පැවසුවාය.
අගමැතිනිය වැඩිදුරටත් මෙසේ ද පැවසුවාය.
“ජීවිතයේ අලුත් ගමනක් අරඹමින් හෙද නිලධාරිනියක් ලෙස රාජ්‍ය සේවයට එකතු වුණු සියලු දෙනාට සුබ පතනවා.ලෝකයේ තිබෙන වෘත්තීන් අතර අතිශයින්ම වැදගත්, අතිශයින්ම ගෞරවාන්විත වෘත්තියකට තමයි ඔබ පිවිසෙන්නේ.
හෙද වෘත්තිය, රැකියාවට එහා ගිය මානව හිතවාදී ජනතාවට අත්‍යවශ්‍ය සේවාවක්.අපි කවුරු වුවත් අසරණ වුණු වේලාවට එන්නේ ඔබගේ සුරක්ෂිතභාවය බලාපොරොත්තුවෙන්. බෙහෙත්වලට අමතරව ඔබගේ සිනහව, කතා විලාසය, කරුණාව සහ රැකබලාගන්නා විදිය යන කරුණු සියල්ලෙන් අප සුවපත් කිරීමේ වැඩි බලපෑමක් කිරීමේ හැකියාව ඔබ සතුව තිබෙනවා. ඔබ ඔබේ රැකියාව කිරීමේ දී විශාල කැපකිරීමක් කරමින් සේවය ලබා දෙනවා.එය කායික කැපකිරීමක් වගේම මානසික කැපකිරීමක්. වාඩි වෙන්න අවස්ථාවක් නැහැ. නිදිවර්ජිතව සිටින අවස්ථා බොහොමයි. ඒ කැපකිරීම්වලින් ඔබටත් ඔබගේ පෞද්ගලික ජීවිතයටත් බලපෑමක් වෙනවා. ඔබේ පවුල් ජීවිතය, පවුලේ අය සමඟ, ඥාතීන් සමඟ, යහළු යෙහෙළියන් සමඟ තිබෙන සම්බන්ධතා සියල්ලටම බලපානවා. ඔවුන්ට ද එය එලෙසම බලපාන බව අප දන්නවා.
එලෙස කැපකිරීම් කරමින් ඔබ සැම ලබාදෙන සේවයට ස්තූතිය පුදකරන්න මම මෙය අවස්ථාවක් කර ගන්නවා. අපේ රජයේ ප්‍රතිපත්තිය අනුව “පොහොසත් රටක් – ලස්සන ජීවිතයක්” සියලු දෙනාට ළඟා කරදීම අපේ මූලික අරමුණයි. ලස්සන ජීවිතයක් තුළ හොඳ සෞඛ්‍යවත් පුරවැසියෙක් බිහි කිරීම අතිශයින්ම වැදගත්. කායික වශයෙන් පමණක් නොව මානසික වශයෙන් ද සුවපත්ව සිටීම අතිශයින්ම වැදගත් දෙයක්. ඒ සඳහා රජයක් ලෙස සෞඛ්‍ය පද්ධතිය ශක්තිමත් කිරීමටත් එහි තිබෙන වෘත්තීන් වෙත අවශ්‍ය පහසුකම්, පුහුණුවීම් ලබාදීමටත් කැප වී සිටිනවා.
හෙද හෙදියන් සඳහා දේශීයවත් විදේශීයවත් විශාල ඉල්ලුමක් තිබෙනවා.ඔබේ වෘත්තීය ගෞරවය රැක ගැනීම සඳහා ගැළපෙන වැටුපක්, අවශ්‍ය උසස්වීම්, දැනුම වර්ධනය කර ගැනීමට අවශ්‍ය පුහුණුවීම් ලබාදීමට අපි කටයුතු කරනවා. රැකියා ස්ථානය මානසික හා කායික වශයෙන් යහපත් ලෙස පවතින ආරක්ෂාකාරී, ඉතා හොඳ පරිසරයක් ගොඩනැඟීම අතිශයින්ම වැදගත්. මේ සියලු දේ සඳහා ඔබගේ ඇමැතිවරයා හා අමාත්‍යාංශය මැදිහත් වන බව විශ්වාසයි.
හෙද සේවයේ වැඩිපුරම දකින්න ලැබෙන්නේ කාන්තාවන්.අපේ සමාජයේ බිරියකගෙන්, මවකගෙන් බලපොරොත්තු වෙන වගකීම් රාශියක් තිබෙනවා. හෙදියක් වූ පමණින් ඒවා මඟඅරින්න බැහැ. අපි රජයක් විදියට මේ සම්බන්ධව සංවේදී වෙනවා වගේම ඔබේ පෞද්ගලික ජීවිතයත් හොඳින් ගත කරන්න හැකි පරිසරයක් ගොඩනඟන එකත් අපේ වගකීමක්” ලෙස ගෙන කටයුතු කරනවා” යැයි ද අගමැතිනිය පැවසුවාය.
සෞඛ්‍ය හා ජනමාධ්‍ය ඇමැති වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා-
“මේ තමයි හෙද සේවයට එකවර පත්වීම් ලබාදෙන විශාලම ප්‍රමාණය. නව රජය පත්වූවාට පසු රාජ්‍ය සේවයට එකවර බඳවා ගන්නා විශාලම කණ්ඩායම. අපි ඉන්නේ පුනරුද යුගයක. අපි කවුරුත් මේ රට වෙනස් කිරීමේ අරමුණින් ඇපකැප වෙලා වැඩ කරන අය. අපිට විශාල බලාපොරොත්තුවක් තිබෙනවා රටේ අනාගතය පිළිබඳව. ඒ බලාපොරොත්තු ඉටු කර ගන්න නම් ඔබත් ඇතුළුව සියලු දෙනාම ආණ්ඩුව පමණක් නොවෙයි සමස්ත රාජ්‍ය සේවාවම ඒ අරමුණින් කටයුතු කළ යුතුයි. අපි බලාපොරොත්තු වෙනවා රාජ්‍ය සේවය මාතෘත්වයේ ගුණාංග සහිතව කටයුතු කරයි කියලා. රාජ්‍ය සේවාව කාර්යක්ෂමව, ඵලදායීව හා නිවැරදිව මනුෂ්‍යත්වයෙන් සපිරිව කටයුතු නොකළහොත් අපි බලාපොරොත්තු වන පුනරුදයට ගමන් කරන්න ලැබෙන්නේ නැහැ. දැන් අප ඉන්නේ එවැනි අවස්ථාවකයි.”
සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා ඇතුළු සෞඛ්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම්වරු, නිලධාරීන් හා කාර්ය මණ්ඩලයේ පිරිසක් මේ අවස්ථාවට සහභාගි වූහ.
නුවන් කොඩිකාර