වර්ගික, ආගමික පදනමින් දේශපාලන පක්ෂ ලියාපදිංචි නොකිරීම ගැන සාධාරණ සමාජයක් අගය කරයි

වාර්ගික හා ආගමික පදනමින් දේශපාලන පක්ෂ ලියාපංදිචි නොකිරීමට මැතිවරණ කොමිසමේ අවධානය යොමුවීම අගය කරන බව සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරය මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී.

එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වන්නේ, ශ්‍රී ලංකාවේ පාලනය අපේක්ෂා කරන දේශපාලන පක්ෂ සමස්ත ජාතිය පදනම් කරගත් ප්‍රතිපත්ති හා පරමාර්ථ මත කටයුතු කල යුතුව ඇතැයි විශ්වාස කරන සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරය වාර්ගික හා ආගමික පදනමින් දේශපාලන පක්ෂ ලියාපංදිචි නොකිරීමට මැතිවරණ කොමිසමේ අවධානය යොමුවීම පිළිබඳව අගය කරන්නෙමු.

මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති සහ කොමසාරිස් ජනරාල් විසින් මෑතක දී ප්‍රකාශ කර ඇති ආකාරයට වාර්ගික හා ආගමික පදනම මත පිහිටුවා ගනු ලබන දේශපාලන පක්ෂ ලියාපදිංචි නොකිරීමට අදහස් කරන බව සඳහන් කර තිබේ. එය ඉතා වැදගත් ස්ථාවරයකි. නිදහසින් පසු ලංකා දේශපාලන ඉතිහාසය විමසා බැලීමේ දී ජාතික අභිලාෂයන් වෙනුවට වාර්ගිකත්වය හා ආගම මුල්කරගත් දේශපාලන ප්‍රවාහයන් කටයුතු කර ඇති ආකාරය සහ ඒ තුළ රටක් ලෙස අප අත්කරගත් අනිටු ප්‍රතිඵල සැලකීමේදී එවැනි තත්ත්වයන් අනාගත පරපුරට උරුම කර නොදීම සමස්ත ජාතියේම වගකීමකි.

ඒ අනුව මැතිවරණ කොමිෂන් සභාවේ මෙම අපේක්ෂාව යතාර්ථයක් කරගැනීම සඳහා ජාතියේ මතු යහපත වෙනුවෙන් පෙනී සිටින සෑම පාර්ශ්වයකම ආශීර්වාදය සහ සහයෝගය මැතිවරණ කොමිෂන් සභාවට ලබා දෙන ලෙස අපි ඉල්ලා සිටින්නෙමු.

Leave A Comment