
විශේෂ අවශ්‍යතා සහිත දරුවන්ගේ උසස් අධ්‍යාපනය පිළිබඳ විශේෂ අවධානයක් යොමු කරනවා
- CNL Reporter
- February 24, 2025
- අධ්‍යාපන
- අගමැතිනි, ආචාර්ය හරිනි අමරසූරිය
- 0 Comments
අගමැතිනි, ආචාර්ය හරිනි අමරසූරිය
අධ්‍යාපන අමාත්‍යාංශයේ අධීක්ෂණය යටතේ විශේෂ අවශ්‍යතා සහිත දරුවන්ගේ උසස් අධ්‍යාපනය පිළිබඳව විශේෂ අවධානයක් යොමු කරන බව අගමැතිනි, ආචාර්ය හරිනි අමරසූරිය මෙෙණවිය පැවසුවාය.
ආබාධ සහිත ප්‍රජාවේ අධ්‍යාපනය ඉහළ නැංවීම සඳහා එම ප්‍රජාව නියෝජනය කරන ආයතන හා සම්බන්ධ පිරිසක් සමඟ පාර්ලිමේන්තුවේදී පෙරේදා (22) පැවති හමුවකදී අගමැතිවරිය මේ බව සඳහන් කළාය.
ඔවුන් දේශීය හා ජාත්‍යන්තර සම්මතයන් සැලකිල්ලට ගෙන විශේෂ අවශ්‍යතා සහිත පුද්ගලයන් වෙනුවෙන් සැකසූ යෝජනාවලියක් ඉදිරිපත් කරන ලදී.
එම යෝජනාවලියේ විශේෂ අවශ්‍යතා සහිත පුද්ගලයන්ගේ අයිතීන් ශක්තිමත් කිරීම, විශේෂ අවශ්‍යතා සහිත දරුවන්ගේ අධ්‍යාපනයේ ගුණාත්මකභාවය ඉහළ නැංවීම හා ඔවුන් වෙනුවෙන් උසස් අධ්‍යාපන මට්ටම් හඳුන්වාදීම ආදී කරුණු පිළිබඳව අවධානය යොමු කර තිබිණි.
ඕටිසම් සහිත දරුවන්ගේ අධ්‍යාපන කටයුතු ඉහළ නැංවීම සඳහා 2025 අය-වැයෙන් මුදල් වෙන් කිරීම සහ අනාථ දරුවන් වෙනුවෙන් සමාජ ආරක්ෂණ ක්‍රමයක් හඳුන්වාදීම පිළිබඳව වර්තමාන ආණ්ඩුවට එම පිරිස ප්‍රශංසා කළහ.
විශේෂ අවශ්‍යතා සහිත පුද්ගලයන්ට පොදු සමාජය තුළ සාමාන්‍ය ජීවිතයක් ගත කිරීමට අවශ්‍ය සමාජ පිළිගැනීමක් සැකසිය යුතුයි. Clean Sri Lanka ව්‍යාපෘතිය තුළත් අපි බලාපොරොත්තු වෙන්නේ එම කාර්යය සිදු කරගන්න. අපේ රටේ ප්‍රතිපත්ති ඕනතරම් තියෙනවා ඒවා ක්‍රියාත්මක නොවීම තමයි ප්‍රශ්නෙ. අපි දකින විදිහට මෙතන විශේෂම දෙයක් තමයි ප්‍රතිපත්ති ක්‍රියාත්මක වෙන්න මුදල් වෙන් වෙන්න ඕනේ. ඒක තමයි අපි මේ වේලාවේ 2025 වර්ෂයේ අය-වැය මඟින් විවිධ කාර්යයන් සඳහා නිශ්චිතවම මුදල් වෙන්කරලා තියෙන්නේ.
අධ්‍යාපන අමාත්‍යාංශයේ අධීක්ෂණය යටතේ අනිවාර්යෙන්ම විශේෂ අවශ්‍යතා සහිත දරුවන්ගේ උසස් අධ්‍යාපනය මාතෘකාවක් බවට පත් කරගන්න බලාපොරොත්තු වෙනවා. ඒකට අවශ්‍ය පුද්ගලයන් අපි ඒකට පත් කරලා තියෙනවා.
මේ මොහොතේ අපි අධ්‍යාපනය විශාල පරිවර්තනයක් සකස් කරමින් ඒකට සූදානම් වෙමින් යනවා. එතකොට ඒකට අදාළ ප්‍රතිපත්ති 2025 වර්ෂයේ සකස් කරමින් යන්නේ, 2026 තමයි අපි මේක ක්‍රියාත්මක කරන්න පටන් ගන්නේ. මේක දීර්ඝ කාලීන සැලැස්මක්, මේක මුළු පද්ධතියම වෙනස් කරන එකක්. අනිවාර්යයෙන්ම එහිදී විශේෂ අවශ්‍යතා සහිත දරුවන්ගේ අධ්‍යාපන ක්‍රමය සම්බන්ධයෙන් විශේෂ අවධානයක් යොමු කරනවා.
පාර්ලිමේන්තු මන්ත්‍රී සුගත් වසන්ත ද සිල්වා, හිටපු ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය ටී.ඩී.ටී.එල්. ධනපාල මහත්වරුන් ඇතුළු ආබාධිත ප්‍රජාව නියෝජනය කරන නිලධාරීන් පිරිසක් මේ අවස්ථාවට සහභාගි වූහ.
නුවන් කොඩිකාර