ශ්‍රී ලංකාවේ පමණක් ඇති රන් දෝතළු ශාකයේ වටිනාකම ඔබ දන්නවා ද?
- CNL Reporter
- April 13, 2025
- පුවත්
- 0 Comments
සමනල කන්දට වැඩම කළ බුදුරජාණන් වහන්සේට සුමන සමන් දෙවියන් දෝතළු මල් පූජා කළ බවටත් එසේ පූජා කරන අවස්ථාවේ බුද්ධානුභාවයෙන් ඒවා රන් පැහැ ගැන්වුණු බවටත් ජනප්‍රවාදයක් පවතී.
මෙරටට පමණක් ආවේණික, වඳවී යාමේ තර්ජනයට ලක්වීම නිසා රතු දත්ත ලැයිස්තුවට ඇතුළත් කර ඇති රන් දෝතළු ශාකය Loxococcus rupicola නම් විද්‍යාත්මක නාමයෙන් හඳුන්වනු ලබයි.
2020 වර්ෂයේදී නිකුත් වූ ජාතික රතු දත්ත ලයිස්තුවෙහි අන්තරායට ලක්වූ (EN) ශාක විශේෂයක් ලෙස රන් දෝතළු ශාකය නම් කොට ඇත.
ආගමික විශ්වාසයන්ට මූලික වී තිබෙන මුළු ලෝකයෙන් ම ශ්‍රී ලංකාවේ පමණක් දක්නට තිබෙන මෙම සුවිශේෂි ශාකය පිළිබඳව බීබීසී සිංහල කරුණු සොයා බැලීය.
‘මුළු ලෝකයට ම එක ගණයයි තියෙන්නේ ඒ ගණයට මේ විශේෂය විතරයි’
තාල වර්ගයට අයත් මෙම ශාකය ලංකාවේ පමණක් ඇති ප්‍රභේදයක් බව ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ උද්භිද විද්‍යා අධ්‍යන අංශයේ ආචාර්ය ඉසුරු කාරියවසම් සඳහන් කළේ ය.
“Loxococcus rupicola හෙවත් රන් දෝතළු නම් ශාක විශේෂය මුළු ලෝකයට ම එක යි තියෙන්නේ. ඒක අන්තරායට ලක්වූ (EN) ශාකයක් විදියට තමයි අපි සලකන්නේ. මුලු ලෝකයටම එක ගණයයි තියෙන්නේ. ඒ ගණයට මේ විශේෂය විතර යි. ඒ හින්දා අපි ඒක monotypic genus එකක් ලෙස හඳුන්වනවා.”
“ඉතා සීමිත ව්‍යාප්තියක් දක්වන මේ ශාකය තියෙන්නේ නිරිත දිග තෙත් කලාපය, නකල්ස් කඳු පන්තිය සහ ශ්‍රී පාද අඩවිය ඇතුළු කඳුකර, උප කඳුකර ප්‍රදේශවල සහ මීටර් 300-1500 අතර නිවර්තන වැසි වනාන්තර ආශ්‍රිත ශීඝ්‍ර බෑවුම් සහිත ප්‍රදේශවල. ගොන්ගල, දෝතළුගල, ශ්‍රී පාදය ආශ්‍රිත ප්‍රදේශවල වර්ධනය වන අතර, මේ ශාකය බීජ මගින් ඉතා අඩු ප්‍රතිශතයකින් තමයි ප්‍රචාරණය නැත්නම් බෝ වීම සිදුවන්නේ,” යැයි ආචාර්යවරයා පැවසීය.
රන් දෝතළු ශාකය පිළිබඳව කෙරෙන පර්යේෂණය
ආචාර්ය ඉසුරු කාරියවසම්, ආචාර්ය හිමේෂ් ජයසිංහ, චම්පික බණ්ඩාර සහ අනූෂ අත්තනගොඩ ඇතුළු පර්යේෂණ කණ්ඩායමක් රන් දෝතළු ශාකය පිළිබඳව මේ දිනවල පර්යේෂණ කටයුත්තක ද නිරත වී සිටියි.
මෙම විශේෂයේ පුෂ්පමංජරී රතු හෝ ක්‍රිම්සන් පාටින් මෙන් ම ලා කහ සහ සුදු පැහැයෙන් ද, විවිධ පරිසරවලින් හමුවී ඇති අතර එකී ප්‍රභේද පිළිබඳව ගහන සහ අණුක මට්ටමේ පර්යේෂණයක් මෙම පර්යේෂණ කණ්ඩායම ආරම්භ කර ඇත.
මෙම ශාකය නාමකරණය සිදුකර එහි ශාකාගාර නිදර්ශක ලබාගෙන පේරාදෙණිය ජාතික ශාකාගාරයේ 1864 වසරේදී මුල්වරට නිදර්ශක තැන්පත් කරන ලද්දේ, එච්. කේ. ත්වේට්ස් (H. K.THWAITES) නම් බ්‍රිතාන්‍ය ජාතික උද්භිද විද්‍යාඥ්‍යා බව ද ආචාර්ය ඉසුරු කාරියවසම් පැවසීය.
ලෝකයෙන් ම වඳ වී යාමේ අවදානමක්
වාසස්ථාන අහිමි වීම, ස්වභාවික වාසස්ථාන ඛණ්ඩනය හේතුවෙන් ජාන කිටුව පටු වීම සහ ආගමික කටයුතුවලට මෙහි පුෂ්ප මංජරී කපා භාවිත කිරීම මෙන් ම දේශගුණික විපර්යාස හේතුකොට ගෙන මෙම ශාඛ විශේෂය වඳවීමේ තර්ජනයට මුහුණ දී ඇත.
එබැවින් ස්ථානීය සංරක්ෂණයෙහි (IN SITU CONSERVATION) වැදගත්කම අත්‍යවශ්‍ය බව මහ ජනතාවට අවධාරණය කළ යුතු බවත් අවිචාරශීලීව ආගමික කටයුතු සඳහා මෙම පුෂ්ප මංජරී භාවිත කිරීම මෙම ශාකය ලංකාවෙන් පමණක් නොව මුළු ලෝකයෙන් ම තුරන් වීමේ අවදානමක් පවතින බව ආචාර්ය ඉසුරු කාරියවසම් පෙන්වා දුන්නේ ය.
රන් දෝතළු මල ගැන ඇති විශ්වාස සහ සම්ප්‍රදායන් මොනවා ද?
ආගමික විශ්වාස, මිථ්‍යා අදහස් සහ සාම්ප්‍රදායික චාරිත්‍ර හේතුවෙන් රන් දෝතළු මල්වලට විශාල ඉල්ලුමක් පවතින අතර එම මල් පුජා කටයුතු සඳහා ද යොදා ගනු ලබයි.
රන් දෝතළු මල පූජනීය වස්තුවක් ලෙස පැරැන්නන් සලකනු ලැබූ අතර පළමු වරට සිරිපා වන්දනා කිරීමට ද රන් දෝතළු මල් ගෙන ගොස් පූජා කිරීම චාරිත්‍රයක් ලෙස පැවත තිබේ.
මහා ථූප වන්දනාව සඳහා රන් දෝතළු මල් පූජා කිරීම ඉතා අනුහස් සහිත දෙයක් යැයි බෞද්ධ විශ්වාසයක් පවතින අතර සබරගමු පළාතේ ශාන්ති කර්ම සඳහා ද රන් දෝතළු මල් යොදා ගෙන ඇති බව පොතපතෙහි සඳහන්ව ඇත.
එමෙන් ම අපල උපද්‍රව සඳහා කරනු ලබන ආගමික කටයුතුවලදී ද රන් දෝතළු මල යොදා ගනු ලබන අවස්ථා තිබේ.
වඳවීමේ තර්ජනයට ලක්ව ඇති මෙරටට පමණක් ආවේණික රන් දෝතළු ශාකය 2009 අංක 22 දරන වන සත්ව හා වෘක්ෂලතා ආරක්ෂක (සංශෝධන) අඥා පනත මගින් VIII උපලේඛනය යටතේ ආරක්ෂිත ශාක නාම ලේඛනයට ඇතුළත් කර ඇත.
ඒ අනුව, මෙම ශාකය හෝ ශාකයේ කොටසකට හානියක් කිරීම හෝ විකිණීම සඳහා ප්‍රදර්ශන කිරීම සම්පුර්ණයෙන් ම තහනම් ක්‍රියාවක් වන අතර එම වරදවල් කරන තැනැත්තෙකු වරෙන්තු නොමැතිව අත්අඩංගුවට ගැනීමේ හැකියාව පවතී.