
වසරකට සෞඛ්‍ය වෘත්තිකයන් දාහක් පුහුණුවට සැලසුම් (VEDIO)
- Sujeewa Senerath
- March 7, 2025
- දේශපාලන, පුවත්
- 0 Comments
කළුතර ජාතික සෞඛ්‍ය විද්‍යායතනය තුළින් වසරකට සෞඛ්‍ය වෘත්තිකයන් 1000 කට අධික පිරිසක් පුහුණු කිරීමට අවශ්‍ය ඉදිරි සැලසුම්, ක්‍රමවේදයන් කඩිනමින් සකස් කරන ලෙසට සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා විෂය නිලධාරීන්ට පසුගිය දා උපදෙස් ලබා දුන්නේ ය. අමාත්‍යවරයා මෙසේ අදාළ විෂය නිලධාරීන්ට උපදෙස් ලබා දෙන ලද්දේ කළුතර ජාතික සෞඛ්‍ය විද්‍යායතන පරිශ්‍රයේ ඉදිකළ දෙමහල් ගොඩනැගිලි සංකීර්ණය විවෘත කිරීමේ අවස්ථාවට එක්වෙමින් ය.
ප්‍රාථමික සෞඛ්‍ය සවිබල ගැන්වීමේ ව්‍යාපෘතියේ ලක්ෂ 280 ක මූල්‍ය දායකත්වයෙන් ඉදිකළ මෙම ගොඩනැගිලි සංකීර්ණයේ බිම් මහල ඖෂධ ගබඩාවකට සරිලන පරිදි ඉදිකර ඇති අතර පළමු මහල දේශන ශාලාවකට යෝග්‍ය වන පරිදි නිර්මාණය කර ඇත. දේශණ ශාලාව තුළ එකවර 200 කට පහසුවෙන් දේශණවලට සවන්දීමේ හැකියාව පවතී.
1926 වර්ෂයේ දී ස්ථාපිත කළ කළුතර ජාතික සෞඛ්‍ය විද්‍යායතනයට වසර සියයක් සැපිරීමට තිබෙන අවස්ථාවක ඒ තුළින් මහජන සෞඛය විෂය ප්‍රමුඛ කර ගනිමින් සෞඛ්‍ය වෘත්තිකයින් දහස් ගණනක් පුහුණු කර තිබෙන බව ද, ඉදිරියේ දී උපරිම ධාරිතාවයකින් යුතුව සෞඛ්‍ය වෘත්තිකයින් පුහුණු කර ඔවුන්ගෙන් ගුණාත්මක, කාර්යක්ෂම සේවාවක් ලබා ගැනීමට හැකියාව ලැබෙන බව ද සිහිපත් කළ අමාත්‍යවරයා එහි අවසන් ප්‍රතිලාභය මෙරට ජනතාවට ලැබෙන බව ද පැවසී ය.
සෞඛ්‍ය අමාත්‍යාංශය මෙරට සෞඛ්‍ය නිදහස් සේවාවේ ප්‍රගමනය සහ ඉදිරි දියුණුව වෙනුවෙන් සංවර්ධිත පියවරයන් රාශියක් ගෙන තිබෙන බව ද සදහන් කළ අමාත්‍යවරයා අනාධිමත් කාලයක සිට ක්‍රියාත්මක ජනතා විශ්වාසය දිනාගත් මහජන සෞඛ්‍ය සේවාව, ප්‍රාථමික සෞඛය සේවාව විධිමත් අයුරින් මනා සැළැස්මක් සහිතව ඉදිරියේ දී ක්‍රියාත්මක කරන බව ද පැවසී ය.
එම සැළැස්ම ක්‍රියාත්මක කිරීමේ දී මහජන සෞඛය විෂය ප්‍රමුඛ කර ගනිමින් සෞඛ්‍ය වෘත්තිකයින් බිහිකරන මෙවැනි ජාතික විද්‍යායතනවල සහයෝගීතාවය විශේෂයෙන්ම අපේක්ෂා කරන බව ද, මෙහි වර්තමානයේ පවතින භෞතික හා මානව සම්පත්වල හිගතාවයන් පිරවීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ද කඩිනමින් ගන්නා බව අමාත්‍යවරයා මෙහි දී සඳහන් කර සිටියේ ය.
ගොඩනැගිළි සංකීර්ණය විවෘත කිරීමෙන් අනතුරුව කළුතර ජාතික සෞඛ්‍ය විද්‍යායතනය පරිශ්‍රයේ විශේෂ නිරීක්ෂණයක නිරත වූ අමාත්‍යවරයා එහි ක්‍රියාත්මක සංවර්ධන සහ ප්‍රතිසංස්කරණ ව්‍යාපෘති සියල්ල ද නිරීක්ෂණය කෙරිණි.
වෛද්‍යවරුන්, මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්, ඖෂධවේදීන්, මහජන සෞඛ්‍ය රසායනාගාර කාර්මික විශේෂඥයින්, රසායනාගාර කාර්මික විශේෂඥයින්, හෙද නිලධාරීන් හා නිලධාරිනියන්, පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනියන්, හෙද සොයුරියන් ඇතුළු සෞඛ්‍ය වෘත්තිකයන් පුහුණු කිරීම කළුතර ජාතික සෞඛ්‍ය විද්‍යායතනය මගින් සිදු කරනු ලබයි.
මෙම නිරීක්ෂණ අවස්ථාවට සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන, නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් දිනිප්‍රිය හේරත්, කළුතර ජාතික සෞඛ්‍ය විද්‍යායතනයේ අධ්‍යක්ෂ වෛද්‍ය තමර කලුබෝවිල, පරිපාලන නිලධාරී චමින්ද ලියනගේ යන මහත්වරුන් මෙන්ම විශේෂඥ වෛද්‍යවරුන්, වෛද්‍යවරුන්, විශේෂ ශ්‍රේණියේ හෙද නිලධාරිනියන් ඇතුළු සෞඛ්‍ය වෘත්තිකයන් පිරිසක් සහභාගි වූහ.