සභිකයකු, මන්ත්‍රීවරයයකු හෝ ජනාධිපති ලෙස තේරී පත්වීමට ඡන්ද හිමි නාමලේඛනයේ නම තිබිය යුතුද?

ලසන්ත රුහුණුගේ

පළාත් පාලන ආයතනයක සභික ධුරයට පත්වීමට, පළාත් සභා මන්ත්‍රීවරයෙකු ලෙස පත්වීමට, පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ලෙස පත්වීමට හෝ රටේ ජනාධිපතිවරයා ලෙස පත්වීමට ඔහුගේ හෝ ඇයගේ නම එම ඡන්ද විමසීමට අදාළ ඡන්ද හිමි නාමලේඛනයේ තිබිය යුතුද? එසේ ඡන්ද හිමි නාමලේඛනයේ ඔහුගේ හෝ ඇයගේ නම නැත්නම් ජනතාව විසින් තෝරාපත් කළත් ඔහුගේ හෝ ඇයගේ සභිකත්වය, මන්ත්‍රී ධුරය හෝ ජනාධිපති ධුරය අහිමි වන්නේද?

එම ප්‍රශ්නය ඇසීමට හේතුව වන්නේ යම් ඡන්ද විමසීමකදී ජනතාව විසින් තෝරා පත් කළද, ඡන්ද හිමි නාමලේඛනයේ නම නොතිබීම නිසා එකී සභික ධුරයට, මන්ත්‍රී ධුරයට හෝ ජනාධිපති ධුරයට පත්වීමට නොහැකි බවට මතයක් සමාජයට යොමු කර ඇති නිසාය.

මෙම මතය සඳහා ප්‍රධාන වශයෙන් බලපෑ එක් සිදුවීමක් වූයේ 2010 ජනාධිපතිවරණය අවස්ථාවේදීි සිය දෙවන ධුර කාලය සඳහා තරග කළ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ වෙනුවෙන් සහයෝගය දැක්වූ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ ජනාධිපතිවරණ ඡන්ද විමසීම් දිනයේ දහවල් පැවැත්වූ මාධ්‍ය සාකච්ඡාවේදී ඉදිරිපත් කළ කරුණයි. වීරවංශ මහතා එහිදී කීවේ මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධාන ප්‍රතිවාදී අපේක්ෂකයා වශයෙන් තරග කළ හිටපු යුද හමුදාපති සරත් පොන්සේකා මහතාට ඡන්දය නැති බැවින් ( ඔහුගේ නම එම ජනාධිපතිවරණයට යොදාගත් ඡන්ද හිමි නාම ලේඛනයේ තිබුනේ නැත)  ඔහුව ජනාධිපතිවරයා ලෙස ජනතාව තෝරා පත් කළද ඔහුට ජනාධිපතිවරයා ලෙස පත්වීමට නොහැකි බවයි.

විමල් වීරවංශ මහතාගේ එම ප්‍රකාශය රජයේ රූපවාහිනී හා ගුවන් විදුලි නාලිකාවල මෙන්ම පෞද්ගලික රූපවාහිනී හා ගුවන් විදුලි නාලිකාවලද විකාශය කළ අතර අවසන් මොහොතේ ඡන්දය භාවිතා කිරීම සඳහා ඡන්ද පොළට ගිය ඡන්දදායකයින්ට එය යම් බලපෑමක් සිදුකළ බව නිරීක්ෂණය විය. ඒ එම ප්‍රචාරයත් සමඟ තමන් ප්‍රකාශ කරන ඡන්දය ප්‍රතිඵලදායක වේද යන ප්‍රශ්නයක් ඡන්දදායකයින් අතර ඇතිවූ හෙයිනි. එය එම ජනාධිපතිවරණයේ අවසන් ප්‍රතිඵලයට කොතෙක් බලපෑවද යන්න නිශ්චිත නැතත් යම් බලපෑමක් සිදුකළ බව අවිවාදිතය. මන්ද ඡන්ද දිනයේ අවසන් පැය කිහිපයේදී සජීව විකාශය කිරීම මගින් එවැන්නක් රට හමුවේ තැබීම යනු එම ඡන්දයේ ප්‍රතිඵලයට බලපෑමක් සිදු කිරීමට කළ ප්‍රවෘත්ති සාකච්ඡාවක් බැවිනි.

එහෙත් ජනාධිපතිවරයා තෝරා පත්කර ගැනීමේ පනතේ සහ ඒ සම්බන්ධයෙන් වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ඇති ප්‍රතිපාදනයන් අනුව ජනාධිපතිවරයා ලෙස පත්වීමට එම ජනාධිපතිවරණයට යොදා ගන්නා ඡන්ද හිමි නාම ලේඛනයේ නම ඇතුළත්ව තිබිය යුතු නැත. එමෙන්ම ඊට පෙර හෝ ඡන්ද හිමි නාමලේඛනයක ඡන්ද හිමියකු වශයෙන් නම ඇතුලත්ව තිබීම අවශ්‍ය වන්නේද  නැත.

ඡන්ද හිමි නාමලේඛනයේ නම නොතිබීම ජනාධිපතිවරයා ලෙස තේරී පත්වීමට නුසුදුසුකමක් වන්නේ නැති බවද, රටේ ඡන්ද හිමියකු ලෙස සුදුසුකම් ලත් සෑම තැනැත්තෙකුටම ඒ සඳහා හිමිකම ඇති බව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ මෙන්ම ජනාධිපතිවරයා තෝරා පත්කර  ගැනීම පිළිබඳ නීතියේද ඇත.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව ජනාධිපතිවරයෙකු වශයෙන් තේරී පත්වීමට නුසුදුකම් අතරින් ඛීහිපයක් වන්නේ වන්නේ වයස අවුරුදු (තිහ) සම්පූර්ණ කර නොසිටීම, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 91 වන ව්‍යවස්ථාවේ (1) වන අනු ව්‍යවස්ථාවේ (ඈ),(ඉ),(ඊ) හෝ (උ) ජේද යටතේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ලෙස තෝරා පත්කර ගැනීමට නුසුදුස්සකු වීම යන කරුණු, ජනතාව විසින් ජනාධිපති ධුරයට දෙවරක් තෝරා පත්කොට ගනු ලැබ තිබීම ආදියයි.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු වශයෙන් තෝරා පත් කරගනු ලැබීමට සුදුසුකම් වශයෙන් එහි 90 ව්‍යවස්ථාවේ සඳහන් කර ඇත්තේ ‘91 වන ව්‍යවස්ථාවේ විධිවිධාන යටතේ නුසුදුස්සකු වුවහොත් මිස ඡන්ද බලය හිමි සෑම තැනැත්තෙක්ම පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු වශයෙන් තෝරා පත්කර ගනු ලැබීමට සුදුස්සෙක් වන්නේය’ යන්නය.

එහි පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු වශයෙන් තෝරා පත් කරගනු ලැබීමට නුසුදුසුකම් ලෙස 91 (1) (අ)  ව්‍යවස්ථාවේ සඳහන් කරන්නේ ‘යම්කිසි තැනැත්තකු 89 වන ව්‍යවස්ථාවේ දක්වා ඇති කවර හෝ නුසුදුසුකමකට යටත් වේ නම් නැතහොත් එවැනි නුසුදුසුකමකට භාජන වුවහොත් ඒ තැනැත්තා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු වශයෙන් තෝරා පත් කර ගනු ලැබීමට හෝ පාර්ලිමේන්තුවේ අසුන් ගැනීමට සහ පාර්ලිමේන්තුවේදී ඡන්දය දීමට හෝ සුදුසුසෙක් නොවන්නේය.’ යන්නය.

1981 අංක 01 දරන පාර්ලිමේන්තු මැතිවරණ පනත 14 වගන්තියේ සඳහන් වන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 90 වන ව්‍යවස්ථාව අනුව පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු වශයෙන් තෝරාපත් කරගනු ලැබීමට සුදුසුකම් ඇති යම් තැනැත්තකු මෙහි මින් මතු විධිවිධාන සලස්වා ඇති පරිදි මැතිවරණය සඳහා අපේක්ෂකයකු වශයෙන් නාම යෝජනා කරනු ලැබිය හැකිය.

පළාත් පාලන ආයතන ඡන්ද විමසීම් ආඥා පනත සභිකත්වය සඳහා සාමාන්‍ය සුදුසුකම් ලෙස එහි 8 වන වගන්තියේ සඳහන් කරන්නේ 9 වන වගන්තියෙන් විධිවිධාන සලසා ඇති පරිදි නුසුදුස්සකු නොවන සෑම තැනැත්තකුම,

(අ) ඡන්ද විමසීම් ප්‍රදේශය හෝ එහි යම් කොටසක් පිහිටා ඇත්තේ යම් මැතිවරණ කොට්ඨාශයක් තුළද, ඒ මැතිවරණ කොට්ඨාශය සඳහා තත්කාලයෙහි බලපවත්නා පාර්ලිමේන්තු මැතිවරණ නාමලේඛනය පිළියෙල කිරීම හෝ ප්‍රතිශෝධනය කිරීම ආරම්භ කළ දිනයේදී ඒ නාමලේඛනයෙහි තමාගේ නම ඇතුළත් කර ගැනීමට ඔහු සුදුස්සකුව සිටියේ නම් සහ

(ආ) ඒ නාම ලේඛණය පිළියෙල කිරිම හෝ ප්‍රතිශෝධනය කිරීම ආරම්භ කළ වර්ෂයේ ජුනි මස පළමුවන දිනයේදී ඔහු ඒ ඡන්ද විමසීම් ප්‍රදේශයේ සාමාන්‍යයෙන් පදිංචිකරුවෙකුව සිටියේ නම්

පළාත් පාලන ආයතනයක සභිකයකු ලෙස තෝරා පත් කර ගැනීම සඳහා ඕනෑම අවස්ථාවක සුදුස්සකු විය යුතුය යන්නයි.

1988 අංක 2 දරන පළාත් සභා ඡන්ද විමසීමේ පනත මන්ත්‍රී ධුරය සඳහා නුසුදුසුකම් ලෙස එහි  9 වගන්තියේ සඳහන් කරන්නේ, යම්කිසි තැනැත්තෙක් 1987 අංක 42 දරන පළාත් සභා පනතේ 3 වන වගන්තියෙහි සඳහන් නුසුදුසුකම්වලින් කිසිවකට යටත් වේ නම්, පළාත් සභාවක මන්ත්‍රීවරයකු වශයෙන් තෝරා පත් කර ගනු ලැබීමට නැතහොත් ඒ සභාවේ තෝරා පත් කර ගත් මන්ත්‍රීවරයකු ලෙස අසුන් ගැනීමට  සහ ඡන්දය දීමට ඔහු සුදුස්සකු නොවිය යුතුය යන්නය.

මේ නුසුදුසුකම් කිසිවක් යම්කිසි තැනැත්තකු ඡන්ද විමසීම සඳහා යොදා ගන්නා ඡන්ද හිමි නාමලේඛනයේ නම ඇතුළත්ව නොතිබීම යන කරුණට අදාළ ඒවා නොවේ.

එහෙත් අධිකරණ නිලධාරියෙක්, පරිපාලන කටයුතු පිළිබඳ පාර්ලිමේන්තු කොමසාරිස්වරයා, පාර්ලිමේන්තුවේ මහ ලේකම්වරයා හෝ ඔහුගේ කාර්ය මණ්ඩලයේ සාමාජිකයෙක්, ආන්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 41ආ ව්‍යවස්ථාවේ උපලේඛනයේ සඳහන් යම් කොමිෂන් සභාවක සාමාජිකයෙක්, පළාත් රාජ්‍ය සේවා කොමිෂන් සභාවක සාමාජිකයකු, මැතිවරණ කොමසාරිස් ජනරාල්වරයා, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් නොවන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ සාමාජිකයකු, විගණකාධිපතිවරයා, ත්‍රිවිධ හමුදා නිත්‍ය බලකා සාමාජිකයන්, පොලිස් නිලධාරියෙක්, ද්විත්ව පුරවැසියෙක් යන තත්වයන් එම අවස්ථාවේ දරන පුද්ගලයන් ඒ සඳහා නුසුදුසු වේ.

මීට අමතරව යම්කිසි තැනැත්තකු අධිකරණයක් විසින් හෝ විශේෂ ජනාධිපති කොමිසමක් විසින් අල්ලස් වරදක් සම්බන්ධයෙන් නිශ්චය කළහොත් එම තැනැත්තාද නුසුදුස්සකු බවට පත්වේ.

ඡන්ද හිමි නාම ලේඛනයේ ඡන්ද හිමියකු ලෙස නම ඇතුළත්ව නොතිබීම යන කරුණ යම් පුද්ගලයකුට පළාත් පාලන ආයතනයක සභිකයෙක් බවට, පළාත් සභාවක හෝ පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරයකු බවට හෝ රටේ ජනාධිපතිවරයා බවට පත්වීමට නුසුදුසුකමක් නොවන බව තේරුම් ගැනීමට හොඳම උදාහරණය අපට සපයන්නේද, සරත් පොන්සේකා මහතාගේ නම ඡන්ද හිමි නාමලේඛනයේ නොමැති නිසා ජනතාව තෝරා පත්කර ගත්තද ඔහුට රටේ ජනාධිපතිවරයා විය නොහැකි බව ප්‍රකාශ කළ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතාමය.

2010 පැවති මහ මැතිවරණයට එම වසරේ ජනධිපතිවරණයට ඔහු සහයෝගය දැක්වූ මහින්ද රාජපක්ෂ මහතාගේ නායකත්වයෙන් යුත් එක්සත් ජනතා නිදහස් සන්ධානය යටතේ කොළඹ දිස්ත්‍රික්කයට තරග කරමින් පාර්ලිමේන්තුවට තේරී පත්විය. එහෙත් එම මැතිවරණය සඳහා යොදාගත් ඡන්ද හිමි නාමලේඛනයේ ඔහුගේ නම ඡන්දදායකයකු ලෙස ලියාපදිංචි වී තිබුනේ නැත. ජනතාව තෝරා පත්කර ගැනීම නිසා ඡන්ද හිමි නාමලේඛනයේ නම නොතිබීම ඔහුට පාර්ලිමේන්තුවේ අසුන් ගැනීමට බාධාවක් වූයේ නැත. ඡන්ද හිමි නාමලේඛනයේ ඔහුගේ නම නැතැයි කියමින් කිසිවකු ඔහුගේ මන්ත්‍රී ධුරය අභියෝගයට ලක් කළේද නැත. මන්ද එසේ මන්ත්‍රී ධුරය අභියෝගයට ලක් කිරීමට තරම් නීතිමය ප්‍රශ්නයක් එහි නොතිබූ බැවිනි.

විවිධ දේශපාලන පක්ෂවලට හා පුද්ගලයින්ට මැතිවරණවලදී සහයෝගය දක්වන පිරිස් තම ප්‍රතිවාදී අපේක්ෂකයින් සම්බන්ධයෙන් විවිධ චෝදනා එල්ල කිරීම ශ්‍රී ලංකාවේ මැතිවරණවලදී දැකගත හැකි සුපුරුදු දෙයකි. එහිදී මැතිවරණ නීති සම්බන්ධයෙන් වන ප්‍රචාරණයකදී සජීවී විකාශයන් සිදුකරන විද්‍යුත් මාධ්‍ය හා අනෙකුත් මාධ්‍ය සැලකිල්ලට ගතයුතු පළමු දෙය වන්නේ මැතිවරණ දිනයක සිදුකරන එවැනි ප්‍රකාශයක් සජීවීව විකාශය නොකිරීමය. ඒ එසේ සිදුකරන ප්‍රකාශයේ නීතිමය වශයෙන් වැරැද්දක් තිබුණහොත් ඒ මගින් යම් අපේක්ෂකයකුට හෝ පක්ෂයයකට සිදුවන අගතිය ආපසු හැරවිය නොහැකි බැවිනි.

එවන් අවස්ථාවකදී යම් අපේක්ෂකයකුට හෝ පක්ෂයකට සිදුවිය හැකි අගතිය වළක්වාගත හැක්කේ එය පටිගත කර එම ප්‍රකාශයේ සත්‍ය අසත්‍යතාවය පිරික්ෂා ප්‍රචාරය කිරීම මගින්ය. ඒ සඳාහා යම් මාධ්‍යවේදියකුට හෝ මාධ්‍ය ආයතනයකට ඇති හොඳම මූලාශය වන්නේ මැතිවරණ කොමිසමේ සභාපති ඇතුළු එහි සාමාජිකයින් හා මැතිවරණ කොමසාරිස් ජනරාල් ඇතුළු මැතිවරණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ය.

මැතිවරණයක් වෙනුවෙන් වන යම් පුවතක් සම්බන්ධයෙන් ඒ මගින් විනාඩි කිහිපයක් පමා වුවද  ජනතාවගේ ඡන්දය පිළිබඳ තීන්දු කිරීමේ අයිතියට වන බලපෑම අවම කිරීම හෝ නැති කිරීම කළ හැකිය. මැතිවරණ වාර්තාකරණයේදී සිදුවිය යුත්තේ එයයි.

| ලසන්ත රුහුණුගේ
| ලසන්ත රුහුණුගේ

Leave A Comment