වට්ස්ඇප් හැකර්ලාගේ මහ මොළකරු ලාංකිකයි

විවිධ පුද්ගලයන්ගේ ජංගම දුරකථන වට්ස්ඇප් අංකවලට රිංගා අදාළ පුද්ගලයා වශයෙන් පෙනී සිටින හැකර්ලා කල්ලියක් මෙහෙයවන විදෙස් ගත ශ්‍රී ලාංකිකයකු පිළිබඳව ජාත්‍යන්තර පොලිසියට දැනුම්දී ඇතැයි පොලිස් පරිගණක අපරාධ කොට්ඨාසයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් ‘දිවයින ඉරිදා සංග්‍රහය’ට ප්‍රකාශ කළේය. රුපියල් ලක්ෂයක් හෝ ලක්ෂ දෙකක් තමාට ලබාදෙන ලෙස අදාළ පුද්ගලයා ලෙස ‘වට්ස්ඇප්’ පණිවුඩ යවන මෙම හැකර්ලා ඉතා සූක්ෂ්ම අන්දමින් මෙම ජාවාරම සිදුකරන බව ද පොලිස් විමර්ශනවලදී හෙළි වී තිබේ.

කවර හේතුවක් මත හෝ තම තමන්ගේ බැංකු ගිණුම් පිළිබඳ විස්තර ප්‍රසිද්ධ නොකරන ලෙස පොලිසිය මහජනතාවගෙන් විශේෂ ඉල්ලීමක් කර ඇත.

මේ අතර ශ්‍රී ලංකාවට පැමිණ සිටින නයිජීරියන් ජාතික පරිගණක අපරාධකරුවන් රැසක් පසුගිය දින කිහිපයේදී පරිගණක අපරාධ කොට්ඨාසයේ පොලිස් නිලධාරීන් කළ වැටලීමකදී අත්අඩංගුවට ගෙන තිබිණි.

මේ ගැන අදාළ වට්ස්ඇප් අංක හිමියන් හැකර්ලා මුදල් එකතු කරන බැංකු ගිණුම් ගැන මහ බැංකුවේ මූල්‍ය බුද්ධි ඒකකයට ද පැමිණිලි කර ඇත.

මේ අතර වට්ස්ඇප් ගිණුම් හැක්කිරීම මගින් හැකර්වරුන් වංචනිකව මුදල් ලබාගැනීම සඳහා මෙම බලපත්‍රලාභී බැංකුවල ගිණුම් යොදාගැනීම ගැන මහ බැංකුවේ මූල්‍ය බුද්ධි ඒකකයේ අවධානය යොමුව ඇත.

හැකර්වරුන් මේ සඳහා මෙරට රාජ්‍ය හා පෞද්ගලික බැංකුවල ගිණුම් අංක ලබාදී ඇති බවට මෙම සයිබර් වංචාවලට ගොදුරු වූවන් මහ බැංකුවේ මූල්‍ය බුද්ධි ඒකකයට පැමිණිලි කර ඇත.

එම වට්ස්ඇප් පරිශීලකයන් විසින් මේ හැකර්වරුන් යොදාගන්නා ගිණුම් පිළිබඳ විස්තර අදාළ බැංකුවලට ද දැනුම් දී තිබේ. මේ නිසා අදාළ ගිණුම් පිළිබඳව අදාළ අංශ මගින් විමසීමට ලක්කරනු ඇතැයි වාර්තා වේ.

මේ හැකර්වරුන් විදෙස්ගතව සිට මේ ක්‍රියාවලිය මෙහෙයවන බවට ද වාර්තා වේ.

නෝමන් පලිහවඩන

Leave A Comment