ලෝක ආර්ථික අර්බුදය විසඳෙන තුරු වට මේසයේ රැඳී සිටින්න – කරූ ජයසූරිය දේශපානඥයින්ගෙන් ඉල්ලයි

ලෝක ආර්ථික අර්බුදය විසදෙන තුරු වට මේසයේ රැඳී සිටින්නැයි සාධාරණ සමාජක් සඳහා වන ජාතික ව්‍යාපාරයේ නායක කරු ජයසූරිය දේශපාලන නායකයින්ගෙන් ආයාචනාත්මකව ඉල්ලා සිටී.

ඔහු මෙම ඉල්ලිම කර ඇත්තේ මාධ්‍ය නිවේදනයක් මගිනි.

සාධාරණ සමාජක් සඳහා වන ජාතික ව්‍යාපාරයේ නායක කරු ජයසූරියගේ අත්සනින් යුත් මෙම මාධ්‍ය නිවේදනයෙන් ඔහු අවධාරණය කරන්නේ ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ නව බදු ප්‍රතිපත්තිය නිසා ලෝක ආර්ථිකයටත් ශ්‍රී ලංකාවටත් මුහුණ දීමට සිදුව ඇත්තේ ඉතා අවාසනාවන්ත කාල පරිච්ඡේදයකට බවයි.

එම කාල පරිච්ඡේදය ඇතුළත ලක්ෂ සංඛ්‍යාත රැකියා අහිමිවීමටත්, මුළු ආර්ථිකයේ බිඳවැටීමකට මෙන්ම ආහාර හිඟයකට සහ දැරිය නොහැකි ජීවන වියදම් රටාවකට ද ජනතාව ගොදුරු වනු ඇති බවට ද අවධාරණය කර ඇත.

එබැවින් මෙම තත්ත්වයෙහි ආදීනව තේරුම් ගෙන ජනාධිපතිවරයා සහ මුළු විපක්ෂය ම වටමේස සාකච්ඡාවකින් පසු එක්ව ක්‍රියා කිරීම වඩාත් සුදුසු බව හෙතෙම පැහැදිලි කරයි.

එමෙන් ම 1983 – 2009 ජනවාර්ගික ගැටුම්වල දී දහස් ගණන් අසරණ ජීවිත අහිමි වනවිට, ජාතික ධනය විනාශ වන විට, 2022/2023 වර්ෂවල විදේශ විනිමය නොමැතිව රට වැසියෝ අනේක දුක් කම්කටොළු, අග හිඟකම්වලින් පීඩා විඳි අවස්ථාවලදී වුව ද දේශපාලන නායකයින් තුළ එවැනි එකඟතාවයකට පැමිණීමට නොහැකි වීම දේශයේ අභාග්‍යයක් බව ඔහු අවධාරනය කරයි. එබඳු පොදු ප්‍රශ්ණ පැන නැගි අවස්ථාවල දී සමගිය ඇති වී තිබුණි නම් අද අප රට සෞභාග්‍යමත් රටක් යැයි ඔහු සිහිපත් කරයි.

තව ද අනාගතයේ දී මුහුණ දීමට සිදුවන GSP+ ගැටලුව සම්බන්ධයෙන් ද අවධානය යොමු කරන හෙතෙම: ත්‍රස්ත විරෝධී පනත, මාධ්‍ය නිදහස හා මාර්ගගත කටයුතුවල සුරක්ෂිතභාවය පිළිබඳ පනත සහ නව ව්‍යවස්ථාවක් එළිදැක්වීම යන කරුණු කෙරෙහි විශේෂ අවධානයක් යොමු කළ යුතු බව ද ඔහු සිහිපත් කරයි.

මතු දැක්වෙන්නේ සාධාරණ සමාජක් සඳහා වන ජාතිකක ව්‍යාපාරයේ නායක කරු ජයසූරිය විසින් නිකුත් කරනු ලැබ ඇති සම්පූර්ණ මාධ්‍ය නිවේදනය යි.

(සටහන | ජයසිරි අලවත්ත)

Leave A Comment