ලංකා බැංකුවේ නව සභාපති කාවින්ද ද සොයිසා

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම රාජ්‍ය බැංකුව වන ලංකා බැංකුවේ නව සභාපතිවරයා ලෙස කීර්තිමත් බැංකුකරුවකු වන කාවින්ද ද සොයිසා මහතා පත්කර ඇත. බැංකු ක්‍ෂේත්‍රය ආශ්‍රිතව වසර 30කට අධික පළපුරුද්දක් සහිත ද සොයිසා මහතා, වසර 25කට අධික සිය කළමනාකරණ පළපුරුද්ද හරහා දේශීය මෙන් ම ගෝලීය බැංකු වෙත සැලකිය යුතු දායකත්වයක් ලබා දී ඇති වෘත්තිකයකු ලෙස හඳුන්වා දිය හැකි ය.

“ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම බැංකුව වගේම රටේ මූල්‍ය ක්‍ෂේත්‍රයේ ප්‍රමුඛතම සන්නාමයක් ලෙස හඳුන්වා දිය හැකි ලංකා බැංකුවේ සභාපතිවරයා ලෙස පත්වීමට ලැබීම ගැන ඉමහත් සතුටට පත් වෙනවා. ලංකා බැංකුවේ නිලධාරීන් සමඟ එක්ව ගනුදෙනුකරුවන් සහ සියලු පාර්ශ්වකරුවන් වෙත සුවිශේෂී සේවාවක් ලබාදීමට මම බලාපොරොත්තු වෙනවා. ඒ වගේම ‘ජාතියේ මහා පහන් ටැඹ’ ලෙස ලංකා බැංකුවේ ජාතික මෙහෙවර මනාව ඉටු කිරීමට සහයෝගය ලබා දෙන බවත්, ශ්‍රී ලාංකේය ආර්ථිකය සංවර්ධනය කිරීම සඳහා නවෝත්පාදන සමඟ අනුගත වෙමින් ලංකා බැංකුවේ උරුමය ආරක්ෂා කිරීමට කැප වන බවත් පැවසීමට කැමතියි.” යනුවෙන් ද සොයිසා මහතා සිය නව පත්වීම පිළිබඳ අදහස් දක්වමින් ප්‍රකාශ කළේය.

මෑත කාලීනව Citybank N.A. හි Sri Lanka අධ්‍යක්ෂවරයකු සහ මෙරට ව්‍යාපාර ප්‍රධානියා ලෙස සේවය කළ ද සොයිසා මහතා, Citigroup හි දශක දෙකකට ආසන්න කාලයක් සේවය කරමින් ආයතනික හා ආයෝජන බැංකුකරණය, ප්‍රාග්ධන වෙළෙඳපොළ සහ උපදේශනය යන ක්ෂේත්‍ර ගණනාවක් පිළිබඳ මනා පළපුරුද්දක් ලබා ඇත. එමෙන්ම ඒ මහතා දශකයකට වැඩි කාලයක සිට මෙරට කළමනාකරණ සහ බලයලත් පාලන කමිටු සියල්ලකම ප්‍රධාන සාමාජිකයකු ලෙස ද කටයුතු කරයි.

මොරටුව ශාන්ත සෙබස්තියන් විද්‍යාලයේ ආදි සිසුවකු වන ද සොයිසා මහතා, කොළඹ විශ්වවිද්‍යාලයෙන් MBA උපාධිය ලබා ඇති අතර, එහිදී ස්වර්ණ මුද්‍රිකලාභියකු ලෙස සිය විශිෂ්ටත්වය ප්‍රකට කිරීමට සමත් විය. වයස අවුරුදු 18 දී බැංකු සහකරුවකු ලෙස සිය වෘත්තීය ජීවිතය ආරම්භ කළ ද සොයිසා මහතා, Citigroup හා සම්බන්ධවීමට පෙර NDB බැංකුව, Nations Trust බැංකුව සහ සෙලාන් බැංකුව යන ආයතනවල සේවය කර ඇත.

ද සොයිසා මහතා එක්සත් රාජධානියේ කළමනාකරණ වරලත් ගණකාධිකාරී ආයතනයේ (CIMA), ශ්‍රී ලංකා බැංකුකරුවන්ගේ ආයතනයේ (IBSL), ශ්‍රී ලංකා සහතික කළ කළමනාකරණ ගණකාධිකාරී ආයතනයේ (CMA) සහ මහා බ්‍රිතාන්‍යයේ වරලත් අලෙවිකරණ ආයතනයේ (CIM) ආශ්‍රිත සාමාජිකයකු ලෙස මෙන්ම වරලත් ගෝලීය කළමනාකරණ ගණකාධිකාරීවරයකු (CGMA) ලෙස කටයුතු කරයි. ඊට අමතරව එක්සත් රාජධානියේ CIMA හි ගෝලීය කවුන්සිල සාමාජිකයකු ලෙස මෙන්ම AICPA හි (ජාත්‍යන්තර සහතික ලත් වෘත්තීය ගණකාධිකාරීවරුන්ගේ සංගමය) MESANA කලාපයේ සභාපතිවරයා ලෙස සේවය කර ඇති ද සොයිසා මහතා, 2011 වසරේ සිට CIMA ගෝලීය සභාවේ ජ්‍යෙෂ්ඨ සාමාජිකයකු ලෙස ද කටයුතු කරයි. එමෙන්ම ද සොයිසා මහතා චිකාගෝ විශ්වවිද්‍යාලයේ Booth School of Business වෙතින් දත්ත සහ විශ්ලේෂණ ක්ෂේත්‍රය පිළිබඳ විධායක අධ්‍යාපන වැඩසටහනක් ද සම්පූර්ණ කර ඇත. ඊට අමතරව ශ්‍රී ලංකා

බැංකුකරුවන්ගේ ආයතනයේ ප්‍රධාන පරීක්ෂක, උප පරිපාලක සහ උපදේශකයකු ලෙස කටයුතු කර ඇති ඒ මහතා, කොළඹ විශ්වවිද්‍යාලයේ සහ රුහුණ විශ්වවිද්‍යාලයේ බාහිර ජ්‍යෙෂ්ඨ කථිකාචාර්යවරයකු ලෙස ද කටයුතු කරන අතර, ඔහු ශ්‍රී ලංකාවේ ඇමරිකානු වාණිජ මණ්ඩලයේ අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයකු වශයෙන් ද කටයුතු කර ඇත.

ආයතනික හා ආයෝජන බැංකුකරණය, අවදානම් කළමනාකරණය, ඒකාබද්ධ කිරීම් හා අත්පත් කර ගැනීම්, උපදේශන සේවා, ප්‍රාග්ධන වෙළෙඳපොළ, ව්‍යාපෘති මූල්‍ය, සංවර්ධන බැංකුකරණය, සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය සඳහා ණය ලබාදීම, කළමනාකරණ ගිණුම්කරණය, උපාය මාර්ග සහ ආයතනික සැලසුම්කරණය, ශාඛා බැංකුකරණය, ශාඛා මෙහෙයුම් හා විගණනය සහ අලෙවිකරණය ඇතුළු විවිධ ක්ෂේත්‍ර ගණනාවක් පිළිබඳ විශේෂඥ දැනුමකින් හෙබි, ද සොයිසා මහතාගේ පත්වීම ලංකා බැංකුවේ නව පරිච්ඡේදයක ආරම්භයක් ලෙස සඳහන් කළ හැකිය.

ප්‍රභාත් විතාන

Leave A Comment