ශ්‍රී ලංකාවේ දිග හැරෙන භූදර්ශනය තුළ ජාතික ජන බලවේගයේ භූමිකාව සහ දේශපාලන විශ්වාසනීයත්වය – ලයනල් බෝපගේ

මෙම ලිපිය කොටස් දෙකකින් සමන්විත ය. පළමු කොටස ජනතා විමුක්ති පෙරමුණ ස්වයං නිර්ණය පිළිබඳ ප්‍රතිපත්තිය වෙත දක්වන කැපවීම හෝ එසේ නොමැති වීම සාකච්ඡා කරයි. පලස්තීනයේ මූලික ගැට‍ළුව ජාතියක් වශයෙන් ඊට ස්වයං නිර්ණයට ඇති අයිතිය පිළිබඳව යි. දෙවැනි කොටස ශ්‍රී ලංකා ආණ්ඩුවේ පිළිවෙත තුළ පලස්තීන ජනතාව වෙලා ගෙන ඇති වත්මන් ඛේදවාචකය රඟ දැක්වෙන ආකාරය පිළිබඳ සංකීර්ණ තත්වය දෙස බැලීම සඳහා කතිකාවත පුළුල් කරයි.

බැළු බැල්මට පරස්පර විරෝධී වන දේශපාලන ගමන් මාවත් දෙකක් තුලනය කරන්නට ආණ්ඩුවට සිදු වී තිබේ. එකක් වන්නේ, ශ්‍රී ලාංකික පුරවැසියන් දහස් ගණනක් ඊශ්‍රායලයේ රැකියාවල නිරත වන බවත්, ඊශ්‍රායල සංචාරකයින් ශ්‍රී ලංකාවට පැමිණෙන බවත් යන කරුණු දෙකම දිවයිනේ ආර්ථිකය ප්‍රකෘතිමත් කිරීම සඳහා සැලකිය යුතු ලෙස දායක වීම යි. අනෙක නම්, ශ්‍රී ලාංකිකයන් බොහෝ දෙනෙක් ද සහභාගි වන ලොව පුරා වර්ධනය වෙමින් පවතින ව්‍යාපාරයේ සන්දර්භය තුළ පලස්තීනුවන්ගේ ස්වෛරී බව උදෙසා ජාතික ජන බලවේග (NPP) ආණ්ඩුව දක්වන කැප වීමයි.

පළමු වන කොටස

හැඳින්වීම

ඉතාලියේ වසන ආචාර්ය පුන්සර අමරසිංහ විසින් ලියන ලද ක්‍රමයෙන් ඉහළ නැගෙන යුදෙව් විරෝධය ශ්‍රී ලංකාවට භයානකයි යන ලිපිය (https://www.southasimonitor.org/perspective/creeping-rise-anti-semitism-dangerous-sri-lanka) කියවීමෙන් මා මෙම ලිපිය ලියන්නට යොමු විය.

ඔහු නඟන තර්කයේ මූලික හරය පහත සඳහන් පරිදි වේ:

ශ්‍රී ලංකාවේ වත්මන් තත්වය ඊශ්‍රායල නිෂ්පාදන වර්ජනය කිරීම සහ ඊශ්‍රායල සංචාරකයින් බැහැර කිරීම සඳහා ජනයා ධෛර්යමත් කරවන විවෘත යුදෙව් විරෝධය පිළිබඳ තියුණු උදාහරණයක් සපයයි. මෙම සහයෝගිතා ව්‍යාපාරවල නිරත වන ක්‍රියාකාරීහු ඔක්තෝබර් 7 වන දින බිහිසුණු සිදුවීම් විසින් ගාසා තීරයේ වත්මන් තත්වය ආරම්භ කරන ලද බව පිළි නොගැනීමේ දැඩි ස්ථාවරයක සිටිති. ඊශ්‍රායල ප්‍රාණ ඇපකරුවන් හමාස් සංවිධානයේ අත් අඩංගුවෙන් නිදහස් කර ගැනීමට ඊශ්‍රායලයට ඇති අයිතිය පිළිබඳව සාකච්ඡා කිරීම ප්‍රතික්ෂේප කරන ඔවුහු, ගාසා තීරයේ සමස්ත තත්වය හෝ සටන් විරාම ගිවිසුමක් ඇති කර ගන්නට ප්‍රවේශ විය හැකි ඕනෑම මාර්ගයකට හමාස් සංවිධානය බාධා කර ඇති අයුරු පැහැදිලි කරන්නට උත්සාහ දරන විරුද්ධ මත නොඉවසති. මැදපෙරදිග පවතින කැලඹිලි සහගත තත්වයන්ට හේතු වූ කරුණු හඳුනා ගැනීමෙන් තොරව, වෛරයේ බිජුවට පතුරවමින් ශ්‍රී ලංකාවේ සහයෝගිතා ව්‍යාපාරය ඒකපාර්ශ්වික කතන්දරයක් ප්‍රචාරය කරයි.

සංස්කෘතිය අවලංගු කිරීම ක්‍රියාත්මක වන්නේ කෙසේ දැයි යන්න පිළිබඳ පැහැදිලි දර්ශකයක් වෙමින්, පලස්තීන සහයෝගීතා ව්‍යාපාරය මෙහෙයවන විරෝධතාවලට සමගාමීව ශ්‍රී ලංකාවේ යුදෙව් විරෝධයට අදාළ සිදුවීම් ද දැඩි ලෙස ඉහළ ගොස් තිබේ.   ඊශ්‍රායල-පලස්තීන ගැටුම සම්බන්ධයෙන් තම නිල ස්ථාවරය හෙළි කිරීමෙන් වැළකී සිටින කොළඹ ආණ්ඩුව දුෂ්කර තත්වයකට මුහුණ දී සිටියි   ඊශ්‍රායල සංචාරකයින් කෙරෙහි එල්ල වන කෝපය ප්‍රධාන වශයෙන් පැන නැඟී ඇත්තේ “උම්මා” නමැති ඉස්ලාමීය දහමට සමාන කම් දරන පලස්තීනුවන් සමඟ පවත්නා චිත්තවේගීය බැඳීමකින් මෙහෙයවෙන ශ්‍රී ලංකාවේ මුස්ලිම් ප්‍රජාව වෙතිනි.   ශ්‍රී ලංකා සමාජය තුල සිටින නිදහස් මතධාරීහු සහ ආණ්ඩුව පවත්වා ගෙන යන නිහඬතාව මුස්ලිම් ප්‍රජාව තුළ සිටින ඇතැම් කොටස් රැඩිකල් කරණයට භාජනය කළ හැකි අනතුරුදායක ලකුණක් වේ.

මුළු පලස්තීනය ම අත්පත් කර ගැනීම සඳහා ඊශ්‍රායලය දිගටම දියත් කර තිබෙන ව්‍යාපාරය මෑත කාලීනව තියුණු කිරීමේ දී හමාස් සංවිධානය ඉටු කර තිබෙන කාර්යභාරය අවතක්සේරුවට ලක් නොකරමි. එහෙත්, කිසි දා නොවූ විරූ අන්දමින් පලස්තීනය මුළුමණින් අත්පත් කර ගැනීම වහා සිදු වෙන්නට යන බව පෙනේ. පලස්තීනය තුල සමගියෙන් ජීවත් වූ අරාබිවරුන්, යුදෙව්වන් සහ කිතුනුවන්ගේ කැමැත්ත විමසීමෙන් තොරව 1947 දී එවකට පැවති පලස්තීනය බෙදා වෙන් කිරීමෙන් නිර්මාණය කරන ලද මෙම ගැට‍ළුවට ද්වි-රාජ්‍ය විසඳුමක් සැකසීම සඳහා පටන් ගැනීමක් ලෙස ස්වාධීන සහ ස්වෛරී පලස්තීන රාජ්‍යයක් පිළිගැනීමේ සමූහයට ඕස්ට්‍රේලියාව ඇතුළු බටහිර ජාතීන් කිහිපයක් මෑතක දී එක් වී සිටියත්, ද්වි-රාජ්‍ය විසඳුමක විය හැකි බවත්, ශක්‍යතාවත් අවම බව පෙනේ. වර්තමාන ඊශ්‍රායල දැඩි මත ධාරීහු ප්‍රයත්න දරන්නේ යෝජිත “ද්වි-රාජ්‍ය විසඳුම” සාක්ෂාත් කර ගැනීම අඩපණ කර දැමීමටයි.

2023 ඔක්තෝබර් 7 වන දා හමාස් ප්‍රහාරය සිදු කල සැණෙකින් වත්මන් සතුරුකම් වටය ආරම්භ වූයේ හමාස් සංවිධානය ඊශ්‍රායලයට සහ එහි ජනතාවට පහර දීමත් සමගින් බව පිළි ගත් මගේ සගයන් බොහෝ දෙනෙක් සහ මම සිවිල් වැසියන් ප්‍රාණ ඇපයට ගැනීම සම්බන්ධව හමාස් සංවිධානය හෙළා දුටුවෙමු. ඒ ආකාරයෙන් ම අපි, ඊශ්‍රායලය ගාසා තීරයට අවිචාරාත්මක ලෙස බෝම්බ හෙලීම; ගාසා තීරයට ආහාර, ජලය, ඖෂධ සහ විදුලිය වාරණය කිරීම; සහ බටහිර ඉවුර යුද බලය යොදවා වසා දැමීම ද හෙළා දැක්කෙමු. සමස්ත ජනගහනයකට ම එරෙහිව සාමූහික දඬුවම් පැනවීමෙන් ඊශ්‍රායලයට මෙම ගැටලුව විසඳා ගත හැක්කේ කෙසේ දැයි අපි ප්‍රශ්න කළෙමු.

ශ්‍රී ලංකාවේ ව්‍යාකූලභාවය

ගාසා තීරයේ සහ පුළුල් වශයෙන් මැද පෙරදිග දිනපතා දිග හැරෙන ව්‍යසනය විසින් අසීරු තත්වයකට පත් කර ඇති ජාතික ජන බලවේග (NPP) ආණ්ඩුව ගැටුම පිළිබඳව සිය නිල ස්ථාවරය හෙළි කිරීමෙන් දිගටම වැළකී සිටී. 1948 සිට ලංකාව අසල්වැසියන් සමඟ සසඳන විට ලංකාව, ඊශ්‍රායලය සමඟ අවි ආයුධ මිල දී ගැනීම ද ඇතුළු සීමිත සම්බන්ධතා පවත්වා ගෙන ගියේ ය. කෙසේ වෙතත්, 1956 සිට පැවති ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ආණ්ඩු ඊශ්‍රායලය කෙරෙහි එදිරිවාදී ආකල්පයක් දැක්වූ අතර පලස්තීන විමුක්ති සංවිධානය (PLO) සමඟ වඩා සමීප සබඳතා පවත්වා ගැනීම කෙරෙහි කැමැත්තක් දැක්වූහ. 1971 දී, පලස්තීන අරමුණට සහාය දැක්වීම සඳහා ශ්‍රී ලංකාවේ ඊශ්‍රායල තානාපති කාර්යාලය වසා දැමීමට සිරිමා බණ්ඩාරනායක මහත්මිය පොරොන්දු වූවා ය.

1970 දශකයේ අග භාගයේ දී, ජේ.ආර්. ජයවර්ධන ජනාධිපතිවරයා මේ ගමන් මග වෙනස් කර එල්ටීටීඊය නායකත්වය දුන් දෙමළ සටන්කාමීන්ට එරෙහිව යුද වැදීම සඳහා ඊශ්‍රායලයේ සහාය ලබා ගැනීම වෙත යොමු විය. ඔහුගේ පාලන තන්ත්‍රය ඊශ්‍රායලය සමඟ රාජ්‍ය තාන්ත්‍රික සබඳතා පිහිටුවා ගත්තේය. මහවැලි ව්‍යාපෘති සංවර්ධනය සම්බන්ධයෙන් රජයට උපදෙස් දුන් ඊශ්‍රායලය ඇතැම් ජාත්‍යන්තර ව්‍යාපෘති සඳහා අරමුදල් ද ලබා දුන්නේය. 1992 දී රණසිංහ ප්‍රේමදාස ජනාධිපතිවරයා යටතේ රාජ්‍ය තාන්ත්‍රික සම්බන්ධතා අත්හිටුවන ලද නමුත් 2000 දී සබඳතා යළි යථා තත්ත්වයට පත් කරන ලදී. ශ්‍රී ලංකා සිවිල් යුද්ධය අතරතුර ඊශ්‍රායලය ශ්‍රී ලංකා සන්නද්ධ හමුදාවන්ට අවි ආයුධ සහ පුහුණුව ලබා දුන් ප්‍රධාන මූලාශ්‍රයක් විය. මේ හේතුව නිසා, ගාසා වැසියන්ට එරෙහිව ඊශ්‍රායලය ගෙන යන ජන සංහාරක ව්‍යාපාරය සහ පලස්තීන ජනතාව එහි කුරිරු හමුදා පාලනය යටතේ තබා ගැනීමට දරන උත්සාහයන් සම්බන්ධයෙන් වත්මන් ආණ්ඩුව අපැහැදිලි ආස්ථානයක් පවත්වා ගෙන යයි.

වැදගත් කරුණු කිහිපයක් හෙළි කිරීම සඳහා මහින්ද රාජපක්ෂ යුගයට පෙර පැවති යුගය දෙස ආපසු හැරී බලන්නට මා කැමති යි. මතුපිටින් බැළු විට පවා පෙනී යන්නේ යටත් විජිතවාදයට එරෙහි නොබැඳි ජාතීන්ගේ ව්‍යාපාරයේ ස්ථාවරයට අනුකූල වෙමින් සහ පලස්තීන රාජ්‍යයක් පිහිටුවීම වෙනුවෙන් පෙනී සිටිමින් පලස්තීන අරමුණට සහාය දැක්වීමේ දිගු ඉතිහාසයක් ශ්‍රී ලංකාව සතුව පැවති බවයි. බණ්ඩාරනායක මහත්මිය ඇයට ගෞරවය හිමි වන ලෙසට, පලස්තීන නායකත්වය සමඟ සක්‍රීයව සම්බන්ධ වී, අගමැතිනිය වශයෙන් පලස්තීනය වෙනුවෙන් ශ්‍රී ලංකාවේ සහයෝගය පල කරමින් ලෝක වේදිකාවේ හඬ නැඟුවාය. පලස්තීන ජනතාවගේ නීත්‍යානුකූල නියෝජිතයා ලෙස PLO සංවිධානය පිළිගැනීම දක්වා බණ්ඩාරනායක මහත්මියගේ සහයෝගය පුළුල් ව ගියේය.

ආචාර්ය අමරසිංහ මෙසේ පවසයි:

“මෙම සහයෝගිතා ව්‍යාපාරවලට සම්බන්ධ බොහෝ ක්‍රියාකාරීහු ගාසා තීරයේ වත්මන් තත්ත්වය ඔක්තෝබර් 7 වන දින සිදු වූ බිහිසුණු සිදුවීම් මගින් අවුළුවා ලන ලදැයි යන්න පිළි නොගැනීමේ දැඩි ස්ථාවරයක සිටිති. හමාස් සංවිධානයේ ග්‍රහණයෙන් ඊශ්‍රායලයට සිය ප්‍රාණ ඇපකරුවන් මුදවා ගැනීමට ඇති අයිතිය ගැන සාකච්ඡා කිරීම දැඩි ලෙස ප්‍රතික්ෂේප කරන විට ඔවුන් සතු අකමැත්ත වඩාත් පැහැදිලි වේ. ගාසා තීරයේ සම්පූර්ණ තත්ත්වය හෝ හමාස් සංවිධානය සටන් විරාම ගිවිසුමක් කරා ප්‍රවේශ විය හැකි ඕනෑම මාර්ගයකට බාධා කර ඇති ආකාරය පැහැදිලි කිරීමට උත්සාහ දරන විරුද්ධ මත ඔවුහු නුරුස්සති. සමස්තයක් ලෙස ගත් විට, මැද පෙරදිග ආරවුල ඇති වීමට බලපාන ලද දිගු කාලීන හේතු හඳුනා නොගෙන වෛරයේ බීජ පතුරවමින් ශ්‍රී ලංකාවේ සහයෝගිතා ව්‍යාපාරය ඒකපාර්ශ්වික කතන්දරයක් ප්‍රචලිත කරයි.”

ඉහත සඳහන් අන්දමේ ප්‍රකාශ, සමස්ත ගැට‍ළුව පිළිබඳව ඒකපාර්ශ්වික දැක්මක් ඉදිරිපත් කරන බව මගේ අදහස යි. 55 වසරක ගැටුම් උත්සන්න වීමකට සහ 75 වසරක පීඩනයකට තුඩු දී ඇත්තේ ඊශ්‍රායල හමුදා පලස්තීන භූමිය නතු කර ගෙන සිටීම යි. මහා බ්‍රිතාන්‍යය විසින් කලින් පිහිටුවා තිබූ පලස්තීන අධිකාරිය, යුදෙව් සහ අරාබි රාජ්‍යයන් ලෙස බෙදා වෙන්කරමින් 1947 දී  එක්සත් ජාතීන්ගේ සංවිධානය එහි 181 වන යෝජනාව සම්මත කර ගත්තේය. ‘මහා ව්‍යසනය’ හෙවත් ‘නක්බා’ ලෙස හඳුන්වන, පලස්තීන අරාබි ජාතිකයන් ප්‍රචණ්ඩත්වය යොදා සාමූහික වශයෙන් නෙරපා දැමීම මගින් පලස්තීන පුරවර, නගර සහ ගම්මාන 400කට අධික ප්‍රමාණයක් විනාශයට ලක් කර, පලස්තීන භූමියෙන් සියයට 78 ක් ඊශ්‍රායලය බවට හරවා ලීය. අසල්වැසි රටවල සරණාගතයින් වන්නට බල කරමින් බොහෝ පලස්තීනුවන් වාර්ගික ව සුද්ධ කර දමන ලදි. 1967 දී, නැගෙනහිර ජෙරුසලම, බටහිර ඉවුර සහ ගාසා තීරය ඈඳා ගනිමින් ඊශ්‍රායලය සිය බලහත්කාරී පාලනය පුළුල් කළේය. 2015 සිට, එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය ඊශ්‍රායලය පලස්තීනුවන් කෙරෙහි දක්වන සැලකිල්ල විවේචනය කරන යෝජනා 140ක් සම්මත කර ගෙන ඇත. එසේ වුවද ඊශ්‍රායලය නීතියේ ආධිපත්‍යය නොසලකා හරිමින් දිගටම එහි රැඳී සිට ඇත.

වත්මන් ගැටුම තේරුම් ගැනීම සඳහා පහත සඳහන් කරුණු සලකා බැලීම අත්‍යවශ්‍ය වේ.

ස්වයං නිර්ණ අයිතිය පිළිබඳ සංකල්පය

ස්වයං නිර්ණය යනු ජන ප්‍රජාවක දේශපාලන ඉරණම තෝරා ගැනීමේ නිදහස ඔවුන් සතුව ඇතැ යි යන මූල ධර්මය යි. 1700 ගණන්වල එක්සත් ජනපදයේ සහ ප්‍රංශයේ ආරම්භ වූ එය, පළමු ලෝක යුද්ධයෙන් පසු යුරෝපය යළි සිතියම් ගත කිරීමේ දී වුඩ්රෝ විල්සන්ට මඟ පෙන්වීය. දෙවන ලෝක යුද්ධයෙන් පසු, එක්සත් ජාතීන්ගේ ප්‍රඥප්තිය ස්වයං නිර්ණය නීතිමය අයිතියක් ලෙස ස්ථාපිත කලේය. බොහෝ විට වාර්ගික-ජාතිකවාදී අයිතිවාසිකම් හෝ පීඩනයට ප්‍රතිචාර දැක්වීම විසින් මෙහෙයවනු ලබන කණ්ඩායම් නිදහස හෝ ස්වාධීනත්වය අත් කර ගැනීම සඳහා උත්සාහ දරන රාජ්‍යයන් තුළ පවතින අභ්‍යන්තර අරගල අන්තර්ගත කර ගැනීම දක්වා මෙම මූල ධර්මය පරිණාමය වී තිබේ. ස්වයං නිර්ණය නිශ්චිත කණ්ඩායම්වලට සීමා වී තිබේ ද නැතහොත් ස්වාධීන රාජ්‍යත්වයක් අදහස් කරන්නේ ද යන්න කෙරෙහි අවධානය යොමු කරමින් මූලධර්මයේ අර්ථ නිරූපණය වෙනස් වේ.

ශ්‍රී ලංකාවේ, ජනතා විමුක්ති පෙරමුණ, එහි ආරම්භක නායකයා වූ නැසී ගිය රෝහණ විජේවීර සහෝදරයා යටතේ ජනතා විමුක්ති පෙරමුණ, එය එතෙක් පිළි ගෙන තිබුණු ස්වයං-නිර්ණ අයිතිය පිළිබඳ ප්‍රතිපත්තිය 1983 ජූලි මාසයේ දී කණපිට හරවා ලීය. මෙම ප්‍රතිපත්තිය කණපිට හරවන ලද්දේ, 1917 අප්‍රේල් මාසයේ දී රුසියාවට යළි පැමිණි දා පටන් ලෙනින්  ජාතීන් සහ ජාතිකත්වයන් සතු ස්වයං-නිර්ණ අයිතිය පිළිබඳ සූත්‍රගත කිරීම සම්පූර්ණයෙන් අතහැර දමා තිබුණු බවත්, විශේෂයෙන් ම, 1919 මාර්තු 18 සිට 23 දක්වා පැවති රුසියානු කොමියුනිස්ට් පක්ෂයේ (බොල්ෂෙවික්) අට වන සම්මේලනයෙන් පසුව ඔහු එම මූල ධර්මය සම්පූර්ණයෙන්ම අතහැර දැමූ බවත් යන්නට මුවා වෙමිණි. 1986 දී, මෙම පදනම මත, විජේවීර සහෝදරයා “දෙමළ ඊලාම් අරගලයට විසඳුම කුමක්ද?” (https://lionelbopage.com/wp-content/uploads/2025/08/Demala_eelam_aragalayata_wisaduma_kumakda.pdf) යන මැයෙන් නිබන්ධනයක් ප්‍රකාශයට පත් කළේය. ඒ සමඟම, 1973 දී කොළඹ නව මැගසින් බන්ධනාගාරයේ සිර ගත කර සිටියදී මා ලියූ “ජාතික ගැට‍ළුව ගැන මාක්ස්වාදී විග්‍රහයක්” (https://www.blogger.com/blog/post/edit/6016720849838725699/3752628525797567191) යන පොත් පිංච පරිශීලනය කිරීම වළක්වන ලදි.

වෙනසට අදාළ සන්දර්භය

අප මේ ලියවිලි දෙකම ලියුවේ කවර ආකාරයේ සන්දර්භයක් තුළ ද යන්න අවබෝධ කර ගත යුතුව ඇත. මා සිරගත කර සිටියදී අපගේ මිතුරන්ට සහ සහෝදර සහෝදරියන්ට පිටත සිට එක් රැස් කර ගෙන එන්නට හැකි වූ කරුණු මත විශ්වාසය තබමින් මට රැස් කර ගත හැකි වූ තොරතුරු යොදා ගෙන එම පොත් පිංච ලියුවෙමි. ඒ ලියවිල්ල බොහෝ දුරට පදනම් වූයේ ලෙනින්ගේ ලේඛන සහ එම්. බී. රත්නායක සහෝදරයා බන්ධනාගාරය තුළට ගෙන ඒමට සමත් වූ ඉතිහාසය හා සම්බන්ධ ඇතැම් පොත් මත යි. නව මැගසින් බන්ධනාගාරයේ රඳවා සිටි විජේවීර සහෝදරයා ද ඒ කාලයේ කෙටුම්පත කියවා ඊට එකඟතාවය පළ කලේය.

එපරිද්දෙන් ම, විජේවීර සහෝදරයාට ඔහුගේ නිබන්ධනය ලිවීමට සිදු වූයේ, ඔහු විසින් ම ගන්නා ලද තීරණයක් අනුව යමින් යටි බිම් ගත වීමෙන් පසුව, වඩාත් අසීරු මර්දනකාරී තත්වයන් යටතේ යි. දේශපාලන අරගලය විවෘත දේශපාලන ක්ෂේත්‍රයෙහි කර ගෙන යන්නට ඔහුව පොළඹවා ගන්නට බොහෝ උත්සාහයන් දැරුව ද, ඔහු යටි බිම් ගත වම සිටියේය. මා පසුව රැස් කර ගත් තොරතුරු වලට අනුව, විජේවීර සහෝදරයාට සිදුව තිබුණේ දයා වන්නිආරච්චි සහෝදරයා  ලබා දෙන ලද තොරතුරු මත සම්පූර්ණයෙන් විශ්වාසය තබා කටයුතු කිරීමට යි. වන්නිආරච්චි සහෝදරයා ඒ තොරතුරු රැස් කර, ඒවා සිංහලට පරිවර්තනය කර, විජේවීර සහෝදරයාට යවා ඇත. 90 දශකයේ JVP ශ්‍රී ලංකා වෙබ් අඩවියේ තිබුණු විජේවීර නිබන්ධනයේ ඉංග්‍රීසි පරිවර්තනය තවදුරටත් එහි නොමැති බව පෙනේ. කැන්බරා නුවර සිටියදී මා එය පරිශීලනය කල විට, එය ලෙනින්ගේ විකෘති කෙරුණු හෝ වැරදි ලෙස පරිවර්තනය කරන ලද උපුටා දැක්වීම් වලින් ගහන ව තිබුණි.

1919 මාර්තු 19 වන දින, රුසියානු කොමියුනිස්ට් පක්ෂයේ (බොල්ෂෙවික්) 8 වන සම්මේලනයේ දී ම එහි අවසානයේ ලෙනින් ඉදිරිපත් කළ වාර්තාවේ කොටසක් ලෙස ඔහු කල කතාව (https://www.marxists.org/archive/lenin/works/1919/rcp8th/04.htm) කියවීමෙන්, ‘ස්වයං නිර්ණයට ජාතීන් සතු අයිතිය’ පිළිබඳ ප්‍රතිපත්තිය සම්බන්ධයෙන් ජනතා විමුක්ති පෙරමුණ ගෙන තිබූ සාවද්‍ය සහ දෝෂ සහගත ස්ථාවරය පැහැදිලි විය. ලෙනින් උපුටා දැක්වුව හොත්:

“මධ්‍යතන යුගයේ සිට ධනේශ්වර ප්‍රජාතන්ත්‍රවාදය දක්වාත්, ධනේශ්වර ප්‍රජාතන්ත්‍රවාදයේ සිට නිර්ධන පංති ප්‍රජාතන්ත්‍රවාදය දක්වාත් යන ගමනේ දී නිශ්චිත ජාතිය විසින් ළඟා කර ගෙන ඇති අදියර සැලකිල්ලට ගත යුතු බව අපි කියමු. එය සම්පූර්ණයෙන්ම නිවැරදි ය. සියළුම ජාතීන් සතුව ස්වයං නිර්ණ සඳහා අයිතිය තිබේ – හොටෙන්ටොට්ස් සහ බුෂ්මන්වරු ගැන විශේෂයෙන් කතා කරන්නට වුවමනා නැත. සියළුම රටවල් මධ්‍යතන යුගයේ සිට ධනේශ්වර ප්‍රජාතන්ත්‍රවාදය දක්වා හෝ ධනේශ්වර ප්‍රජාතන්ත්‍රවාදයේ සිට නිර්ධන පංති ප්‍රජාතන්ත්‍රවාදය දක්වා වන මාවතේ ගමන් ගන්නා බැවින් අතිශය බහුතරය, බොහෝ විට පෘථිවියේ ජනගහනයෙන් දහයෙන් නවයක් පමණ, සමහර විට සියයට 95 ක් ම, මෙම විස්තර කිරීම යටතට වැටේ. මෙය නියත වශයෙන් ම නොවැළැක්විය හැකි ගමන් මාවතකි. මීට වඩා යමක් කිව නොහැකි ය; මන්ද එය වැරදි වනු ඇති බැවිනි; මන්ද එය සැබවින්ම පවතින දෙයක් නොවන බැවිනි. ජාතීන්ගේ ස්වයං නිර්ණය ප්‍රතික්ෂේප කර, වැඩ කරන ජනතාවගේ ස්වයං නිර්ණය ඇතුළත් කිරීම මුළුමණින්ම වැරදි වනවා ඇත; මක්නිසාද යත්, ජාතීන් තුළ වෙනස්කම් සිදු වීම මගින් ගන්නා වංගු සහිත ගමන් මාර්ගය ගැන, දුෂ්කරතා ගැන, ප්‍රශ්නය විසඳන මෙම ආකාරය  සැලකිල්ලක් නොදක්වන හෙයිනි.

තවත් ටික කාලයක් ජීවත් වන්නට ඉඩ ලැබුණ හොත්, අධික සමාජ, වෘත්තීය සහ පෞද්ගලික කටයුතු නිසා කැන්බරා නුවර සිටියදී මට කළ නොහැකි වූ පුළුල් අන්දමේ ප්‍රතිචාරයක් ලියා පල කිරීම මගේ බලාපොරොත්තුව යි. විජේවීර සහෝදරයා ඔහුගේ නිබන්ධනය ලියන අවස්ථාව වන විට, දිගටම කෙරී ගෙන ගිය ගැටුම නිසාවෙන් පීඩාවට පත් ජනයා කෙරෙහි කිසිදු අනුකම්පාවක්  නොදැක්වූ වාතාවරණයක් සහිතව, ශ්‍රී ලංකාවේ දකුණත් උතුරත් පැවතියේ අන්ත ජාතිකවාදී බලපෑම් යටතේ ය.

ප්‍රජාවන් අතර සාමය සඳහා ගන්නා සියලු උත්සාහයන් මනෝවිද්‍යාත්මක යුධ මෙහෙයුම් (PsyOp)  මගින් මුළුමණින්ම අධෛර්යමත් කරවන ලදී. ඒ කාලයේ දී, ජේ.ආර්. ජයවර්ධන පාලනය තුළත්, ඉන් පිටතත් සිටි සිංහල ජාතිකවාදී බලවේග, ජවිපෙ සතුව දකුණේ සිංහල බෞද්ධ තරුණ ස්ථර තුළ තිබූ සමාජ පදනම අස්ථාවර බවට පත් කර දිනා ගන්නට උත්සාහ කරමින් සිටියහ. මෙම අවස්ථාව දෝතින් ම අල්ලා ගන්නට ජවිපෙ නායකත්වයට බල කෙරුණා විය හැකිය.

බටහිර සහරාව, එරිත්‍රියාව, නැගෙනහිර ටිමෝරය සහ පලස්තීනය ඇතුළු විවිධ කලාපවල විමුක්ති අරගල සම්බන්ධයෙන් පසුකාලීන ව ඔවුන් ගෙන තිබෙන ස්ථාවරයන් මගින් සනාථ වන පරිදි, ජනතා විමුක්ති පෙරමුණ 1984 සිට කිසිදු පීඩිත ජාතියක හෝ ජාතිකත්වයක ස්වයං නිර්ණ අයිතියට සහාය දීම අවසන් කර දමා ඇත.

මතු සම්බන්ධ යි.

| ලයනල් බෝපගේ

2025 අගෝස්තු 25 වන දා

Tags:

Leave A Comment