රෝගීන් දුෂ්කරතාවයට පත්වන අයුරින් කටයුතු කළහොත් ජනතාවගේ පැත්තේ සිටගෙන තීන්දු ගන්නවා – සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස

රෝගීන් ඇපයට තබාගෙන, රෝගීන් දුෂ්කරතාවයට පත්වන අයුරින්, සෞඛ්‍ය සේවය අඩපණ වන ආකාරයට කිසිවෙක් කටයුතු කරනවානම් ජනතාවගේ පැත්තේ සිටගෙන ඒ වෙනුවෙන් තීන්දු ගැනීමට වත්මන් රජය බැඳීසිටින බවත්, ඒ වෙනුවෙන් නොපැකිළිව කටයුතු කරන බවත්, සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා අවධාරණය කර සිටියේ ය.

අමාත්‍යවරයා මේ බව කියා සිටියේ ලෝක වකුගඩු දිනය වෙනුවෙන් සමස්ත ලංකා වකුගඩු රෝගීන්ගේ සංගමය සංවිධානය කරන ලද ලෝක වකුගඩු දින සැමරුම් උත්සවයට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස එක්වෙමින් ය.

වත්මන් රජයේ  ප්‍රමුඛ අරමුණ ජනතාවගේ සෞඛ්‍ය තත්ත්වය මෙන් ම සෞඛ්‍ය ආරකෂාව බවත්, මෙම පණිවිඩය තේරුම් ගෙන සියලු සෞඛ්‍ය වෘත්තිකයන් කටයුතු කරනු ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශයත්, රජයත් බලාපොරොත්තු වන බවත්, සෞඛ්‍ය වෘත්තිකයින් සමග සාකච්ඡාකර විසදාගත නොහැකි ගැටලු, ප්‍රශ්න  කිසිවක් නොමැති බවත්, ඒ වෙනුවෙන් රජය ඕනෑම අවස්ථාවක කැපවීමට සූදානම් බව ද පැවසී ය.

කලින් පැවති රජයන්, කටයුතු කළ ආකාරයට නොව ජනතාවට, සෞඛ්‍ය වෘත්තිකයින්ට අවශ්‍ය ඕනෑම ගැටලුවක්, ප්‍රශ්නයක් වර්තමාන රජය සමග සාකච්ඡා කර විසඳා ගැනීමට හැකියාව ති‌බෙවත්, එම  සාකච්ඡාවලට රජයක් ලෙස ජනතාවගේ පැත්තේ සිට ගෙන විසඳුම් ලබා දෙන්නට ඕනෑම අවස්ථාවක සූදානම් බව ද අමාත්‍යවරයා මෙහි දී අවධාරණය කර සිටියේ ය.

ලක්ෂ එකහමාරක  සෞඛ්‍ය  බලඇණියක් මෙරට සෞඛ්‍ය ක්ෂේත්‍රයේ කටයුතු කරන බවත්, ඔවුන්ගේ සේවාව මෙරටට අත්‍යවශ්‍ය බව ද, එම පිරිස විශාල කාර්යභාරයක් උසුලමින් කටයුතු කරන බව ද සිහිපත් කළ අමාත්‍යවරයා  වාට්ටුවට, බාහිර රෝගී අංශයට, සායනයට, විවිධ  දුෂ්කරතාවයන් සමග පැමිණෙන රෝගියා වෙනුවෙන් ඉහළ ම සත්කාරය ලබාදීම සෞඛ්‍ය වෘත්තිකයන්ගේ  වගකීමක්, යුතුකමක්  බව ද පෙන්වා දුන්නේ ය.

රාජ්‍ය සංවිධාන, රාජ්‍ය නොවන සංවිධාන, ස්වේච්ඡා සංවිධාන මේ සියලු දෙනාගේම  අවසන් බලාපොරොත්තුව මෙරට සෑම පුරවැසියෙකුටම උසස් සෞඛ්‍ය සම්පන්න ජීවිතයක් අත්පත් කර දිම බව පෙන්වා දුන් අමාත්‍යවරයා, එයට රජය විසින් වියදම් කරනු ලබන්නේ ජනතාව විසින් ම ගෙවන බදු මුදල් බවත්, වත්මන් රජයේ අපේක්ෂාව මෙරට ජනයාගෙන් භාණ්ඩාගාරයට එකතු කරන සෑම බදු රුපියලකටම අවශ්‍ය කරන ඉහළ ම වටිනාකම ලබා දීම බව ද පැවසීය.

ජාතික සැලැස්මකට අනූව කටයුතු කිරීම වත්මන් රජයේ  අපේක්ෂාව බව ද පැවසූ අමාත්‍යවරයා කිසිඳු අවස්ථාවක දේශපාලඥයින්ගේ ප්‍රතිරූප ඉහළ නැංවීමට අදහස් නොකරන බවත්, ඒ වෙනුවට ජනතා සේවය නිබඳව සිදු කරන බව ද වැඩිදුරටත් පැවසී ය.

ශ්‍රී ලාංකික වකුගඩු රෝග නිවාරණයට,පර්යේෂණයට වකුගඩු රෝගී  ජනතාව  වෙනුවෙන් අනභිභවනීය මෙහෙවරක්  සිදුකළ විද්‍යාජෝතී මහාචාර්ය රිස්වි ශෙරීෆ් මහතා මෙහි දී විශේෂ ඇගයීමකට ද ලක්විය.

සමස්ත ලංකා වකුගඩු රෝගීන්ගේ සංගමය මගින් මෙහි දී වකුගඩු රෝගීන්ට වියළි  ආහාර මලු 225 ක් බෙදා දීම, රුධිර කාන්දුපෙරණ ප්‍රතිකාරය සදහා වවුචර්පත් ප්‍රදානය, වකුගඩු රෝගීන්ගේ දරුවන්ට ශිෂ්‍යත්ව ප්‍රදානය, වකුගඩු රෝගීන්ට ප්‍රවාහන දීමනා ලබා දීම, සෞඛ්‍ය ප්‍රතිලාභ හිමිකම් ගෙවීම, වකුගඩු බද්ධ කළ අය ඇගයීම,වකුගඩු සංගමයේ සුපින්වත් මෙහෙවරයන්ට දායක වූ සුපින්වතුන් ඇගයීම, වකුගඩු පුවත්පතේ 30 වන කලාපය එළි දැක්වීම වැනි සත්කාරයන් ද මෙහි දී සිදුකරන ලදී.

ශ්‍රී ලංකා වකුගඩු රෝගීන්ගේ සංගමය  ලෙස 1987 වර්ෂයේ ආරම්භ කරන ලද මෙම සංගමය වකුගඩු රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය සංජය හෙයියන්තුඩුව මහතා ප්‍රධාන අනුශාසකධූරයට පත්වීමෙන් පසු 2012 වර්ෂයෙ දී සමස්ත ලංකා වකුගඩු රෝගීන්ගේ සංගමය ලෙස පරිවර්ථනය වූ අතර මෙරට වකුගඩු රෝගීන්ට විශාල මෙහෙවරක් එම සංගමය මගින් සිදු කරනු ලබයි.

මෙම අවස්ථාවට ප්‍රවීණ සිනමාවෙදීන් වන ආචාර්ය රවින්ද්‍ර රන්දෙනිය, ජීවන් කුමාරතුංග, ප්‍රවිණ රංගන ශිල්පිනීයන් වන  සංගීතා වීරරත්න, ෆර්නි රෝෂිනී, ප්‍රවිණ ගායක දයාන් විතාරණ, ප්‍රදීපා ධර්මදාස, චරිතා ප්‍රියදර්ශනී    පීරිස් වකුගඩු රෝග පිළිබද විශේෂඥ වෛද්‍ය අර්ජුන මාරසිංහ, ප්‍රවිණ ගී පද රචක බණ්ඩර ඇහැලියගොඩ,හිටපු ප්‍රවිණ ක්‍රිකට් විස්තර විචාරක සේන නන්දවීර, යන මහත්ම මහත්මීන් ද විද්වතුන්, කලාකරුවන්, වකුගඩු රෝගී ජනතාව ඇතුළු විශාල පිරිසක් සහභාගි වූහ.

Leave A Comment