
ශ්‍රී ලංකාවට අලුතින් ආනයනය කරන වාහන අලෙවි විය හැකි මිල ගණන් මෙන්න
- CNL Reporter
- March 2, 2025
- ව්යාපාරික පුවත්
- ශ්‍රී ලංකාවට අලුතින් ආනයනය කරන වාහන අලෙවි විය හැකි මිල ගණන් මෙන්න
- 0 Comments
2020 වසරේ සිට වසර 5ක පමණ කාලයකට පසු ශ්‍රී ලංකාවට පළමු වරට ආනයනය කරන ලද අලුත් වාහන තොගය බ්‍රහස්පතින්දා (පෙබ: 28) මෙරටට ලැබී තිබිණි.
ඒ, වසර 5ක පමණ කාලයක් පුරා තාවකාලිකව තහනම් කර තිබුණු පෞද්ගලික ප්‍රවාහන කටයුතු සඳහා භාවිත කෙරෙන වාහන නැවත ආනයනය කිරීමට පෙබරවාරි මස 1 වන දා සිට බලපැවැත්වෙන පරිදි අවසර දීමට රජය පියවර ගැනීමත් සමග ය.
පෞද්ගලික භාවිතය සඳහා යොදා ගන්නා කාර්, වෑන් ආදී මෝටර් වාහන, පොදු ප්‍රවාහන කටයුතු සඳහා යොදා ගන්නා බස් රථ, භාණ්ඩ ප්‍රවාහනය සඳහා යොදා ගන්නා මෝටර් වාහන, විශේෂ කාර්යයන් සඳහා යොදා ගන්නා රථ, ත්‍රී රෝද රථ, යතුරු පැදි සහ අනෙකුත් මෝටර් එන්ජින් භාවිත නොවන අයිතම ආනයනය කිරීමට 2421/44 දරන අතිවිශේෂ ගැසට් පත්‍රය මගින් අවසර ලැබිණි.
මේ අනුව, ආනයනය කළ හැක්කේ, 2023, 2024 සහ 2025 වසරවල නිෂ්පාදිත වාහන පමණි.
අලුත් වාහනවල මිල ගණන්
නව රජය වාහන ආනයනය කිරීම සඳහා අවසර දුන්නේ, නව බදු ක්‍රමයක් ද හඳුන්වා දෙමිනි.
මෝටර් වාහන සඳහා එකවර ඉල්ලුමක් ඇති වීම වැළැක්වීම සඳහා “අමතරව තව බදු කිහිපයක්” පැනවූ බව වාහන ආනයනයට අවසර දෙමින් ජනාධිපතිවරයා පැවසීය.
මේ අනුව, අලුතින් වාහනයක් මෙරටට ගෙන්වීමේදී වාහනයේ නිෂ්පාදිත මිලට වඩා අධික මිලක් ගෙවීමට සිදුව තිබේ.
ඒ අනුව, අලුත් වාහන ශ්‍රී ලංකාව තුළ අලෙවි කිරීමට නියමිත මිල ගණන් පිළිබඳව බීබීසී සිංහල විමසා බැලීමක් කළේ ය.
ශ්‍රී ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමයේ සභාපති ප්‍රසාද් මානගේ ප්‍රකාශ කළේ, නිල නියෝජිත සමාගම් අලෙවි කරන මිලට වඩා අඩු මිල ගණන්වලට ජපන් වාහන අලෙවි කිරීමට ඔවුන්ට හැකියාව පවතින බව ය.
කෙසේ වෙතත්, විවිධ පාර්ශව විසින් වාහන ආනයනය කරනු ලබන හෙයින් නිශ්චිත මිලක් ප්‍රකාශ කළ නොහැකි අතර, මිල පරාසයක් ඉදිරිපත් කළ හැකි බව ප්‍රසාද් මානගේ සඳහන් කළේ ය.
ඒ අනුව, ශ්‍රී ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමය පැවසූ පරිදි, ඒ ඒ වාහන අලෙවි කළ හැකි මිල පරාසයන් මෙසේ ය.
මේ අතර, ටොයෝටා කොරොල්ලා, ටොයෝටා විට්ස්, ටොයෝටා ප්‍රියස්, හොන්ඩා ෆිට් සහ ටොයෝටා බෙල්ටා යන වාහන මාදිලි ශ්‍රී ලංකාවට ආනයනය නොකරන බව බව ශ්‍රී ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමයේ ලේකම් ප්‍රසාද් කුලතුංග පැවසීය.
මිල අඩු ම රථය
නව වාහන මිල ගණන් අනුව අඩු ම මිලකට මිල දී ගත හැකි ලියාපදිංචි නොකළ මෝටර් රථ මාදිලිය වන්නේ, ජපන් ඇල්ටෝ මෝටර් රථය බව ශ්‍රී ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමයේ ලේකම් ප්‍රසාද් කුලතුංග සඳහන් කළේ ය.
එහි මිල රු. ලක්ෂ 60 ඉක්මවනු ඇත.
අධික බද්දක්
මේ අතර, ඇසෝසියේටඩ් මෝටර්වේස් ආයතනයේ නියෝජිතයෙකු ප්‍රකාශ කළේ, ඉන්දීය සුසුකි ඇල්ටෝ රථයක් රු. ලක්ෂ 71ක මුදලකට අලෙවි කිරීමට සැලසුම් කර ඇති බව ය.
අප කළ විමසුමක දී ඉන්දීය සුසුකි ඇල්ටෝ රථයක් ඉන්දියාවේ අලෙවි කෙරෙන මිල ඉන්දීය රුපියල් ලක්ෂ 5ක් බව තහවුරු විය.
එය, විදේශ විනිමය හුවමාරු මිල ගණන් හා සැසඳීමේදී ශ්‍රී ලංකා මුදලින් රුපියල් ලක්ෂ 20කට ආසන්න අගයකි.
ඒ අනුව, එවැනි රථයක් ශ්‍රී ලංකාවේදී මිල දී ගැනීම සඳහා වැඩිපුර රු. ලක්ෂ 50කට අධික මුදලක් ගෙවීමට පාරිභෝගිකයින්ට සිදුවනු ඇත.
‘පාවිච්චි කළ වාහන මිල 20%කින් පහළට’
මේ අතර අලුත් වාහන ආනයනය කිරීම ඇරඹීමත් සමග පාවිච්චි කළ වාහනවල මිල ගණන් 20%කින් පමණ පහළ යා හැකි බව ද ශ්‍රී ලංකා වාහන ආනයනය කරන්නන්ගේ සංගමයේ සභාපති ප්‍රසාද් මානගේ පැවසීය.
“දැනට තියෙන මිලට වඩා 20%ක් විතර අඩු වෙයි. දැන් අලුත් වාහන එන්නේ පරණ මිල ගණන්වලට යි. 2018 වාහනවලට ගෙවපු ගාණට තමයි දැන් 2025 අලුත් ම වාහනයක් හම්බ වෙන්නෙ. ඒ නිසා අලුත් එක ඒ ගාණට එද්දි පාවිච්චි කළ වාහනවල මිල අඩු වෙන්න ඕන නේ.”
| BBC සිංහල සේවය