වඩා හොඳ දැනුමින් සන්නද්ධ ගුණාත්මක ශ්‍රමිකයින් විදේශ ගතකිරීම අපේ අරමුණයි – කෝශල වික්‍රමසිංහ

කොරෝනා වසංගත තත්වය හමුවේ රටේ ආර්ථිකය මෙහෙයවීමට ප්‍රධාන ආදායම හිමිවූයේ විදෙස්ගත ශ්‍රමිකයින් විසින් බැවින් නව රජය පත්වීමෙන් අනතුරුව විදේශ සේවය නව මානයකට රැගෙන එමින් වඩා ගුණාත්මක ශ්‍රමිකයෙකු බිහිකිරීමට ජාත්‍යන්තර මට්ටමේ වැඩපිළිවෙලක් සකස් කරන බව ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ සභාපති කෝශල වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කළේය.

ඒ මහතා මේ අදහස් පළකළේ, ඊශ්‍රායලයේ සාත්තු සේවා රැකියා හිමිවූ පුද්ගලයින් 62 වෙත ගුවන් ටිකට්පත් ප්‍රදානය කිරිමේ අවස්ථාවට  (2024.12.20) දින කාර්යාංශයේදී එක්වෙමිනි. එහිදී අදහස් දැක්වූ වික්‍රමසිංහ මහතා, “විදෙස්ගත ශ්‍රමිකයින්ගෙන් රටට ලැබෙන ආදායම මේ රටට ලැබෙන ප්‍රධාන ආදායම් මාර්ගයක් විදිහටයි අපි සලකන්නේ. කොරෝනා සමයේ ආදායම කඩා වැටෙනවිට ආර්ථිකය ගෙනියන්න හැකියාව තිබුණේ විදෙස්ගත ශ්‍රමිකයින්ගෙන් ලැබෙන ආදායමින්. ඒ හේතු නිසාම නව රජය පත්වුණාට පස්සේ විදේශ සේවය නව තැනකට ගෙන්න වඩා හොඳ දැනුමින් සන්නද්ධ වෙච්ච ශ්‍රමිකයෙක් රට රැකියාවට යවන්න අපිට තිබුණ ගැටළු අවම කරමින් ජාත්‍යන්තර මට්ටමේ වැඩපිළිවෙලක් අපි කාර්යාංශය පැත්තෙන් සකස් කරනවා.

ඊශ්‍රායලය අපිට ලැබුණු නව වෙළඳපොලක්. එම වෙළඳපොලේ ලොකු වර්ධනයක් අපිට මේ දවස්වල පේනවා. මම පහුගිය දවස්වල ජපානයේ සංචාරයක නිරතවුණා. ඒ සංචාරය අතරතුර නව රැකියා අවස්ථා පිලිබඳව අධ්‍යනය කරන්න අවස්ථාව ලැබුණා. ආයතන කිහිපයක් නිරීක්ෂණය කරලා ඒවායේ රැකියා අවස්ථා ලබාගැනීමේ හැකියාව අධ්‍යනය කලා. ජපානයේ සාත්තු සේවා රැකියා සඳහා ගිහින් ඉන්න ශ්‍රි ලාංකික දරු දැරියන් ඉතාම ප්‍රශංසාවට ලක්වෙලා ඉන්නවා. ජපානය තුළ ශ්‍රි ලංකාවට ඉතාම හොඳ තැනක් ලැබෙමින් තිබෙනවා. අනිත් රටවල‍ට සාපේක්ෂව සුහදශිලි, ආචාරශිලි, අනිත් කාර්ය මණ්ඩලය සමග හොඳින් කටයුතු කරනවා කියන තැන ලාංකිකයින්ට ලැබිලා තියෙනවා.

ඒ වගේම ඊශ්‍රායලයෙත් ඇතැම් පිරිසකගේ ක්‍රියාකලාප නිසා යම් නරක නමක් ඇවිත් තිබුණට පොදුවේ ප්‍රශංසාවට ලක්වෙලා තිබෙනවා. ඔබ ඒ රටේදී ශ්‍රි ලාංකික කියන නම තමයි නියෝජනය කරන්නේ. අපිට මේ රටේදි දෙමව්පියෝ වගේ ඉන්නේ ඒ රටේ රැකියාව ලබාදුන් කළමනාකාරීත්වය. රැකියා ගිවිසුම, ආයතනයේ නිති සංග්‍රහ, ක්‍රියාපටිපාටියට අනුගතවීම අංක 01. ඒ ගිවිසුම්වලට අදාළ දේවල් නොලැබෙනවා නම් ඒක විසඳගන්න ක්‍රම තිබෙනවා. ඒකට තමයි අපි ඉන්නේ. තමන්ගේ හිතුමනාපෙට එළියට ඇවිත් කටයුතු කරන්න එපා. ඒකෙදි වෙන්නේ තමන්ගේ ජීවිතේ අනතුරට දාගන්න ගමන් මේ ක්ෂේත්‍රය කඩාවැටීමට ලක් කරන එක. තවත් කෙනෙක්ට ලැබෙන අවස්ථාව නැති කරන්න කටයුතු කරන්න එපා. ඇත්තටම විදේශ රැකියාවක් අවශ්‍ය පුද්ගලයින්ට රැකියාව නැති කරන්න එපා.

තමන් ජීවත්වන පරිසරයට වඩා ඉහළ තත්වයට යන්න අපි කටයුතු කරන්න ඕනි. රටටත් සේවය කරන ගමන් තමනුත් හොඳ තැනකට එනවා කියන එක හිතේ තියාගන්න ඕනි. අනවශ්‍ය පරිදි වියදම් කරන්න එපා. මුදල් ඉතිරි කරන්න. මේක ඔබ පවුල වෙනුවෙන් කරන කැපකිරීමක්. පවුලෙන් ඈත් වෙලා ඉන්නකොට අලුත් කණ්ඩායම් ලංවෙනවා. මේක හරි පරිස්සමින් ඉටුකරන්න ඕනි. කාලයත් සමග මිනිස්සු හිතන විදිහ වෙනස් වෙලා තිබෙනවා. ඒ නිසා තමන්ගේ ආදරණීයන්හේ විශ්වාසය නැති කරන්නේ නැතිව කටයුතු කරන්න ඹ්නි. විදේශ සේවා නියුක්ති කාර්යාංශය විදිහට කෙනෙක් අසරණභාවයට පත්වුනොත් ඒ සම්බන්ධව කටයුතු කරන්න අපි ඉන්නවා. තමන්ගේ ජීවිතය, අනාගතය ගොඩනගා ගන්න අඩිතාලමක් විදිහට මේක භාවිතා කරන්න. එහෙම නැතුව රටේ කීර්තිනාමය, තමන්ගේ කීර්තිනාමය නැතිකරන්න කටයුතු කරන්න එපා. තාක්ෂණික දැනුම, භාෂා දැනුම, රැකියාවේ ගුණාත්මකභාවය වැඩි කරන්න අපි පියවර ගන්නම්. රැකියාවේදී කෙනෙක් අගතියට පත්වුනොත් අපි ඒ පිළිබඳව සොයාබලා අවශ්‍ය කටයුතු කරනවා. මේ රටේ විශාල පිරිසක් වාර්ෂිකව රැකියා වෙළඳපොලට එකතු වෙනවා. අපේ රටේ ශ්‍රමිකයින් ඉතා දක්ෂ කාර්යශූර ශ්‍රමිකයින් යම් කාර්යයක් දුන්නම ඉතා ඉක්මණින් ඒ දේවල් අල්ලගන්නවා. ඒ හොඳ නම අපේ රටේ පුද්ගලයින්ට ලැබිලා තියෙනවා. යම් ගැටළුවක් තිබුණොත් අනිවාර්යෙන්ම අපි කාර්යාංශය විදිහට ඒ දේවල්වලට මැදිහත් වෙලා කටයුතු කරනවා. අපිට ඒ සඳහා සම්පත් තියෙනවා. අදාල රටවල තානාපති කාර්යාල එක්ක අපි වැඩකරගෙන යනවා. අපේ මූලික අරමුණ රැකියා වෙළඳපොල දියුණු කිරීම හා රැකියා සඳහා ගිය ශ්‍රමිකයාගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීම. ඒ වගේම පවුල්වල සුභසාධනය නංවන්න අපි පියවර ගන්නවා.” යනුවෙන් ප්‍රකාශ කළේය.

අද දින ඊශ්‍රායලයේ සාත්තු සේවා රැකියා අවස්ථා හිමිවූ රැකියා ලාභීන් 62 දෙනෙකු වෙනුවෙන් ගුවන් ටිකට්පත් පිරිනැමූ අතර, ඊට කාන්තා ශ්‍රමිකයින් 56 දෙනෙකු හා පිරිමි ශ්‍රමිකයින් 06 දෙනෙකු අයත්වේ. මෙම පිරිස දෙසැම්බර් මස 24 වන දින ඊශ්‍රායලය බලා පිටත්ව යාමට නියමිතයි. 2024 වසරේ ජනවාරි සිට මේ දක්වා ගතවූ කාලය තුළ  ශ්‍රි ලාංකිකයින් 1056 දෙනෙකු සඳහා ඊශ්‍රායලයේ රැකියා අවස්ථා හිමිවී තිබේ.

Leave A Comment