ලංකාවේ හුඟක් රූපලාවන්‍ය ද්‍රව්‍ය කිසිම නියාමනයකට ලක් වන්නේ නෑ

සෞඛ්‍ය ආරක්‍ෂිත ලෙස කිසිදා ක්‍ෂණිකව සුදු වෙන්න බැහැ
චර්ම රෝග විශේෂඥ වෛද්‍ය ඉන්දිරා කහවිට
ලංකාව තුළ ඇති බොහෝ රූපලාවණ්‍ය ද්‍රව්‍ය තුළ තිබිය යුතු බැර ලෝහ ප්‍රමාණයට වඩා අතිශය වැඩි ප්‍රමාණයක් තිබෙන බව සිය අත්දැකීම් ඇසුරෙන් කොළඹ ජාතික රෝහලේ චර්ම රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය ඉන්දිරා කහවිට මහත්මිය කියා සිටියාය.

“පොදුවේ ලංකාවේ රූපලාවන්‍ය අලේපනවල ප්‍රමිතිය හෝ ආරක්ෂිත බව ගැන අපිට ලොකුවට සහතිකයක් දෙන්න බැහැ කියා අපි කියන්නේ ලංකාවේ පාවිච්චි වන හුඟක් රූපලාවණ්‍ය ආලේපන කිසිම නියාමනයකට ලක් නොවන නිසා යැයි විශේෂඥ වෛද්‍ය ඉන්දිරා කහවිට මහත්මිය බීබීසී සිංහල සේවය සමග පවසා තිබේ.

ප්‍රමිතියකින් තොර සුදු වීමේ ආලේපන හෝ සම පැහැපත් කිරීමේ ආලේපන භාවිතය හේතුවෙන් ශරීරයේ විශාලම අවයවය වන සමට හානිදායක විය හැකි බවට ප්‍රමිතියෙන් තොර ආලේපන භාවිතය නිසා සෞඛ්‍ය ගැටලුවලට මුහුණ දුන් බොහෝ පිරිසකට ප්‍රතිකාර කර අත්දැකීම් ඇති විශේෂඥ වෛද්‍යවරිය අනතුරු ඇඟවූවාය.

“තමන්ගේ පෙනුම දියුණු කරගන්න අවශ්‍ය නම් ඒක ගැන අධ්‍යයනයක යෙදිලා ඒකට යමක් කරන්න. එහෙම නැතුව සුදු වුණොත් ලස්සනයි කියන බොළඳ මතයෙන් අයින් වෙන්න. ක්ෂණිකව සුදු වීමට තියෙන කැමැත්ත නැති කරගන්න. එහෙම දෙයක් අපිට කවදාවත් සෞඛ්‍ය ආරක්ෂිත විදියට කරන්න බෑ” යැයි චර්ම රෝග විශේෂඥ වෛද්‍ය ඉන්දිරා කහවිට මහත්මිය වැඩිදුරටත් කියා සිටියාය.

චතුර පමුණුව

Leave A Comment