
ශ්‍රී ලංකාවේ ද ඇතුළුව, හිරු යට පවතින සියළු දේ දේශපාලනික වේ – ලයනල් බෝපගේ (පළමු කොටස)
- Sujeewa Senerath
- September 11, 2025
- CNL සතියේ දේශපාලන විවරණය
- lionel-bopage, weekly political analyzes
- 0 Comments
විශ්වාසය, වග වීම සහ පාලනයේ අර්බුදය
ප්රජාතන්ත්රවාදී ආණ්ඩු ලොව පුරා දැඩි පීඩනයට ලක්ව තිබේ. ශ්‍රී ලංකාවේ තත්වය ද ඊට වෙනස් නැත. යුද්ධ, දේශගුණික විපර්යාස, ආර්ථික කැලඹිලි, ආහාර අනාරක්ෂිත භාවය සහ නව වසංගතවල අවදානම වැනි ගෝලීය අර්බුද විසින්, ධෘවීකරණය සහ අවිශ්වාසය හේතුවෙන් දැනටමත් දුබල කරනු ලැබ ඇති දේශපාලන ක්‍රම පද්ධතිවල ඔරොත්තු දීමේ හැකියාව පරීක්ෂාවට ලක් කරනු ලැබේ. සරල අන්දමේ විසඳුම් සඳහා ජනතාවාදී ඉල්ලීම් අවුස්සා ලමින් සහ ගෝත්රවාදී “අපට එරෙහි ඔවුන්” දේශපාලනය ශක්තිමත් කර ලමින් එක්සත් ජනපදයේ ජනාධිපතිවරයා වශයෙන් ඩොනල්ඩ් ට්‍රම්ප් තේරී පත්වීමත් සමඟ මෙම අවිනිශ්චිත වාතාවරණය තවත් ගැඹුරු බවට හරවා ඇත.
ශ්‍රී ලංකාව තුළ මෙම ගෝලීය ප්රවාහයන් බලවත් අන්දමින් අනුනාද වේ. හිටපු ජනාධිපතිවරයෙකු අත්අඩංගුවට ගැනීම, අධිකරණ ක්‍රියාවලි කෙරෙහි දක්වන පක්ෂග්රාහී ප්‍රතිචාර සහ පවුල් හෝ කල්ලි මත පදනම් වුන දේශපාලන සංයමය හා අදාළ අඛණ්ඩ සංස්කෘතිය පිළිබිඹු කරන්නේ පාලනයේ පවතින ගැඹුරු ව්‍යාධියකි. මහජන විශ්වාසය සෝදාපාළු වී යෑම ඒකාධිපති ප්රවණතා පෝෂණය කරමින් ප්රජාතන්ත්රවාදී ආයතන අඩපණ කර දමයි.
ගැටලුවේ හදවත වන්නේ දේශපාලනඥයන්, රාජ්‍ය සේවය සහ ඡන්දදායකයන් අතර පවතින සම්බන්ධතාවය යි.
පාලක පක්ෂය
දේශපාලන ප්‍රභූ පැලැන්තීන් රාජ්‍ය යාන්ත්‍රණය අත්පත් කර ගැනීම, ඥාති සංග්‍රහය, සහ රහසිගත භාවය විසින් අනුප්‍රාප්තික ශ්‍රී ලාංකික ආණ්ඩු අවලක්ෂණ බවට පත් කරවා ඇත. බණ්ඩාරනායකවරුන්ගේ සිට රාජපක්ෂවරුන් දක්වා සහ මෑතක දී ජනතා විමුක්ති පෙරමුණ (ජවිපෙ) නායකත්වය දෙන ජාතික ජන බලවේගය (එන්පීපී) දක්වා, ප්‍රතිසංස්කරණ ගැන ඉදිරිපත් කල දෙඩවිලි බොහෝ විට බලය සංකේන්ද්‍රණය කිරීමේ සහ පරිබාහිර කිරීමේ භාවිතාවන්ට මග පාදා තිබේ. පුළුල්ව පදනම් කර ගත් උපදේශනය වෙනුවට, තීරණ ගැනීම දැඩි ලෙස පාලනය කිරීමට, ඇතැම් විට සඟවා ලන්නට පවා ලක් කර තිබේ. ජනාධිපති ලේකම් කාර්යාලය, තොරතුරු දැන ගැනීමේ අයිතිවාසිකම පිළිබඳ පනත යටතේ මූලික කාර්ය මණ්ඩල සහ වියදම් තොරතුරු නිකුත් කිරීම ප්‍රතික්ෂේප කිරීම මගින් අවධාරණය කරන්නේ පාරාන්ධතාව නොකඩවා පවත්වා ගැනීමයි.
නිලධරවාදය
පරමාදර්ශී වශයෙන් ප්රතිපත්තිවල මධ්‍යස්ථ භාර කරුවෙක් වන රාජ්‍ය සේවය වඩ වඩාත් දේශපාලනීකරණයට ලක් වෙමින් පවතී. වෘත්තීය බව, අපක්ෂපාතී බව සහ වග වීම ඉහළින් ඔසවා තැබීම වෙනුවට පාලක පක්ෂයේ න්‍යාය පත්‍ර සමඟ පෙළ ගැසෙන්නට රාජ්‍ය සේවකයින්ට බලපෑම් එල්ල වේ. මෙයින් “අවංක හා නිර්භීත” උපදෙස් ලබා දෙන්නට හෝ දුබල හෝ නොසැලකිලිමත් තීරණ ගැනීමට එරෙහි ආරක්ෂාවක් ලෙස කටයුතු කරන්නට රාජ්‍ය සේවයට ඇති හැකියාව දුර්වල කෙරේ. ශ්‍රී ලංකාවේ අගමැතිනිය ආයෝජන මණ්ඩලයෙන් ලැබුණ පරීක්ෂාවට ලක් නොකල කෙටි සටහනක් පාර්ලිමේන්තුවේ දී උපුටා දැක්වූ සිද්ධියෙන් පැහැදිලි වන්නේ පක්ෂග්රාහී දේශපාලනය සහ රාජ්‍ය පරිපාලනය අතර සීමාවන් කෙතරම් බොඳ වීමට ලක්ව ඇත්තේ ද යන්නයි.
ඊට වෙනස් ලෙස, බලපෑම්වලින් මුළුමණින් නිදහස් නොවුනත් ඕස්ට්‍රේලියාවේ, දේශපාලනිකව මධ්‍යස්ථ රාජ්‍ය සේවයක මූලධර්මය පදනමක් ලෙස පවතී. ජ්‍යෙෂ්ඨ නිලධාරීන් උපකල්පන අභියෝගයට ලක් කරමින් සහ පරීක්ෂාවට ලක් කල සාක්ෂි මත පදනම් වූ උපදෙස් ලබා දෙමින් ආණ්ඩු කෙරෙහි “විචාරාත්මක මිතුරන්” ලෙස කටයුතු කරනු ඇතැයි අපේක්ෂා කරනු ලැබේ. සර්ව සම්පූර්ණ නොවූවත්, මෙම ක්‍රමය තීරණ ගන්නා අය අනපේක්ෂිත ප්රතිවිපාකවලින් ආරක්ෂා කිරීමේ වැදගත්කම හඳුනා ගනී.
ඡන්දදායකයෝ
මේ අතර, පුරවැසියෝ ඉහළ නැඟෙන අපේක්ෂාවන් ද, යළි යළිත් සිදු වන බලාපොරොත්තු කඩ වීම් ද අතර කොටු වී සිටිති. ජනප්‍රියවාදී දෙඩවිලි මුල් ඇද ගෙන තිබෙන ආර්ථික හා සමාජීය ගැටලුවලට කඩිනම් විසඳුම් ලබා දෙන්නට පොරොන්දු වුවද, බොහෝ විට ඒවා ඉටු කිරීමට නොහැකි ය. පොදු සම්පත් අනිසි ලෙස භාවිතා කිරීම, දූෂණය, හෝ පාරාන්ධ ලෙස කරන පත් කිරීම් සම්බන්ධ වන හෝ නොවන අපකීර්තිමත් කටයුතු විසින් නුරුස්නා ස්වභාවය වඩවා ලනු ලැබේ. සාමාන්‍ය ශ්‍රී ලාංකිකයන් බොහෝ දෙනෙකුට ඔවුන්ගේ වියෝ වීම තවත් ගැඹුරු බවට පත් කරවමින්, දේශපාලනය පාවා දීම හා සමඟ සමාන වන පදයක් බවට පත් වී ඇත.
උපයෝගීතාවට ප්‍රමුඛත්වය දෙන දේශපාලනඥයෝ, දේශපාලන ග්‍රහණය යටතේ සිටින නිලධාරීහු, සහ විඩාවට පත් ඡන්දදායකයෝ යන මෙම බලවේග තුන අතර පවතින අන්තර් ක්‍රියාකාරිත්වය, දූෂණය, අකාර්යක්ෂමතාව සහ ප්රජාතන්ත්රවාදී සම්මතයන් සෝදාපාළු කර දැමීම උදෙසා සාරවත් භූමියක් නිර්මාණය කරයි. කියමන දක්වන අන්දමට “හිරු යට පවත්නා සියල්ල දේශපාලනික වන” නමුත් ශ්‍රී ලංකාවේ ගැටළුව වන්නේ මහජන යහපත සඳහා යොදා ගන්නා වාහනයක් වනවා වෙනුවට දේශපාලනය ආත්මාර්ථකාමී රංග ශාලාවක් බවට පත් වී තිබීමයි.

මතු සම්බන්ධයි.
2025 සැප්තැම්බර් 10 වන දා