වැඩවර්ජන මගින් රජයේ ගමන කඩාකප්පල් කරනවානම් ජනතාව සමග සිටගන්නවා – අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස 

වැඩවර්ජනය කැඳවන ලද වෘත්තීය සමිති සාමාජිකයින් ද රෝහල්වල සිය සේවා සපයන බවට වාර්තා වන බවත්, වරප්‍රසාද අහිමිවීම මත තම සිහින බඳවැටීම හේතුවෙන් කුමන්ත්‍රණකාරී ව, සැලසුම් සහගත ව රජයේ ගමන් මඟ කඩාකප්පල් කිරීමට කටයූතු කරනවා  නම් ඊට මුහුණ දීමට රජය කටයුතු කරනවා සේ ම එහි දී ලොකුම විශ්වාසය ජනතාව සහ සෞඛ්‍ය වෘත්තිකයින් බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය.

සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා මෙම අදහස් පළ කරන ලද්දේ සමස්ත ලංකා සෞඛ්‍ය වෘත්තීය සමිති සම්මේලනය සංවිධානය කර තිබූ රට වෙනුවෙන් සෞඛ්‍ය සේවාව ගොඩනැගීමට උරදෙන වෘත්තීය සමිති නියෝජිත සමුළුවට එක්වෙමිනි.

එම සමුළුව (18) දින සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ ද සහභාගීත්වයෙන් මරදාන CSR ශාලාවේ දී පැවැත්විණි.

මෙහි දී සෞඛ්‍ය අමාත්‍යවරයා කියා සිටියේ රට වෙනුවෙන් වැඩ කිරීමට කැමැත්තෙන් ඉදිරියට පැමිණ ඇති සෞඛ්‍ය වෘත්තිකයින් සමඟ ජනතාව පැත්තේ සිටගෙන ජනතාව බලාපොරොත්තු වන සෞඛ්‍ය සේවාව ලබාදීමට අඛණ්ඩ ව වැඩ කරන බවට වූ සහතිකය ලබාදෙන බවයි. කුමන බාධා පැමිණිය ද ජනතාව රජය සමග වන බවත්, රජය පිළිබඳ ව ජනතාවගේ විශ්වාසය තිබෙන තුරු ප්‍රතිගාමීන් පරාජය කළ හැකි බව ද අමාත්‍යවරයා පැවසී ය.

රට පුනරුදය කරා ගමන් කරන අවස්ථාවක, ජාතික වශයෙන් මෙරට සෞඛ්‍ය සේවාව ගොඩනැංවීමට වෘත්තීය සමිති එක් ව කටයුතු කළ යුතු මොහොතක සෞඛ්‍ය පද්ධතිය රාජික බවට කරනු ලබන මවාපෑම්වලට විරුද්ධ ව සමස්ත ලංකා සෞඛ්‍ය වෘත්තීය සමිති සම්මේලනය මෙම වෘත්තීය සමිති නියෝජිත සමුළුව පැවැත්වීමට කටයුතු කර තිබුණි.

මෙම වෘත්තීය සමිති නියෝජිත සමුළුවට සමස්ත ලංකා හෙද සංගමය, සමස්ත ලංකා වෛද්‍ය රසායනාගාර විද්‍යාඥ සංගමය, සම සෞඛ්‍ය වෘත්තීයවේදී ඒකාබද්ධ බලමණ්ඩලය, සමස්ත ලංකා සෞඛ්‍ය කළමණනාකරණ සංගමය, සමස්ත ලංකා පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනීන්ගේ සංගමය, සමස්ත ලංකා වාට්ටු ලිපිකරු සංගමය, සමස්ත ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂක සංගමය, සමස්ත ලංකා රජයේ ආයුර්වේද වෛද්‍ය නිලධාරින්ගේ සංගමය, සමස්ත ලංකා වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය, සමස්ත ලංකා සුව සේවා සංගමය ඇතුළු වෘත්තීය සමිති රැසක් එක් ව සිටින ලදි.

සෞඛ්‍ය සම්පන්න රටක් බිහි කිරීමේ දී සෞඛ්‍ය අමාත්‍යාංශයේ ඉහළම නිලධාරියාගේ සිට පහළ ම ශ්‍රේණිය දක්වා සියලු දෙනාගේ ම දායකත්වය අත්‍යාවශ්‍ය බවත්, ලොව සෞඛ්‍ය සේවා දියුණු වන විට හැම ශ්‍රේණියකට ම තාක්ෂණය, පුහුණුව, අධ්‍යාපනය අවශ්‍ය බවත්, එය කොටසකට පමණක් සීමා නොවිය යුතු බව ද අමාත්‍යවරයා පෙන්වා දෙන ලදි. ඒ සදහා අවශ්‍ය කටයුතු අමාත්‍යාංශය විධිමත්ව සහ ක්‍රමවත්ව සැලසුම් කරන අතරතුර ඒ ගැන කිසිත් නොසලකා  යම් යම් කණ්ඩායම් තම තමන්ගේ කටයුතු ආරම්භ කර ඇති බවත්, මාස 04 කින් අඛණ්ඩ වැඩ වර්ජන, පැය 24 වැඩවර්ජන කැඳවන්න එහිදී ඔවුන් පෙළඹී ඇති බව ද පැවසී ය.

වැඩිදුරටත් අදහස් දක්වමින් අමාත්‍යවරයා කියා සිටියේ රජය කරන්‌නේ කුමක් ද යන්න පවා අධ්‍යයනය කිරීමට පවා ඔවුනට කාලයක් නොවන බවයි. සෞඛ්‍ය සේවාවේ කණ්ඩායම් කිහිපයක් දැනටමත් එවැනි ක්‍රියාමාර්ගවලට එක්ව ඇති බවත්, තවත් පිරිසක් අවතීර්ණ වීමට බලා සිටින බව ද පැවසී ය. මෙවැනි දේ ඉබේ සිදුවන දේවල් නොවන බව ද සැලසුම් සහගතව සිදු කරන දේවල් බව ද පෙන්වා දුන් අමාත්‍යවරයා පරිපුරක හා අතුරු ‌වෛද්‍ය සේවා සපයන වෘත්තිකයින් මුදල් අමාත්‍යාංශයේ ඊයේ පැවැති සාකච්ඡාවට යන විටත් ‌වැඩවර්ජනය ඉදිරියටත් පැවැත්වීමට තීන්දු කර අවසන් බවත්, එය සාකච්ඡාවේ ප්‍රතිඵල අනුව ගත් තීරණයක් නොවන බව ද පැවසී ය.

වැටුප් නොව යම් දීමනාවක් වැඩිකර ගැනීමට උත්සාහ කළත් පසුගිය අණ්ඩුවේ තීරණයේ වු‌යේ අයි.එම්.‌එෆ් එක සමඟ එය කළ නොහැකි බවයි. වත්මන් රජය එම අයි.එම්.‌එෆ් සමඟ සාකච්ඡා කර රජයේ සේවකයින්ට රුපියල් බිලියන 110 ක අමතර වැටුප් වැඩිවීමක් ලබාදෙන බව ද මාස  20 ක් වන විට රුපියල් බිලියන 330 ක වැටුප් වැඩිවීමක් භාණ්ඩාගාරයෙන් වෙන් කරන බව ද පැවසී ය.

මෙහි දී වෘත්තීය සමිති නායකයින් කියා සිටි‌යේ මෙවර අයවැය හරහා සෞඛ්‍ය සේවකයින්ගේ වැටුප් ඉහළ නැංවීමට කටයුතු කිරීම පිළිබඳ ව රජයට ස්තූතිවන්ත වන බවයි. රෝගීන් ඇතුළු මහජනතාව අපහසුතාවයට පත්වන වෘත්තීය අරගල සිදු නොකරන බවත්, සෞඛ්‍ය සේවාව තුළ කණ්ඩායම් හැගීමෙන් කටයුතු කරන බව ද පැවසීය. ඉතා යහපත් සෞඛ්‍ය සම්පන්න ජීවිතයක් ජනතාවට අත්පත්කර දීම සඳහා වගකීම් සහගතව ද විශ්වාසයෙන් ඉදිරියටත් කටයුතු කරන බවත්, සැලසුම්සහගත ව කටයුතු කරනු ලබන ආණ්ඩුවේ සුරක්ෂිතභාවය උදෙසා සිය උපරිමයෙන් කටයුතු කරන බව ද පැවසී ය.

අයවැය ප්‍රකාශනයේ යම් යම් කාරණා පදනම් කරගනිමින් පැවැති ආණ්ඩුවලට සමීපව කටයුතු කළ වෘත්තීය සමිති, දැනට විපක්ෂ දේශපාලනඥයින් සමඟ කටයුතු කරන වෘත්තීය සමිති, වෙනත් දේශපාලන න්‍යාය පත්‍රවල ට අනුව ක්‍රියා කරන වෘත්තීය සමිති නායකයින් විසින් නිර්මාණය කරන වෘත්තීය සමිති වැඩවර්ජන ක්‍රියා මාර්ගය හරහා වත්මන් සෞඛ්‍ය පද්ධතිය අරාජික බවට මවාපෑමක් සිදු කරන බව ද පැවසී ය.

මෙම අවස්ථාවට සමස්ත ලංකා සෞඛ්‍ය වෘත්තීය සමිති සම්මේලනයේ සභාපති සමන්ත කෝරලේආරච්චි, සමස්ත ලංකා හෙද සංගමයේ ප්‍රධාන ලේකම් එච්.එම්.එස්.බී මැදිවත්ත, සමස්ත සේවා සුව සේවා සංගමයේ ප්‍රධාන ලේකම් මහින්ද ගුරුගේ යන මහත්වරුන් සහ වෘත්තීය සමිති නායකයින් ඇතුළු වෘත්තීය සමිති නියෝජිතයින් රැසක් එක්ව සිටියහ.

Leave A Comment