
වසර දහයකට පසු ජාතික ප්‍රතිශක්තීකරණ සමුළුවක් කොළඹ දී
- Sujeewa Senerath
- March 30, 2025
- ආයෝජන, පුවත්
- health, health ministry of sri lanka, nalinda jayatissa
- 0 Comments
මෙරට සෞඛ්‍ය කාර්යමණ්ඩලයේ කාර්යක්ෂම, ගුණාත්මක සේවාව හේතුවෙන් පෝලියෝ , සරම්ප, රුබෙල්ලා සහ නව ජන්ම පිටගැස්ම යන රෝග මෙරටින් තුරන්කිරීමට හැකි වූ බවත්, හෙපටයිටිස් බී ඇතුළු එන්නත් වලින් වළක්වා ගත හැකි තවත් බොහෝ රෝග සාර්ථකව පාලනය කිරීමට හැකිවූ බවත්,එම තත්ත්වය මෙරට සෞඛ්‍ය සේවාවේ විශිෂ්ටත්වය ලොවට විදහාපාන කරුණක් යැයි සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසී ය.
අමාත්‍යවරයා මේ බව සදහන් කළේ කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී පසුගිය දා පැවති ජාතික ප්‍රතිශක්තීකරණ සමුළුවට ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් සහභාගි වෙමින් ය.
සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය, වසංගත රෝග විද්‍යා අංශය, එක්ව සංවිධානය කළ මෙම සමුළුවට ලෝක සෞඛ්‍ය සංවිධානය, GAVI එන්නත් සංධානය, එක්සත් ජාතීන්ගේ ළමා අරමුදල (Unicef) යන ආයතනවල සහයෝගීතාවයෙන් පවත්වනු ලැබීය. මෙම සමුළුව මෙවර පැවැත්වූයේ වසර දහයකට පසුව වීම විශේෂත්වයකි.
මේවන විට දරුවන්ට ලබාදෙන එන්නත් මාත්‍රාවන් පිළිබඳ ව නැවත සමාලෝචනයක් සිදුකර එන්නත් මාත්‍රා ප්‍රමාණයන්වල වෙනස්වීම් අවශ්‍යවේනම් තාක්ෂණික මට්ටමින් ඒ සදහා වන කරුණු සාකච්ඡා කර නිගමනවලට එළැඹීම මෙන් ම ඉදිරි වසර පහ තුළ මෙරටට නව ප්‍රතිශක්තීකරණ එන්නත් කුමන ආකාරයකින් කුමන වර්ගයන්ගෙන් හදුන්වා දිය යුතු ද යන්න පිළිබඳව ද සාකච්ඡා කර ඉදිරි නිර්දේශ, සැලසුම් සකස් කිරීම මෙම සමුළුවේ ප්‍රධාන අරමුණ වේ.
සමුළුවෙන් ලබා ගන්නා නිර්දේශ, සැලසුම් මෙරට ක්‍රියාත්මක ජාතික එන්නත්කරණ වැඩසටහන ක්‍රියාත්මක කිරීමේ දී සෞඛ්‍ය අමාත්‍යාංශය ගනු ලබන තීරණ සහ ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීමට බෙහෙවින් ඉවහල් වනු ඇත.
බෝවන සහ බෝනොවන රෝග වැළැක්වීම සහ සෞඛ්‍ය ප්‍රවර්ධනය සඳහා ශක්තිමත් පදනමක් ලෙස ප්‍රාථමික සෞඛ්‍ය සේවාව ශක්තිමත් කිරීම කෙරෙහි දැඩි අවධානයක් යොමු කිරීමට වත්මන් රජය කටයුතු කරන බව මෙහි දී වැඩිඳුරටත් අවධාරණය කළ සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා මෙරට ජනතාවට විශ්වීය සෞඛ්‍ය සේවාවක් ලබා දීමට වත්මන් රජය දැඩි ලෙස කැපවන බව කියා සිටියේ ය.
2030 ලෝක ලෝක සෞඛ්‍ය සංවිධානයේ ගෝලීය ප්‍රතිශක්තීකරණ න්‍යායපත්‍රය මගින් නියම කර ඇති ගෝලීය ප්‍රතිශක්තීකරණ ඉලක්ක සපුරා ගැනීමට ශ්‍රී ලංකා රජය සම්පූර්ණයෙන් ම පෙළගැසී සිටින බව ද අවධාරණය කළ අමාත්‍යවරයා මෙරට ජනතාවට යහපත් සෞඛ්‍ය ප්‍රතිඵල අත්කර ගැනීම සදහා එන්නත්කරණ ප්‍රවේශය පුළුල් කිරීම, නව තාක්ෂණය ඒකාබද්ධ කිරීම සහ සේවා සැපයීම වැඩිදියුණු කිරීමට අඛණ්ඩව කටයුතු කරන බව පැවසී ය.
මෙරට ආර්ථික අර්බුදය හමුවේ එනත්කරණ ක්‍රියාවලිය අඛණ්ඩව පවත්වාගෙන යාම සදහා GAVI සංධානය ලබා දුන් දායකත්වය මෙහි දී අගය කිරීමට ලක්කළ අමාත්‍යවරයා ඉදිරි වසර වල දී එන්නත් ප්‍රවේශය වැඩිදියුණු කිරීම, සැපයුම් දාම ශක්තිමත් කිරීම සහ මහජන සෞඛ්‍ය සේවාවන් තව දුරටත් වැඩිදියුණු කිරීම සදහා නව එන්නත් හදුන්වා දීම සදහා GAVI සමග අඛණ්ඩ හවුල්කාරීත්වයෙන් ගවේෂණය කිරීමට බලාපොරොත්තු වන බව ද සදහන් කළේ ය.
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට එන්නත් භාවිතා කිරීම 1886 වර්ෂයේ දී වසූරිය රෝගය වැළැක්වීම සදහා වසූරිය එන්නත ලබා දීමත් සමග ආරම්භ කර ඇත. ලෝක සෞඛ්‍ය සංවීධානයේ මග පෙන්වීම යටතේ ගෝලීය වශයෙන් ව්‍යාප්තික ප්‍රතිශක්තීකරණ වැඩසටහන (EPI) සමගාමීව එක්සත් ජාතීන්ගේ ළමා අරමුදලෙහි සහාය ඇතිව 1978 වර්ෂයේදී ශ්‍රී ලංකාවේ ද ජාතික ප්‍රතිශක්තීකරණ වැඩසටහන කඩිනමින් දීපව්‍යාප්ත වැඩසටහනක් ලෙස ආරම්භ කර ඇත.
මෙම අවස්ථාවට කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය නිහාල් අබේසිංහ, සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන, වසංගත රෝග විද්‍යා අංශයේ ප්‍රධාන වසංගත රෝග විද්‍යාඥ හසිත තිසේරා, යුනිසෙෆ් සංවිධානයේ මෙරට නියෝජිත ක්‍රිස්ටියන් ස්කූග්, ලෝක සෞඛ්‍ය සංවිධානයේ මෙරට නියෝජිත ආචාර්ය අලාකා සිං, GAVI එන්නත් සංධානයේ වැඩසටහන් කළමණාකරු වෛද්‍ය මසාෆුම් සිං, යන මහත්ම මහත්මීන් ද, විශ්ව විද්‍යාලවල අංශ ප්‍රධාන මහාචාර්යවරුන්, සෞඛ්‍ය විද්වතුන් මෙන්ම විවිධ ක්ෂේත්‍රවල විද්වතුන්, ළමා ආරක්ෂණ අරමුදල නියෝජනය කරමින් නියෝජිතයන්, මහාචාර්යවරුන්, විශේෂඥ වෛද්‍යවරුන්, වෛද්‍යවරුන්, සිවිල් සංවිධාන නියෝජනය කරමින් නියෝජිතයන් පිරිසක් ද සහභාගි වූහ.