
වයස 40 ට වැඩි සෑම පුරවැසියෙක් ම නිශ්චිත කාල සීමාවක් තුළ දී වෛද්‍ය පරීක්ෂණයන්ට
- CNL Reporter
- March 5, 2025
- දේශපාලන
- වයස 40 ට වැඩි සෑම පුරවැසියෙක් ම නිශ්චිත කාල සීමාවක් තුළ දී වෛද්‍ය පරීක්ෂණයන්ට
- 0 Comments
මෙරට ජීවත්වන වයස අවුරුදු 40 ට වැඩි සෑම පුරවැසියෙක් ම නිශ්චිත කාල සීමාවක් තුළ දී වෛද්‍ය පරීක්ෂණයන්ට භාජනය කොට, ප්‍රතිකාර සේවාවන් ලබා දීම වත්මන් රජයේ ප්‍රමුඛතම අරමුණක් බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය හංසක විජේමුණි පැවසිය.
ජනතාවාදී රජයක් ලෙස වත්මන් රජයේ ප්‍රමුඛතම අරමුණක් වන්නේ ඉදිරි වසර පහ තුළ දී මෙරට ජීවත්වන වයස අවුරුදු 40 ට වැඩි සෑම පුරවැසියෙක් ම වසරක් හෝ දෙවසරක් වැනි යම් නිශ්චිත කාල සීමාවක් තෝරාගෙන එම කාලය තුළ දී වෛද්‍ය පරීක්ෂණයන්ට භාජනය කිරීමයි. ඒ තුළින් හඳුනාගන්නා රෝග තත්ත්වයන්ට අවශ්‍ය ප්‍රතිකාර සේවාවන් ලබා දීමත්, මීට අදාළ දීර්ඝ කාලීන වැඩසටහනක් වත්මන් රජයේ ජාතික ප්‍රතිපත්තිය තුළ ගැබ්ව ඇති අතර මේ වන විට සෞඛ්‍ය අමාත්‍යාංශය මගින් එය ක්‍රියාවට නැංවීමට පියවර ගෙන ඇති බවත්, එම දිගුකාලීන වැඩපිළිවෙළේ කෙටිකාලීන පියවරක් ලෙස “සුව උදාන” ජංගම සෞඛ්‍ය සායන වැඩසටහන හඳුන්වා දිය හැකි බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය හංසක විජේමුණි කියා සිටියේය.
සෞඛ්‍ය හා ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කර සිටියේ ග්‍රාමීය ජනතාවට සුවසෙත සලසන “සුව උදාන” 05 වන ජංගම සෞඛ්‍ය සායන වැඩසටහනේ සමාරම්භක අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස එක්වෙමින් ය.
මෙම වසරේ පවත්වන 5 වන ජංගම සෞඛ්‍ය සායන වැඩසටහන මෙය වූ අතර එය පසුගියදා මහනුවර දිස්ත්‍රික්කයේ, යටිනුවර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පිළිමතලාව, රණවන පුරාණ විහාරස්ථානයේ දී දවස පුරා පැවැත්විණි.
මෙරට ජීවත්වන පුරවැසියෙකුට යම් රෝගයක් වැළදීමට පෙර එය වළක්වා ගැනීමත්, රෝගයක් වැළදී ඇත්නම් එහි සංකූළතා ඇති වීමට පෙර වළක්වා ගැනීම යන කාරණා පිළිබඳව සෞඛ්‍ය අමාත්‍යාංශයේ පූර්ණ අවධාණය යොමුව ඇති බවත්, මෙම කරුණු පිළිබදව ප්රමුඛ අවධාණය යොමු කරමින් ඊට අවශ්‍ය මානව, භෞතික සම්පත් මෙන් ම අවශ්‍ය පහසුකම් ලබා දෙමින් එම ප්‍රතිකාර අංශය ශක්තිමත්ව ගමට ගෙන යාම පිළිබඳවත් සෞඛ්‍ය අමාත්‍යාංශයේ අවධානය යොමුව ඇති බව ද සෞඛ්‍ය හා ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය හංසක විජේමුණි මෙහි දී වැඩිදුරටත් පැවසී ය.
මෙම ජංගම සායනය සදහා පැමිණෙන සියලු රෝගීන් මූලික වෛද්‍ය පරීක්ෂණ සදහා යොමු කිරීම සිදු කරන අතරම ප්‍රතිකාර සේවාවන් ලබා දීමත්, මෙහි දී හඳුනා ගන්නා නිදන්ගත රෝගවලින් පෙළෙන රෝගීන් මෙන් ම විශේෂඥ වෛද්‍යවරුන්ගේ අධීක්ෂණය යටතේ ප්‍රතිකාර ලැබිය යුතු රෝගීන් හඳුනාගෙන ඔවුන් රජයේ ප්‍රධාන රෝහල්වල ඊට අදාළ වෛද්‍ය සායන වෙත යොමු කිරීමත් මෙම වැඩසහනේ ප්‍රධාන අරමුණක් බව ද සෞඛ්‍ය හා ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍යවරයා මෙහි දී තවදුරටත් අදහස් දක්වමින් කියා සිටියේ ය.
සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ප්රවෘත්ති හා ප්‍රචාරණ අංශය මගින් මෙම “සුව උදාන” ජංගම සෞඛ්‍ය සායන වැඩසටහන සංවිධානය කරණු ලැබූ අතර මෙය ග්‍රාමීය ජනතාවගේ සෞඛ්‍ය තත්ත්වය නිරෝගීමත් ව පවත්වාගෙන යාම අරමුණු කරගනිමින් දිප ව්‍යාප්ත ව ග්‍රාමීය මට්ටමින් ක්‍රියාත්මක කරන වැඩසටහනකි.
විශේෂඥ වෛද්‍ය, වෛද්‍ය, හෙද, පරිපූරක, අතුරු වෛද්‍ය හා අනෙකුත් සෞඛ්‍ය කාර්ය මණ්ඩලවල සහභාගීත්වයෙන් මෙම “සුව උදාන” ජංගම වෛද්‍ය සායනය පැවැත්විණි.
මෙම සායනය තුළින් ජංගම රසායනාගාර සේවා, දන්ත වෛද්‍ය සායනය, අක්ෂි සායනය, රුධිරයේ සීනි මට්ටම පරික්ෂාව, රුධිරයේ මේද මට්ටම පරීක්ෂාව, ශරීර ස්කන්ධ දේහ දර්ශකය මැනීම, රුධිර පීඩනය මැනීම, සුවනාරි සායනය, ආයුර්වේද සායනය, වකුගඩු සායනය, බෝ නොවන රෝග පිළිබඳ සායනය සහ චීන කටු චිකිත්සාව, සෞඛ්‍ය අධ්‍යාපන වැඩසටහන් ඇතුළු වෛද්‍ය සේවාවන් රැසක් මෙන ම ඖෂධ නිකුත් කිරීමේ වැඩසටහනක් සිදු කෙරිණි.
කොබ්බෑකඩුව, ගිරාගම, මොලදණ්ඩ, රණවන, මල්ගම්මන, බුලුමුල්ල, ඇඹිල්මීගම සහ පිළිමතලාව යන ගම්මාන සහ අවට ගම්මානවලින් මෙම ජංගම සෞඛ්‍ය සායන වැඩසටහනට දහසකට ආසන්න ජනතාවක් දවසපුරා සහභාගී වුහ.
මෙම අවස්ථාවට පිළිමතලාව, රණවන පුරාණ විහාරස්ථානයේ විහාරාධිපති අම්පිටියේ ශ්‍රී සරණංකර චන්ද්‍රජෝති නාහිමිපානන්, සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම් (ප්රවෘත්ති හා ප්‍රචාරණ) ලක්ෂ්මේන්ද්‍ර දමයන්ත්කුමාර තෙන්නකෝන්, යටිනුවර ප්‍රාදේශීය ලේකම් සන්ධ්‍යා ගුණරත්න ද , රාජ්‍ය නිලධාරීන්, සිවිල් සංවිධාන හා ප්‍රදේශවාසීන් විශාල පිරිසක් ද එක්ව සිටියහ.
(සටහන | දීප්ති විජේතුංග)