වකුගඩු රෝගී දීමනාව 10,000ට නංවයි – දීමනා කප්පාදුවක් නෑ

වකුගඩු රෝගී දීමනාව රුපියල් 10,000 දක්වා වැඩි කිරීමට රජය තීරණය කර තිබේ. ඒ අනුව වකුගඩු රෝගීන් සඳහා දෙන දීමනාව දෙසැම්බර් මාසයෙන් පසුව කප්පාදු කරන බවට පළ වන වාර්තා සම්පූර්ණයෙන්ම අසත්‍ය බව ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ සහ ප්‍රජා සවිබලගැන්වීම් අමාත්‍යාංශය පවසයි. රජය මඟින් ක්‍රියාත්මක කරන සවිබල ගැන්වීමේ වැඩසටහන් සඳහා ප්‍රාදේශීය ලේකම් කාර්යාල මට්ටමින් තොරතුරු යාවත්කාලීන කිරීමක් මේ දිනවල සිදු කරන නමුත් එමඟින් ජනතාවට ලැබෙන කිසිදු ප්‍රතිලාභයක් අහිමි කිරීමක් සිදු නොවන බව ද එම අමාත්‍යාංශය කියයි. දැනටමත් රජය මඟින් විශ්‍රාමික දීමනාව රුපියල් 3000කින් වැඩි කර ඇති අතර, අස්වැසුම රුපියල් 7500 දීමනාව රුපියල් 10,000 දක්වාත් රුපියල් 15,000 දීමනාව රුපියල් 17,500 දක්වාත් ඉහළ දමා ඇත. ගොවීන්ගේ පොහොර සහනාධාරය රුපියල් 15,000 සිට රුපියල් 25,000 දක්වා ඉහළ දමා ඇත. දිළිඳු පවුල්වල පාසල් ළමයින් සඳහා පාසල් උපකරණ මිල දී ගැනීම සඳහා රුපියල් 6,000ක දීමනාවක් දීම, ධීවරයන් සඳහා සහනාධාරය ඉහළ දැමීම වැනි සමාජ සවිබල ගැන්වීමේ ව්‍යපෘති රැසක් රජය ක්‍රියාත්මක කර අවසන් වේ. වකුගඩු රෝගීන්ගේ දීමනාව රුපියල් 7,500 සිට රුපියල් 10,000 දක්වා වැඩි කිරීමට මෙවර අය-වැයෙන් යෝජනා කර ඇති අතර එවැනි තත්ත්වයක් තුළ මෙම සහනාධාරය කිසිසේත් කප්පාදුවක් නොකරන බව ද ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ සහ ප්‍රජා සවිබලගැන්වීම් අමාත්‍යාංශය කියයි.

ආබාධ සහිත තැනැත්තන් සඳහා වූ ජාතික මහලේකම් කාර්යාලයේ තොරතුරු අනුව දැනට වකුගඩු රෝගීන් හතළිස් හත්දහස් දෙසිය හතළිස් හතරක් (47,244) ලංකාවේ සිටින බවට වාර්තා වන අතර එම සංඛ්‍යාව මීට වඩා වැඩි විය යුතු බවට එම අමාත්‍යාංශය විශ්වාස කරයි.

එම නිසා මෙම තොරතුරු යාවත්කාලීන කිරීම ඉතා වැදගත් කරුණක් වන අතර දැනට වකුගඩු රෝගී දීමනාව ලබන කිසිදු අයකුගේ එම දීමනා කිසිසේත් කප්පාදු නොකරන බව ද කියා සිටී. තවද ජනතාව නොමඟ යවන මෙවැනි අසත්‍ය තොරතුරුවලට නොරැවටෙන ලෙස ජනතාවගෙන් ඉල්ලීමක් කරයි.

මහින්ද අලුත්ගෙදර

Leave A Comment