ශවේන්ද්‍ර-විකුම්-ප්‍රියන්ත-උදේනි ධුර කාලය දෙසැ. 31න් අවසන්

ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ශවේන්ද්‍ර සිල්වා මහතා ඇතුළු යුද, ගුවන් හා නාවික හමුදාපතිවරුන්ගේ සේවා දිගු දෙසැම්බර් 31 වැනිදා අවසන් වීමට නියමිතය. ඔවුන්ට තවදුරටත් සේවා දිගු ලබාදෙන්නේ ද නැතහොත් එම තනතුරුවලට වෙනත් අය පත් කරන්නේ ද යන්න පිළිබඳ තීරණයන් ආරක්ෂක ඇමැතිවරයා ලෙස ජනාධිපතිවරයා විසින් අද හෙටම ගැනීමට නියමිත බව ආරක්ෂක ආරංචි මාර්ග අනාවරණය කරයි. ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා, ඔහු යුද හමුදාපති ධුරයේ සිටියදීම 2020 වසරේ දී එම තනතුරට පත්කරනු ලැබූ අතර 1964 ජුනි 22 උපන් ඔහුගේ වයස මේ වනවිට අවුරුදු 60 ඉක්මවා තිබේ.

ඔහු යුද හමුදාපති ධුරයට පත්වීමට පෙර ද හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ලබාදුන් සේවා දිගුවක් මත යුද හමුදාවේ කටයුතු කළේය. යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් විකුම් ලියනගේ මහතා සිටින්නේ ද සේවා දිගුවක් මත වන අතර දෙසැම්බර් 31 වැනිදාට ඔහු අවුරුදු 57 සම්පූර්ණ කරයි.

නාවික හමුදාපති වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා මහතා සේවා දිගුවක් මත කටයුතු කරන අතර ඔහු එම ධුරයට පත්වී තිබුණේ 2022 දෙසැම්බර් 18 වැනිදාය.

ගුවන් හමුදාපති එයාර් මාෂල් උදේනි රාජපක්ෂ මහතා ද සේවා දිගුවක් මත කටයුතු කරන අතර ලබන වසරේ ජනවාරි 29 වැනිදා ඔහු වයස අවුරුදු 56 සම්පූර්ණ කරයි.

විශ්‍රාම යන යුද, ගුවන් හෝ නාවික හමුදාපතිවරයකු ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ධුරයට පත් කිරීම මෙතෙක් පවත්වාගෙන ආ ක්‍රමයයි.

රක්ෂණ ශ්‍රියන්ත

Leave A Comment