වචන දෙකක් නැහැ, ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත වහාම අහෝසි කරනු ! – ජ්‍යෙෂ්ඨ නීතිඥ ශිරාල් ලක්තිලක

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතට එරෙහිව කටයුතු කළ පුද්ගලයයෙකු වශයෙන් තමාට ඒ හා සම්බන්ධ හරයාත්මක කරුණු ආදි අංශ කිහිපයක් සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට අවශ්‍ය නමුත් වත්මන් ආණ්ඩුව සම්බන්ධයෙන් ගත් කල ‘සදාචාරාත්මක’ කරුණු සම්බන්ධයෙන් ද කතා කිරීමට සිදුවන බව ජ්‍යෙෂ්ඨ නීතිඥ ශිරාල් ලක්තිලක සඳහන් කළේ ය.

ඔහු මෙහි දී වැඩි දුරටත් පෙන්වා දුන්නේ ‘සිංහල සමාජය’ මෙම පනත දකින්නේ ‘ත්‍රස්තවාදය වැළක්වීමට ගෙනා පනතක්’ වශයෙන් බවයි. මේ මතය හේතුවෙන් ‘මේ පනත අපට අදාළ නෑ’ වැනි මතයක් සිංහල සමාජය තුළ පවතින බව පෙන්වා දුන් ශිරාල් වත්මන් තරුණ පරපුරට මේ පනත ගැන නිසි වැටහීමක් නොමැති බව ද කීවේ ය.

1979 අංක 48 දරන ත්‍රස්තවාදය වැළැක්වීමේ (තාවකාලික විධිවිධාන) පනත් කෙටුම්පත මුල්වරට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවේ 1979 ජුලි මස 19 වැනි දින ය. පළමුවර කියැවීමෙන් පසු පනත් කෙටුම්පතේ ව්‍යවස්ථානුකූලභාවය විමසීම සඳහා එවක ජනාධිපති ජේ.ආර්. ජයවර්ධන විසින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 122 (1) (ආ) අනුව්‍යවස්ථාව අනුගමනය කරමින් ‘ජාතියේ හිතසුව පිණිස වහා අවශ්‍ය වන්නා වූ පනත් කෙටුම්පතක්’ ලෙස අග්‍රවිනිශ්චයකාරවරයා  අමතා යවන ලිඛිත යොමුකිරීමක් ලෙස මෙම පනත් කෙටුම්පත ශ්‍රේෂ්ඨාධිකරණය වෙත යොමු කරන ලදී.

මෙම කරුණ සම්බන්ධයෙන් සිය තීරණය ලබාදීමට 1979 ජුලි මස 19 දින පෙ-ව 10-30ට එම්.ඩී.එම්. සමරකෝන් අග්‍රවිනිශ්චයකාරවරයා ඇතුළු ත්‍රිපුද්ගල විනිසුරු මණ්ඩලය රැස් වූ අතර විනිසුරු මඩුල්ලට සලකා බැලීමට තිබූ එකම ප්‍රශ්නය වූයේ ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත් කෙටුම්පත ජනමත විචාරණයක් මගින් ජනතාව වෙත ඉදිරිපත් කළ යුතුද යන්නයි. ‘මෙම පනත් කෙටුම්පත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ යම් ප්‍රතිපාදනයක් ඉවත් කිරීම හෝ සංශෝධනය කිරීමක් සිදුකිරීම අපේක්ෂා නොකරනේ ය’ යන පදනම මත පනත් කෙටුම්පත ජනමත විචාරණයකට යොමු කිරීම අවශ්‍ය නොවන බවට ගරු ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කරන ලදී. ඉන්පසු, එදින ම ශ්‍රේෂ්ඨාධිකරණය සිය මතය කථානායකවරයාට දැන්වූ අතර පළමුවර කියැවීම මෙන්ම දෙවනවර කියැවීම, කමිටු අවස්ථා සංශෝධන ඉදිරිපත් කිරීම හා තුන්වෙනිවර කියැවීම සිදුවූයේ 1979 ජුලි 19 වන දින ම ය. කෙටුම්පතට කථානායකවරයා අත්සන යෙදුවේ 1979 ජුලි 20 වැනි දින ය. ඒ අනුව, පැය 24ක කාලයක් තුළ ත්‍රස්තවාදය වැළක්වීමේ පනත මෙරට නීතියක් බවට පත්විය. ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමේදී එය එහි දීර්ඝ නාමයෙන් විස්තර කර නොතිබුණු අතර ඒ අනුව පාර්ලිමේන්තුවේ න්‍යාය පුස්තකයට ඇතුළත් කිරීමක් ද නොකළේය.

එසේම, අමාත්‍ය මණ්ඩලය විසින් මෙම පනත් කෙටුම්පත හදිසි පනතක් බවත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 84 (2) අනුව්‍යවස්ථා අනුව නියමිත විශේෂ බහුතර ඡන්දයෙන් සම්මත කිරීමට අපේක්‍ෂා කරන බවත්  ශ්‍රේෂ්ඨාධිකරණයට යවන ලද ලිඛිත යොමුකිරීමේ සඳහන් විය. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ යම්කිසි විධිවිධානයක් සංශෝධනය කිරීම හෝ ඉවත් කිරීමට නොවන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුකූල නොවන පනත් කෙටුම්පත් පාර්ලිමේන්තුවේ 3/2ක විශේෂ බහුතර ඡන්දයකින් සම්මත කරගන්නා ආකාරය 84 (2) අනුව්‍යවස්ථාව දක්වයි.ඒ අනුව, ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත් කෙටුම්පත නීතියක් බවට පත්කිරීමේ කාර්යයේදී ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනනුකූල පනතක් වුව ද සම්මත කර ගැනීමට පාර්ලිමේන්තුවට ඇති විශේෂ බලය එවක ජනාධිපතිවරයා ප්‍රමුඛ අමාත්‍ය මණ්ඩලය විසින් ක්‍රියාවේ යොදවන ලදී. ඒ අනුව, පනත් කෙටුම්පත තුන්වනවර කියැවීමේදී ඊට පක්ෂව ඡන්ද 131 ලැබුණු අතර විරුද්ධව කිසිදු ඡන්දයක් නොලැබිණි.

හදිසි පනතක් ලෙස නම් කරන ලද ත්‍රස්තවාදය වැළක්වීමේ පනත් කෙටුම්පතේ ව්‍යවස්ථානුකූලභාවය හෝ එහි යම් ප්‍රතිපාදන සර්ව සාධරණත්වයේ අයිතිවාසිකම, අත්තනෝමතිකව සිරභාරයට ගැනීමෙන්, රඳවා තබාගැනීමෙන් සහ දඬුවම් කිරීමෙන් නිදහස, නීතීයෙන් නියම කරනු ලබනු ලැබූ කාර්ය පටිපාටිය අනුව මිස ආසන්නතම නිසි අධිකරණයේ විනිශ්චයකාරවරයා ඉදිරියට ගෙන ගොස් නීතියෙන් නියම කර ඇති ආකාරයට මිස ඒ තැනැත්තාගේ පෞද්ගලික නිදහස අහිමි කිරීම කිරීම ආදී මූලික අයිතිවාසිකම්වලට ඇතිකරන බලපෑම හෝ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 15 (7) අනුව්‍යවස්ථාවේ දක්වා ඇති මූලික අයිතිවාසිකම් පිළිබඳ සීමාකිරීම්වලට කොතෙක් දුරට අනුකූලදැයි තීරණය කිරීමේ අවස්ථාවක් ගරු ශ්‍රේෂ්ඨාධිකරණයට නොවීය.

1979 දී තාවකාලික විධිවිධාන පනතක් ලෙස සම්මත කරගත් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත (Prevention Terrorism Act – PTA) වර්තමානය වනවිටත් ක්‍රියාත්මක වන නීතියකි. කෙසේ නමුත් එක්සත් ජාතීන්ගේ ජිනීවාහි මානව හිමිකම් කවුන්සිලය, ජාත්‍යන්තර ක්ෂමා සංවිධානය වැනි ජාත්‍යන්තර සංවිධාන මෙන් ම ශ්‍රී ලංකාව තුළ ක්‍රියාත්මක වන මානව හිමිකම් සංවිධාන, වෘත්තිය සමිති හා ශිෂ්‍ය ව්‍යාපාරය මෙන් ම බොහෝ සංවිධාන ද එය අහෝසි කරන ලෙස වසර ගණනක් තිස්සේ ඉල්ලීම් කර තිබේ.

2022 වසරේ ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ජිනීවා මානව හිමිකම් කවුන්සිලයේ සම්මත කරගත් යෝජනාවේ ද ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අහෝසි කරන ලෙස රජයට දැනුම් දී තිබේ. ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත (Prevention Terrorism Act – PTA) වෙනුවට ත්‍රස්ත විරෝධී පනත් කෙටුම්පතක් (Anti-Terrorism Act – ATA) රජය පළමු වරට ඉදිරිපත් කළේ 2023 මාර්තු මාසයේ දී වුවත් එයට එල්ල වූ විවේචන හමුවේ රජය එක් පියවරක් පසුපසට ගන්නා ලදි. නමුත් එම පනත් කෙටුම්පතට සංශෝධන කිහිපයක් එක් කරමින් 2023 සැප්තැම්බර් 15 දිනැති ගැසට් පත්‍රයේ පනත් කෙටුම්පත පළ කළේ ය.

වත්මන් ආණ්ඩුවට නායකත්වය දෙන ජනතා විමුක්ති පෙරමුණ ද ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත සම්බන්ධයෙන දීර්ඝ කාලයක් පුරා දැඩි විවේචනයක සිටි අතර පසුගිය මැතිවරණ වෙනුවෙන් ඉදිරිපත් කළ ඔවුන්ගේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ මෙම පනත අහෝසි කරන බවට ද ප්‍රතිඥා දී තිබේ. නමුත් පසුගිය ‘මහවිරු’ සමයේ උද්ගත වූ යම් යම් තත්ත්වයන් හමුවේ මෙම පනත යළි කරළියට පැමිණි අතර ඒ සමඟ ‘වත්මන් ආණ්ඩුව මෙම පනත අහෝසි කරන්නේ ද ? යන සංවාදය යළි ආරම්භ විය.

මේ සම්බන්ධයෙන් සිය අදහස තව දුරටත් පැහැදිලි කරමින් ශිරාල් ලක්තිලක මෙසේ  ද සඳහන් කළේ ය. ‘සිංහල සමාජයේ බහුතරයක් තුළ මේ පනත තමන්ට (සිංහල ජනතාවට) අදාළ නොවන පනනත් බවට අදහසක් තිබුණත් ඇත්තට ම මේ පනත ජාති භේදයකින්, ආගම් භේදයකින් තොරව ක්‍රියාත්මක වූ බව අපි දන්නවා. මේ පනත හඳුන්වා දුන් ආරම්භක යුගයේ සිට මේ පනත මූලික වශයෙන් ක්‍රියාත්මක වුණේ එවකට පැවැති උතුරේ සන්නද්ධ අරගයට සම්බන්ධ දමිළ ජාතිකයින් අත්අඩංගුවට ගැනීම ආදියට වුණත් 1987-89 ජනත විමුක්ති පෙරමුණේ කැරැල්ල සමයේ දී එම පෙරමුණට අයත් ක්‍රියාකාරීන් ද මේ පනත යටතේ අත්අඩංගුවට ගෙන නඩු පැවරීම සිදු වුණා. ඒ නිසා අපි තරුණ නීතිඥයින් ලෙස කටයුතු කළ මුල් අවධියේ දී එවකට ක්‍රියාත්මක වූ රාජ්‍ය නොවන සංවිධානයක් වූ ‘මර්ජ්’ සංවිධානය මඟින් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගත් පුද්ගලයින්ට නීතිඥ සහාය ලබා දුන්නත් පසුව මේ යටතේ අත්අඩංගුවට පත්ව සිටි ජවිපෙ කැරැලිකරුවන්ටත් නීතිඥ සහාය ලබා දුන්නා. මම හිතන්නේ තමන්ගේ සහෝදරයෝ 1988-89 දී මේ පනත යටතේ පීඩාවට පත් වූ ආකාරය ගැන ජවිපෙට යම් ‘සහකම්පනයක්’ තිබිය යුතුයි”

මෙම පනතේ ඇති ‘බිහිසුණු සහ අත්තනෝමතික භාවය ගැන පැහැදිලි කරමින් ශිරාල් ලක්තිලක පෙන්වා දුන්නේ, ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගන්නා යම් සැලකරුවෙකු ඒ.එස්.පී වරයෙකුට යම් පාපොච්චාරණයක් ලබා දුන්නහොත් එම පාපොච්චාරණය යටතේ මරණීය දණ්නය නියම කිරීමට පවා මෙම පනත තුළ ප්‍රතිපාදන පවතින බවයි. මේ හා සම්බන්ධ උදාහරණයක් පැහැදිලි කරමින් ශිරාල් ලක්තිලක පෙන්වා දුන්නේ, මෙවැනි පාපොච්චාරණයක් මත පදනම්ව කොළඹ මහාධිකරණයේ දී ජනතා විමුක්ති පෙරමුණේ එක් සැකකරුවෙකුට ජීවිතාන්තය දක්වා සිරදඬුවමක් ලබා දෙද් දී එදිනම කොළඹ මහාධිකරණයේ තවත් ශාලාවක මෙවැනි ම පාපොච්චාරණයක් ලබා දුන් ජවිපෙ සැකකරුවෙකුට නිදහස හිමි වූ බවයි. ජනතා විමුක්ති පෙරමුණේ ක්‍රියාකාරීන්ම වින්දිතයින් වූ මෙවැනි සිදුවීම්  විශාල ප්‍රමාණයක් පවතින බව පෙන්වා දුන් ශාරාල් ලක්තිලක පසු කාලීනම මුස්ලීම් ජාතිකයින් ද මෙම පනතේ වින්දිතයින් වූ ආකාරය පැහැදිලි කළේ ය.

අදාළ සැකකරු ස්වේච්ඡාවෙන් සිය පාපොච්චාරණය ලබා දුන්නා ද යන්න සොයා බැලීමට අධිකරණයම ක්‍රියාවලියක් තිබුණ ද එය ඉතාමත් අසීරු කටයුත්තක් බව මෙහිදී ශිරාල් ලසන්ත ද සිල්වා යොමු කළ ප්‍රශ්නයකට පිළිතුරු වශයෙන් සඳහන් කළේ ය.

මේ සම්බන්ධයෙන් වැඩි දුරටත් කරුණු පැහැදිලිකරමින් ශිරාල් මෙසේ ද පෙන්වා දුන්නේ ය,  ‘අපි මේ සම්බන්ධයෙන් සමීක්ෂණයක් කළා, ඒ කියන්නේ පාපොච්චාරණ මත රැඳවියන් කී දෙනෙක් සිරදඬුවම් විඳලා තිබෙනවාද කියලා. ඒ කියන්නේ මේ පනත තිබෙන තාක් කල් මෙවැනි දේවල් සිදුවීම ස්වභාවයක්, යථාර්තයක්. අද මෙවැනි පාපොච්චාරණ නොගැනීම සිදුවන්නේ ආණ්ඩුවේ අනුකම්පාව මතනම් ඒක සිදු නොවිය යුතු දෙයක්. ඇමැති විජිත හේරත් කියන ආකාරයට මේ පනත එසේම තිබිය දී එය භාවියට නොගැනීම පුරවැසි අයිතිවාසිකම් සම්බන්ධයෙන් ගත් විට වැදගත් දෙයක් නොවෙයි”

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතෙහි ප්‍රතිවිපාක පුරවැසි අයිතිවාසිකම් හා නීති විද්‍යාව තුළ විග්‍රහ කළ යුතු බව කී ශිරාල් පෙන්වා දුන්නේ මෙම පනත ගෙන ආව් ‘තාවකාලික විධිවිධාන පනතක්’ ලෙසින් බවයි. එවකට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ආසන අටට බැස තිබූ නමුත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මෙම පනතට විරුද්ධ වූ බවත් ශිරාල් මෙහි දී සිහිපත් කළේ ය. මෙම පනත් කෙටුම්පත දැඩිව විවේචනය කරමින් එවකට ශ්‍රී ලංකාවේ කොමියුනිට්ස් පක්ෂයේ මන්ත්‍රීවරයෙකු වූ සරත් මුත්තෙට්ටුවේගම මහතා පාර්ලිමේන්තුවේ දී කළ කතාව අගය කළ ශිරාල් ‘ඔහු මේ පනතේ ආදීනව කලින්ම ප්‍රකාශ කළා’ යැයි ද කීවේ ය.

ජනාධිපති ජේ.ආර්. ජයවර්ධන සහ ආරක්ෂක ආමාත්‍යවරයා වූ ලලිත් ඇතුලත්මුදලි මෙම පනත සම්පාදනයට ගුරු කොට ගත්තේ ‘එවකට මහා බ්‍රිතාන්‍යයේ ක්‍රියාත්මක වූ පනත්’ බවත් මෙහිදී හෙළි කළේ ය. මෙම යුගයේ දී ත්‍රස්තවාදය පරාජය කිරීම හෝ වළක්වා ගැනීම ‘දැඩි නීති මඟින් දඬුවම් පැනවීමෙන් කළ හැකි බව’ විශ්වාස කළත් වර්තමානය වන විට එම අදහස යල්පැන ගොස් ඇති බවත් මෙහි දී ශිරාල් පෙන්වා දුන්නේ ය. මානව හිමිකම් පිළිබඳ විශ්ව ප්‍රකාශනය සහ ශ්‍රී ලංකාවේ ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතෙහි පූර්විකාව අතර බරපතළ පරස්පරතා පවතන බව පෙන්වා දුන් ශිරාල් ‘මෙම පනතේ යල්පැන ගිය බව වටහා ගැනීමට එයම කදිම සක්ෂියක් බව’ සඳහන් කළේ ය.

මෙම තත්ත්වය තුළ නූතන අවශ්‍යතාවයන්ට ගැළපෙන ආකාරයට ‘ප්‍රති ත්‍රස්ත පනතක්’ ගෙන ඒමට ආණ්ඩුවට හැකියාව පවතින බවත් යහපාලන රජය සහ ගෝඨාභය රාජපක්ෂ රජය ද ‘ප්‍රති ත්‍රස්ත පනතක්’ ගෙන ඒමට අදාළ පනත් කෙටුම්පත් පවා සම්පාදනය කළ බවත් ශිරාල් මෙහි දී සිහිපත් කළේ ය.

මෙහි දී ප්‍රති ත්‍රස්ත පනත් සම්පාදනය කිරීමේ දී ආණ්ඩුව සහ සිංහල බෞද්ධ සමාජය කල්පනා කරන ආකාරය වෙත සිය අවධානය යොමු කළ ශිරාල්, මෙම දෙපාර්ශ්වයම කල්පනා කරන්නේ ත්‍රස්ත විරෝධී පනත් අවශ්‍ය වන්නේ සුළුතර ජනවර්ග වෙතින් එල්ල වන ත්‍රස්තවාදී තර්ජන පරාජය කිරීමට බව ද කීවේ ය.

මේ පනත හේතුවෙන් ආණ්ඩුවට මුහුණ දීමට සිදුවන අවාසි ශිරාල් ලක්තිලක මෙසේ පෙන්වා දුන්නේ ය, ‘ඒ පමණක් නොවෙයි රාජ්‍යයේ පැවැත්මට එල්ල වන විවේචන, විරෝධතා පාලනය කරන්න මෙවැනි පනත් අවශ්‍ය යැයි කල්පනා කරන පිරිසකුත් ඉන්නවා. මේ ආණ්ඩුවත් කල්පනා එහෙම කල්පනා කරන බව පේනව. හිටපු සියලු ම ජනාධිපතිවරුන් මේ සම්බන්ධයෙන් කල්පනා කළ ආකාරයත් වත්මන් ජනාධිපතිවරයා කල්පනා කළ ආකාරයත් අතර වෙනසක් නැහැ කියලා අපිට පේනවා. මේ පාලකයින් ‘මෝඩයි’ කියලා තමයි අපිට කියන්න තියෙන්නේ. ත්‍රස්තවාදය වළක්වන්න මේ නීතිවලින් බැහැ. උදාහරණක් විදිහට මේ පනත හඳුන්වා දුන් 1979 සිට ප්‍රභාකරන් ඝාතනය කළ  2009 දක්වා කිසිම ත්‍රස්තවාදී ක්‍රියාවක් පාලනය කරන්න මේ පනතට හැකියාව ලැබුණේ නැහැ. ‘දේශපාලන ත්‍රස්තවාදය’ කියන්නේ කුමක් ද කියලා දන්න අය මේ මිත්‍යාව ගැන පැහැදිලිව දන්නවා. ඒ වගේම ජාත්‍යන්තර සම්බන්ධතා සම්බන්ධයෙන් ගත්විට මේ පනත ‘ඉතාම තීරණාත්මක’ එකක් බවට පත්ව තිබෙනවා. යුරෝපා සංගමය මේක අහෝසි කළ යුතු බවට දැඩිව ඉල්ලා සිටිනවා. මේක තීරු බදු සහන ලබාදීමට හෝ නොදීමට සම්බන්ධ කර තිබෙනවා. පාලකයින්ට මේ පනත නිසා දැරීමට සිදුවන ‘ආවස්ථික පිරිවැය’ ගැන කල්පනා කිරීමට කාලය තිබෙනවා. යුරෝපා සංගමය ලබා දෙන ‘ජී.එස්.පී බදු සහනය’ සම්බන්ධයෙන් 2025දී යළි සමාලෝචනයක් සිදුවෙනවා. නමුත් අපිට මේකට ඉදිරිපත් වෙන්න සිදුවෙන්නේ ම චෝදනා පත්‍රයක් සහිතව. මේක අවාසනාවන්ත තත්ත්වයක්”

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතේ තවත් ඍණාත්මක පැතිකඩක් වෙත සිය අවධානය යොමු කළ ශිරාල් පෙන්වා දුන්නේ ‘මෙම පනත මඟින් චූදිතයාගේ අයිතිවාසිකම් ද අහෝසි වන බවයි’.

මෙහිදී ශිරාල් පෙන්වා දුන්නේ යල්පැන ගිය පනත් තව දුරටත් ක්‍රියාත්මක තලයේ තබාගෙන සිටීම, එය අහෝසි නොකිරීම හරහා මුහුණ දීමට සිදුවන ආර්ථික හානි (ජී.එස්.පී බදු සහනයට අවදානමට ලක්වීම) සහ මානව හිමිකම් සම්බන්ධ ගැටලු ගැන වත්මන් රජයේ දැඩි අවධානය යොමු වීම වැදගත් බවයි.

තම මතයට හේතු පැහැදිලි කළ ශිරාල් මෙසේ ද පෙන්වා දුන්නේ ය. ‘මේ පනත හඳුන්වා දුන් 1979 සිට මේ දක්වා එය ක්‍රියාත්මක වීමේ දී ඇති වුණ හානිකර හා බිහිසුණු තත්ත්වයන් සම්න්ධයෙන්, මූලික අයිතිවාසිකම් කඩවීම් සම්බන්ධයෙන් පුද්ගලයින්ට හෝ දේශපාලන පක්ෂවලට සංවේදීතාවයක් නැහැ, සහකම්පනයක් නැහැ. බලයට පත්වන ඔ්නෑ දේශපාලන පක්ෂයක් කල්පනා කරනවා මේ පනත හරහා ත්‍රස්තවාදය පරාජය කරන්න පුළුවන් කියලා. ඒක හාස්‍යජනක අදහසක් වගේම යල්පැන ගිය අදහසක්. මෙවැනි පනතක් ‘වැදි සමාජයකට’ අදාළ වෙන්න පුළුවන් වුණත් දියුණු ප්‍රජාතන්ත්‍රවාදී සමාජයකට කිසිම අදාළත්වයක් නැහැ. ඒ වගේම මේ පනත හරහා භාෂණයේ සහ අදහස් ප්‍රකාශ කිරීමේ අයිතියට වැට බඳිනවා. ඒ නිසා මට වත්මන් ආණ්ඩුවටත් කියන්න තියෙන්නේ ‘මහත්වරුනේ ! මේක පරණ පනතක්. ආචීර්ණ කල්පිත පනතක්. මේ පනත මඟින් වර්තමාන ලෝකයේ ත්‍රස්තවාදය කිසිම ආකාරයකින් පාලනය කරන්න හැකියාවක් ලැබෙන්නේ නැහැ. මේකෙන් කරන්න පුළුවන් ඔ්නෑම ආණ්ඩුවක ප්‍රතිවාදීන් බියගැන්වීම (පසුගිය මහවිරු සතියේ කළ අයුරින්) පමණ යි. ඒ වගේම මේ පනත යළි යළි ක්‍රියාත්මක වීම හරහා අපි කොතරම් පසුගාමී ද කියලා පැහැදිලි වෙනවා. ඒ නිසා අපි 1990 සිට කළා ඉල්ලීම, ‘ත්‍රස්තවාදය  වැළැක්වීමේ පනත වහාම අහෝසි කරනු !’ කියන එක අදටත් වලංගුයි. මහත්වරුනේ, ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත වහාම අහෝසි කරනු !”

(සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරය සිය ‘කතිකාව’ කාලීන සංවාද මාලාවේ 206 වැනි සංවාදය ‘ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත (Prevention Terrorism Act – PTA) අහෝසි කළ යුතුද?’ යන කාලීන හා ජාතික වශයෙන් වැදගත් මාතෘකාව යටතේ මෙම සංවාදය සඳහා සම්පත් දායකයෙකු ලෙස ජ්‍යෙෂ්ඨ නීතිඥ ශිරාල් ලක්තිලක මහතා, විසින් දක්වන ලද අදහස් ඇසුරින් මෙම ලිපිය සම්පාදනය කර ඇත.)

Leave A Comment