
ලෝක ආර්ථික අභියෝග විසදෙන තුරු වට මේසයේ රැඳී සිටින්න – කරු ජයසූරිය
- Sujeewa Senerath
- April 16, 2025
- දේශපාලන, පුවත්
- nmsj
- 0 Comments
දේශපාලන නායකයින් වෙත මාතෘභූමියේ අභිවෘධිය වෙනුවෙන් හෘදයාංගමව කෙරෙන ආයාචනයකි.
ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතාගේ නව බදු ප්‍රතිපත්තිය නිසා ලෝක ආර්ථිකයටත් ශ්‍රී ලංකාවටත් මුහුණ දීමට සිදුව ඇත්තේ ඉතා අවාසනාවන්ත කාල පරිච්ඡේදයකටයි. ලක්ෂ සංඛ්‍යාත රැකියා අහිමිවීමටත් මුළු ආර්ථිකයේ බිඳවැටීමකට මෙන්ම ආහාර හිඟයකට හා දැරිය නොහැකි ජීවන වියදම් රටාවකටද ජනතාව ගොදුරු වනු ඇත. මෙහි ආදීනව තේරුම් ගෙන ජනාධිපතිවරයා හා මුළු විපක්ෂයම වටමේස සාකච්ඡාවකින් පසු එක්ව ක්‍රියා කිරීමේ පෙර නිමිති අප තුළ නව බලාපොරොත්තු ඇති කරයි.
1983 – 2009 ජනවාර්ගික ගැටුම්වලදී දහස් ගණන් අසරණ ජීවිත අහිමි වනවිට හා ජාතික ධනය විනාශ වන විටත්, 2022/2023 වර්ෂ වල විදේශ විනිමය නොමැතිව රට වැසියා අනේක දුක් කම්කටොළු, අග හිඟකම් වලින් පීඩා විඳි අවස්ථාවේදීත් දේශපාලන නායකයින් තුළ එවැනි එකඟතාවයකට පැමිණීමට නොහැකි වීම දේශයේ අභාග්‍යයකි. එසේ පොදු ප්‍රශ්ණ වලදී සමඟිය ඇති වී තිබුණිනම් නම් අද අප රට සෞභාග්‍යමත් රටකි.
දැනට යෝජිත එකඟත්වය අපට මුහුණ දීමට සිදුවන ඊළඟ අභියෝගයේ දී ද ඉදිරියට ගෙන යාම ඉතා වැදගත්වේ. යුරෝපියානු සංගමය ශ්‍රී ලංකාවට ලබා දුන් GSP+ සහනය තුළින් රටට විශාල වාසි ලැබිණි. ඇමරිකානු වෙළඳපල මෙන්ම යුරෝපියානු සංගම් වෙළඳපල ද අප රටට ඉතා වැදගත් වේ. එම සංගමයේ මීළඟ සමාලෝචනය සඳහා විශේෂ නියෝජිත පිරිසක් ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතය. GSP+ සඳහා කොන්දේසි රාශියක් ඉදිරිපත් වී ඇතත් පහත සඳහන් වැදගත් කරුණු සඳහා පොදු එකඟතාවයකට පැමිණීම ඉතා වැදගත් වේ.
ත්‍රස්ත විරෝධී පනත (PTA)
අන්තර්ජාතිකව හා විපක්ෂයේ සියලු දේශපාලන පක්‍ෂ මෙන්ම මාධ්‍ය හා සිවිල් සමාජය ද මෙම පනත සඳහා සිය විරෝධය ප්‍රකාශ කොට ඇත. මෙයට ප්‍රධාන වශයෙන් හේතු වූයේ පැවති රජයන් පනතේ බලතල අපයෝජනයට ලක් කිරීමයි මෙය තවදුරටත් සිදුවේ. මේ පිළිබඳව සමාජ කතිකාවක් ඉක්මනින් ආරම්භ කළ යුතුය. අධිකරණ අමාත්‍යවරයා විසින් මේ සඳහා කමිටුවක් පත් කර ඇති අතර එහි තීරණ ඉකිමණින් ක්‍රියාත්මක කළ යුතුය.
මාධ්‍ය නිදහස හා මාර්ගගත කටයුතුවල සුරක්ෂිතභාවය පිළිබඳ පනත.
මෙහිදී ද දැනටමත් යුරෝපියානු සංගමය හා මාධ්‍යවේදීන් සිය දැඩි විරෝධය පළ කර ඇත. මේ සඳහා දේශපාලන එකඟතාවය ඉතා වැදගත් වේ. මෙහි දී ද අයහපත් තීරණ ගත් අවස්ථා අප අවධානයට යොමු විය.
නව ව්‍යවස්ථාවක් එළිදැක්වීම.
ජනාධිපතිවරයා විසින් මැතිවරණයට පෙර ප්‍රකාශිත පරිදි නව ව්‍යවස්ථාවක් සඳහා රට තුළ හා විශේෂයෙන් උතුරු නැගෙනහිර ජනතාව දැඩි බලාපොරොත්තු තබා ඇත. යුරෝපියානු සංගමය තුළින්ද ජාතික සමගිය ඇතිකර ගැනීම සඳහා ව්‍යවස්ථාවක් එළි දැක්විය යුතු බවට අවධාරණය කර ඇත. මෙහිදී ද දිනසීමා ඇතිව පුළුල් කතිකාවතක් අවශ්‍ය වේ.
08 වැනි පාර්ලිමේන්තුවේ දී ද මේ වෙනුවෙන් විශාල කාර්යභාරයක් සිදු වූ අතර දැනට ඉතිරිව ඇත්තේ ඉතාමත් කෙටිකාලීන වැඩසටහනකි.
මානව හිමිකම් කඩවීම හා ජිනීවා බලපෑම්.
මෙහිදී ද ශ්‍රී ලංකාව වෙත එල්ල කරන චෝදනාවලට මුහුණ දිය යුතු අතර අවැසි පියවර නොපමාව ගැනීමයෝග්‍ය වේ. රට පාවා නොදෙන ශීලාචාර ලෝකයේ සම්මුතීන් තුළ ක්‍රියා කිරීම අපහසු නොවේ.
ඉහත සඳහන් ප්‍රධාන ගැටළු සඳහා ජාතික මට්ටමේ එකඟතාවයක් සර්වපාක්ෂික සමුළුවක් තුළින් ලබා ගත හැකි බව අපගේ විශ්වාසයයි.
මෙම දුෂ්කර මොහොතේ සියලු දේශපාලන නායකයින්ට අප ආයාචනය කරන්නේ පටු දේශපාලනයෙන් බැහැරව මෙම අභියෝගවලට සමගියෙන් හා සමාදානයෙන් මුහුණ දෙන ලෙසයි. සිවිල් සමාජයේ පැවැත්ම හා වටිනාකම රජයේ අවධානයට යොමු විය යුතුයි.
අප මෙම අදහස් යොමු කරන්නේ ජාත්‍යාලයෙන් යුතුවයි.
සෑම දෙනාටම වාසනාවන්ත නව වසරකට ආසිරි පතමු !
