
විදුලිබල මණ්ඩලය හෝ එහි ආයතන විකුණන්නේ නෑ – විදුලිබල අමාත්‍ය ඉංජිනේරු කුමාර ජයකොඩි
- CNL Reporter
- February 3, 2025
- බලශක්ති සහ විදුලිය
- power-and-energy
- 0 Comments
- ඒවා ජාතික ස්වාධිපත්‍යයේ වැදගත් අංග ලෙස සළකා, රජයේ හිමිකාරීත්ව යටතේ තියාගන්නවා…
“බලයට එන්න ඉස්සර ඉදලම අපි මේ ආයතන විකුණනවට විරුද්ධව වැඩ කලා… අපේ ඒ අරමුණු, වැඩ පිළිවෙල අදත් එහෙමයි. බලශක්ති හා මූල්‍ය ක්ෂේත්‍රවල රජයට අයිති අධිපතීත්වය, හිමිකාරීත්වය ආරක්ෂා කරගත යුතුයි කියලා අපි මැතිවරණයට කලින් ඉදලම කියල තියෙනවා. ඒ වෙනුවෙන් අපි වැඩ කරනවා. කිසිම විදියකින් අපි මේ ආයතන විකුණන්නේ නෑ. ප්‍රතිව්‍යුහගතකරණය හරහා අපි කරන්නේ විදුලිය නිෂ්පාදනය, සම්ප්‍රේෂණය හා බෙදාහැරීම කියන කොටස් වෙන්කරන එක විතරයි. ඒවා සියයට සියයක් රජය සතු සමාගම්. කිසිම කොටසක් පුද්ගලික අයිතියට හිමිකරන්නේ නෑ. ඒක හින්දා මේ ආයතනවල අනාගතය, සේවක ඔබේ රැකියා සුරක්ෂතතාවය අපි තහවුරු කරනවා…” යනුවෙන් අමාත්‍යවරයා අදහස් පල කළේ ඊයේ නොරොච්චෝලේ ලක්විජය විදුලිබලාගාරයේ නිරීක්ෂණ චාරිකාවක යෙදෙමින් එහි නිළධාරීන් හා සේවකයින් අමතමිනි.
තවදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා…
“රටේ දෛනික විදුලිබල අවශ්‍යතාවයෙන් 40%ක් පමණ සපුරන ලක්විජය බලාගාරය මෙරට විදුලි පද්ධතිය අඛණ්ඩව හා ස්ථාවරව පවත්වාගෙන යාමට දක්වන දායකත්වය සැළකිල්ලට ගනිමින් බලාගාරය ඉහළම තත්වයෙන් යුතුව නඩත්තු කටයුතු කල යුතු බවත්, ඉහළම ක්‍රමවේද භාවිත කරමින් පවත්ගෙන යා යුතු බවත්” අවධාරණය කලේය. දැනට ඉහත කටයුතු පවත්වාගෙන යන ආකාරය පිළිබදව තෘප්තිය පළ කල අමාත්‍යවරයා, ඒ සඳහා මෙහෙයවීම්කරන ඉහල කළමනාකාරීත්වය හා සේවකයින් අගය කිරීමටද අමතක නොකළේය.
මෙම නිරීක්ෂණ චාරිකාව සඳහා විදුලිබල මණ්ඩලයේ අතිරේක සාමාන්‍යාධිකාරී (ජනන) නාලක විජේකෝන්, බලස්ථාන කළමනාකරු ජී.ඩබ් බමුණුසිංහ මහතා ඇතුළු නිළධාරීන් පිරිසක් එක්ව සිටියහ.