ශ්‍රී ලංකාව – ඊශ්‍රායලය, සංචාරක ව්‍යාපාරය සහ දණ්ඩමුක්තිය – ලයනල් බෝපගේ

හැඳින්වීම

ආචාර්ය පුන්සර අමරසිංහ විසින් ලියන ලද “Creeping Rise of Anti-Semitism is Dangerous for Sri Lanka” (ක්‍රමයෙන් නැගෙන යුදෙව් විරෝධය ශ්‍රී ලංකාවට භයානකයි. – https://www.southasimonitor.org/perspective/creeping-rise-anti-semitism-dangerous-sri-lanka) යන ලිපිය කියවීමෙන් පසු මා මෙම ලිපිය ලියන්නට යොමු විය.

ආචාර්ය අමරසිංහගේ මූලික ප්‍රකාශය වන්නේ, ඊශ්‍රායල භාණ්ඩ වර්ජනය කිරීමට සහ ඊශ්‍රායල සංචාරකයින් ප්‍රතික්ෂේප කිරීමට ඉල්ලා සිටින පලස්තීනයට පක්ෂපාතී ක්‍රියාකාරිත්වය හේතුවෙන් යුදෙව් විරෝධයේ භයානක නැගී ඒමක් ශ්‍රී ලංකාව තුළ දකින්නට ලැබෙන බවයි. 2023 ඔක්තෝබර් 7 වන දා හමාස් සංවිධානය විසින් එල්ල කරන ලද ප්‍රහාරය මෑතකාලීන ගාසා අර්බුදයට හේතුව වශයෙන් පිළිගැනීම ක්‍රියාකාරීන් ප්‍රතික්ෂේප කරන බවටත්, ඊශ්‍රායලයට ප්‍රාණ ඇපකරුවන් නිදහස් කර ගැනීමට ඇති අයිතිය අවතක්සේරු කරන බවටත්, විරුද්ධ මතිමතාන්තර මර්දනය කරන බවටත් ඔහු තර්ක කරයි. ශ්‍රී ලංකාවේ පලස්තීන සහයෝගිතා ව්‍යාපාරය ඒකපාර්ශ්වික වෘත්තාන්තයක් ප්‍රවර්ධනය කරන බවටත් මුස්ලිම් ප්‍රජාවේ කොටස් රැඩිකල් කරණය වීමේ අවදානමක් පවතින බවටත් ඔහු අනතුරු අඟවයි.

මෑත කාලීන උත්සන්න වීම අවුළුවා ලීමේ දී හමාස් සංවිධානය ඉටු කල භූමිකාව මා පිලි ගන්නා අතරම, 75 වසරක් තිස්සේ කල භුක්තිය අහිමි කිරීමේ සහ 55 වසරක් තිස්සේ කල යුදමය අත්පත් කර ගැනීමේ ඊශ්‍රායල රාජ්‍යයේ ප්‍රතිපත්ති ද වඩා හේතුකාරක වූ දිගු ගමන් පථයක කොටසක් ලෙස මම දකිමි. ඊශ්‍රායලය මෙහෙයවන ජනාවාස පුළුල් කිරීම, ගාසා තීරය වට ලෑම සහ සැබෑ ද්වි-රාජ්‍ය විසඳුමක් ප්‍රතික්ෂේප කර ලීම විසින් සාමය සඳහා වෙන් කර ඇත්තේ සුළු ඉඩකඩකි. ඕස්ට්‍රේලියාව ඇතුළු බටහිර රටවල් පලස්තීන රාජ්‍යයක් පිළිගැනීම මගින්, පලස්තීනයේ දිගු කලක් එකට ජීවත් වූ අරාබි, යුදෙව් හෝ ක්‍රිස්තියානි ජනතාවගෙන් විමසා බැලීමකින් තොරව පනවන ලද 1947 එක්සත් ජාතීන්ගේ බෙදීමේ සැලැස්ම විසින් ඇති කරන ලද ඓතිහාසික අසාධාරණය මකා දමන්නේ නැත.

ඔක්තෝබර් 7 ප්‍රහාරය සිදු කල වහාම, මා ඇතුළු බොහෝ දෙනෙක් විසින් හමාස් සංවිධානය සිවිල් වැසියන් ඝාතනයට ලක් කිරීම සහ ප්‍රාණ ඇපකරුවන් අල්ලා ගැනීම හෙළා දකින ලදි. එහෙත් අපි ඊශ්‍රායලයේ අවිචාරවත් බෝම්බ ප්‍රහාර, අත්‍යවශ්‍ය ද්‍රව්‍යවලට පනවා ඇති අවහිර කිරීම් සහ බටහිර ඉවුර අගුළු දැමීම ද හෙළා දුටුවෙමු. සාමූහික ව සමස්ත ජනගහනයකට ම දඬුවම් කිරීමෙන් සාධාරණ විසඳුමකට මග පාදා ගත නොහැකිය.

ශ්‍රී ලංකාවේ ව්‍යාකූලත්වය

වත්මන් ගාසා යුද්ධය NPP නායකත්වයෙන් යුත් ශ්‍රී ලංකා ආණ්ඩුව දේශපාලනිකව අපහසුතාවයට පත් කර තිබේ. ඓතිහාසික වශයෙන්, ඊශ්‍රායලය සමඟ සීමිත සම්බන්ධතා පවත්වා ගත් නමුත්, පලස්තීන විමුක්ති (PLO) සංවිධානයට සහාය දුන් සහ 1971 දී කොළඹ ඊශ්‍රායල තානාපති කාර්යාලය පවා වසා දැමූ, විශේෂයෙන් සිරිමා බණ්ඩාරනායක අගමැතිනියගේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ආණ්ඩු යටතේ, ලංකාව පලස්තීන අරමුණ වෙත බොහෝ සෙයින් නැඹුරුව සිටියේය.

1970 දශකයේ අග භාගයේ දී එල්ටීටීඊයට එරෙහිව ඊශ්‍රායල සහාය ඉල්ලා සිටි ජේ.ආර්. ජයවර්ධන ජනාධිපතිවරයා යටතේ මේ සම්බන්ධතාවයන්  වෙනස් ස්වරූපයක් ගත් අතර, රාජ්‍ය තාන්ත්‍රික සබඳතා යථා තත්ත්වයට පත් කළේය. හමුදා සහයෝගිතාව, පුහුණුව සහ සංවර්ධනයට මෙම බැඳීම් අනුග්‍රහය ලබා දුන්නේය. රණසිංහ ප්‍රේමදාස ජනාධිපතිවරයා යටතේ 1992 දී අත්හිටුවන ලද රාජ්‍ය තාන්ත්‍රික සබඳතා, 2000 දී යළි යථා තත්ත්වයට පත් කරන ලද අතර, සිවිල් යුද්ධය අතරතුර ඊශ්‍රායලය කැපී පෙනෙන යුද අවි සපයන්නෙකු බවට පත් විය. මෙම මිශ්‍ර ඉතිහාසය, ඊශ්‍රායලයේ හමුදා ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් ආණ්ඩුවේ වර්තමාන ව්‍යාකූල ස්ථාවරයට හේතුකාරක වී තිබේ.

පලස්තීන රාජ්‍යත්වය කෙරෙහි දැඩි ලෙස සහයෝගය පළ කල ශ්‍රී ලංකාව, බොහෝ විට නොබැඳි ජාතීන්ගේ ව්‍යාපාරයේ යටත් විජිත විරෝධී ස්ථාවරය සමඟ පෙළ ගැසී සිට ඇත. කෙසේ වෙතත්, සහයෝගිතා ව්‍යාපාර විසින් හමාස් සංවිධානය කරන ප්‍රකෝප කිරීම් පිළිගැනීම ප්‍රතික්ෂේප කරන බවට ආචාර්ය අමරසිංහ කරන ප්‍රකාශයෙන් ඉදිරිපත් කරන්නේ චිත්‍රයේ එක කොටසක් පමණි. වඩා ගැඹුරු සත්‍යය වන්නේ, පලස්තීන නගර සහ ගම්මාන 400 කට අධික ප්‍රමාණයක් විනාශ කර දමා, අරාබි ජනගහනයෙන් වැඩි කොටසක් පලවා හරින ලද 1948 අල් නක්බාවේ (මහා නස්පැත්තියේ) පටන් ඊශ්‍රායලය කර තිබෙන අත්පත් කර ගැනීම් මෙම ගැටුමේ මූලික ගාමක බල වේගය බවට පත් වී ඇති බවයි.

ස්වයං නිර්ණයට ඇති අයිතිය

ජනතාවකට තම දේශපාලන අනාගතය නිදහසේ තෝරා ගැනීමට තිබෙන අයිතිය – ස්වයං නිර්ණය – දෙවන ලෝක යුද්ධයෙන් පසු එක්සත් ජාතීන්ගේ ප්‍රඥප්තිය තුල සංග්‍රහ ගත කරන ලද, සහ ලොව පුරා යටත් විජිත විරෝධී අරගලවලට අදාළ වන ලද බුද්ධිමය චින්තනය තුල මුල් බැස ඇත. ශ්‍රී ලාංකේය වමේ, ජනතා විමුක්ති පෙරමුණ වරක් ලෙනින්වාදී ප්‍රතිපත්ති මගින් දැනුවත් කරන ලද ස්ථාවරයක් වන ජාතීන්ට සහ ජාතිකත්වයන්ට ස්වයං නිර්ණය සඳහා ඇති අයිතිය වෙත සහාය පල කලේය.

මිය ගිය රෝහණ විජේවීර සහෝදරයා මුලින් 1983 මුල දී සහ පසුව 1986 දී ලෙනින්ගේ ලේඛනවලින් තෝරා ගන්නා ලද අර්ථකථන උපුටා දක්වමින් ඒ ප්‍රතිපත්තිය ප්‍රතික්ෂේප කරමින් මෙම ස්ථාවරය වෙනස් කළේය. “දෙමළ ඊලාම් අරගලයට විසඳුම කුමක්ද?” යන ඔහුගේ 1986 නිබන්ධනය, දෙමළ ජනතාවට පමණක් නොව බටහිර සහරාව, එරිත්‍රියාව, නැගෙනහිර ටිමෝරය සහ පලස්තීනය වැනි අනෙකුත් අරගලවල දී ද එවැනි අයිතිවාසිකම් වෙනුවෙන් ජනතා විමුක්ති පෙරමුණ එතෙක් පළ කරන ලද සහාය අවසන් කරමින් තීරණාත්මක බිඳී යෑමක් සනිටුහන් කලේය.

මෙම විතැන් වීම එහි සන්දර්භය තුළ දැකිය යුතුය. 1980 දශකයේ මුල් භාගයේ දී, ශ්‍රී ලංකාවේ උතුර සහ දකුණ යන දෙකම අන්තවාදී ජාතිකවාදී හැඟීම්වලින් පිරී ගොස් තිබුණි. සිංහල බෞද්ධ තරුණ තරුණියන් අතර ජනතා විමුක්ති පෙරමුණට තිබුණු සහයෝගිතාවයේ පදනම විනාශ කර දැමීමට සිංහල ජාතිකවාදී බලවේග උත්සාහ කළ අතර, පක්ෂ නායකත්වය ප්‍රතිපත්තිවලට වඩා දේශපාලන වාසිදායක බව තෝරා ගත්තේය.

1984 පටන්, ජනතා විමුක්ති පෙරමුණ පීඩිත ජනයාගේ ස්වයං නිර්ණ අයිතියට සහාය පල කිරීමෙන් නිරන්තරයෙන්ම වැළකී සිටියේ ය. මතවාදීමය ස්ථාවර, ඓතිහාසික පූර්වාදර්ශය සහ සමකාලීන ආර්ථික පීඩනයන් තුලනය කරමින් ජාතික ජන බලවේග (NPP) ආණ්ඩුව වත්මන් පලස්තීන ප්‍රශ්නයට මුහුණ දෙන ආකාරය තේරුම් ගැනීම සඳහා මෙම ඉතිහාසය අත්‍යවශ්‍ය වේ.

භාවිතාවේ දී දණ්ඩමුක්තිය

දණ්ඩමුක්තිය යනු මානව හිමිකම් උල්ලංඝනය කිරීම් සම්බන්ධයෙන් පුද්ගලයන් – විශේෂයෙන් සොල්දාදුවන් වැනි රාජ්‍ය ක්‍රියාකාරීන් –  වගවිය යුතු බවට පත් කිරීමට අපොහොසත් වීම යි. මෙම තත්වය පොදු සමාව ලබා දීමේ නීති, ස්වෛරී නිර්මුක්තිය, දුර්වල අධිකරණ ක්‍රම පද්ධති හෝ හිතාමතා ඇති කරන දේශපාලන අක්‍රීයත්වය හේතුවෙන් පැන නැඟිය හැකිය. බරපතළ උල්ලංඝනය කිරීම් සම්බන්ධයෙන් නඩු පැවරීමට ජාත්‍යන්තර නීතිය රාජ්‍යයන් බැඳී සිටින නමුත් බොහෝ විට නැත්තේ දේශපාලන අධිෂ්ඨානය යි.

නිදහසෙන් පසු ශ්‍රී ලංකාවේ දණ්ඩමුක්තිය භාවිතා කිරීම මුල් බැස ගෙන ඇති අතර, සිවිල් යුද වකවානුවේ අපරාධ – බලහත්කාරයෙන් අතුරුදහන් කිරීම්, නීති විරෝධී ඝාතන, වධහිංසා පැමිණවීම් – විමර්ශනය කරන්නේ කලාතුරකිනි. දුර්වල ආයතන සහ දේශපාලන විරෝධතාවයන් හේතුවෙන් ජාත්‍යන්තර බලපෑම සහ සංක්‍රාන්තිමය යුක්තිය අත්පත් කර ගැනීම සඳහා දරන පරිශ්‍රමයන් ලබා ඇත්තේ සීමිත ප්‍රගතියක් පමණි.

ඊශ්‍රායලය සමාන්තර තත්වයක් ගෙන හැර දක්වයි.  මානවවාදී නීතිය යටතේ බැඳී සිටියේ වුවත්, ඊශ්‍රායල ආරක්ෂක හමුදාවල (IDF) විමර්ශන ක්‍රම පද්ධතිය ස්වාධීන හෝ සම්පූර්ණ නොවන බවට පුළුල් අන්දමින් විවේචනයට ලක් ව ඇත. විශ්වාස කටයුතු සාක්ෂි තිබියදීත්, සිවිල් වැසියන් ඝාතනය කිරීම සම්බන්ධයෙන් චෝදනා ලැබූ සොල්දාදුවන් බොහෝ විට නිදොස් කොට නිදහස් කරනු ලැබේ; එසේ නැතහොත් සැහැල්ලු දඬුවම් පමුණුවනු ලැබේ. අල්-අක්සා ඉන්ටිෆාඩා (නැගී සිටීම) සමයේ දී, නීති විරෝධී ඝාතන 74 ක් පමණක් විමර්ශනයට ලක් කරන ලද අතර, එය සිවිල් මරණවලින් සියයට 5 කටත් වඩා අඩු ප්‍රමාණයකි.

ශ්‍රී ලංකාවේ තුලනය කිරීමේ රංගනය

1990 ගණන්වල සිට ශ්‍රී ලංකාව ප්‍රධාන වශයෙන් කෘෂිකර්මාන්තය සහ ඉදිකිරීම් ක්ෂේත්‍රයේ  සේවකයින් දහස් ගණනක් ඊශ්‍රායලයට යවා තිබේ. ඊශ්‍රායල සංචාරක ව්‍යාපාරය ද 2022 දී  9,000 ක්, 2023 දී 10,000 ක් සහ 2024 දී 20,000 කට ආසන්න සංඛ්‍යාවක් ආදී වශයෙන් සංචාරකයින්ගේ ප්‍රමාණය වර්ධනය වී ඇත. එහෙත් නොසන්සුන්තාවයන් ඉහළ යමින් පවතී. ආරුගම් බොක්කේ (Arugam Bay) ව්‍යාපාරවල මුළු බලය අත් කර ගැනීම, මිල ගණන් ඉහළ නැංවීම සහ සංස්කෘතික භූදර්ශනය වෙනස් කිරීම සම්බන්ධයෙන් ප්‍රාදේශීය ක්‍රියාකාරීහු ඊශ්‍රායල සංචාරකයින් වෙත චෝදනා කරති. ආරක්ෂාව පිළිබඳව ගැට‍ළු මතු කරමින් සංචාරක ඊශ්‍රායල ජාතිකයින් හා ඊශ්‍රායල ආරක්ෂක හමුදාව (IDF) අතර සම්බන්ධතා පවතින බවට සමහරු චෝදනා එල්ල කරති.

රජය උභතෝකෝටික ප්‍රශ්නයකට මුහුණ දී ඇත: ඊශ්‍රායලයෙන් ලැබෙන ප්‍රේෂණ (තැන්පත් කිරීම්) සහ සංචාරක ව්‍යාපාරය ආර්ථික අර්බුදයක දී අත්‍යවශ්‍ය වන නමුත් පලස්තීනය කෙරෙහි දක්වන ජනතා සහයෝගය ශක්තිමත් ව පවතී. සිවිල් සමාජ කණ්ඩායම් විශේෂයෙන් යුද අපරාධ සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටින ඊශ්‍රායල ජාතිකයින් දැඩි වීසා පරීක්ෂාවට ලක් කරන ලෙස ඉල්ලා සිටින අතර, වර්ජනය, නිරායෝජනය (Divestment) සහ සම්බාධක (BDS) ව්‍යාපාරය යටතේ උද්ඝෝෂණ පවත්වා ඇත.

2024 ඔක්තෝබර් මාසයේ දී, ත්‍රස්ත ප්‍රහාරයක් පිළිබඳ බිය මධ්‍යයේ ඊශ්‍රායලය සිය පුරවැසියන්ට ශ්‍රී ලංකාවෙන් පිටවී යන ලෙසට අනතුරු ඇඟවීය. නීති ගරුක සංචාරකයින්ගෙන් කිසිදු තර්ජනයක් එල්ල නොවන බව අවධාරණය කල ශ්‍රී ලංකා බලධාරීහු වෙරළබඩ ආරක්ෂාව වැඩි කළහ. එහෙත්, නීති විරෝධී ඊශ්‍රායල ව්‍යාපාර සහ ප්‍රචණ්ඩ සිදුවීම් පිළිබඳ වාර්තා හේතුවෙන් ප්‍රාදේශීය අමනාපකම් තවත් උග්‍ර කර තිබේ.

සංචාරක ව්‍යාපාරය, ආචාර ධර්ම සහ දේශපාලන ප්‍රතිපත්තිය

ගාසා තීරයේ යුද අපරාධ චෝදනා උපුටා දක්වමින් සමහර සංචාරක ගමනාන්ත ස්ථාන විසින් දැනටමත් ඊශ්‍රායල විදේශ ගමන් බලපත්‍ර හිමියන් තහනමට ලක් කර ඇත. මේ මගින් “වඩාත් සදාචාර සම්පන්න මනසක් සහිත” සංචාරකයන් ආකර්ෂණය කර ගත හැකි බවට යෝජකයෝ තර්ක කරති. වාර්තාවලට අනුව, ඊශ්‍රායලයට අයත් සංචාරක ව්‍යාපාර 50 කට අධික සංඛ්‍යාවක්, බොහෝ විට වීසා නීති උල්ලංඝනය කරමින්, නිසි බලපත්‍ර නොමැතිව ශ්‍රී ලංකාව තුල ක්‍රියාත්මක වේ.

NPP ආණ්ඩුවට තිබෙන අභියෝගය ආර්ථික පමණක් නොව සදාචාරාත්මක එකක් ද වේ. ලෙනින්ගේ සියවසක් පැරණි අවවාදය, එනම්,  ස්වයං නිර්ණය සංකීර්ණ බවත්, එය අඛණ්ඩව ක්‍රියාවේ යෙදිය යුතු බවත් යන්න මෙහි දී ප්‍රතිරාවය වෙයි. පලස්තීන ස්වෛරීභාවය සඳහා ආණ්ඩුවේ ඇති කැපවීම අව්‍යාජ එකක් වන්නේ නම්, උපයෝගීතාවෙන් යටපත් නොකොට එය ප්‍රතිපත්ති තුළින් පිළිබිඹු කල යුතු වේ.

මෙය ඊශ්‍රායලයට හෝ පලස්තීනයට සහාය දීම අතර කෙරෙන ද්විත්වමය ආකාරයේ තේරීමක් නොවේ. එය, ආර්ථික අවශ්‍යතාවයන් අවදානමට ලක් ව ඇති විට පවා, ජනතාවක් ලක්ව ඇති පීඩනය පිළි ගෙන සාධාරණත්වයේ ප්‍රතිපත්ති ඉහළින් ඔසවා තැබීම පිළිබඳ ව වන්නක් වේ. ජනතා විමුක්ති පෙරමුණ ස්වයං නිර්ණය පිළිබඳව එහි ස්ථාවරයේ අතීතයේ කරන ලද වෙනස්කම් සැලකිල්ලට ගෙන, ජාතික ජන බල වේගය (NPP ය) මේ මොහොතේ කටයුතු කරන ආකාරය විසින් දේශීය හා විදේශීය වශයෙන් එය පිළිබඳව තිබෙන විශ්වාසනීයත්වය හැඩ ගස්වනවා ඇත.

| ලයනල් බෝපගේ
| ලයනල් බෝපගේ

2025 අගෝස්තු 10 වන දා

Leave A Comment