සහල් හෝ වී මිලේ අර්බුදයක් ඇතිවීමට යළි ඉඩ තියන්නේ නෑ
- 5opn1
- November 6, 2024
- දේශපාලන
- සහල් හෝ වී මිලේ අර්බුදයක් ඇතිවීමට යළි ඉඩ තියන්නේ නෑ
- 0 Comments
-ජනපති වැල්ලවායේදී කියයි
දූෂිත නාස්තිකාරී ප්‍රභූ පාලනයෙන් පොදු ජනතාව අතට අද බලය මාරු වෙලා
රටක් ඉදිරියට යන්නේ ප්රජාතන්ත්රවාදය ස්ථාපිත කිරීමෙන් පමණයි
මේ රටේ හැමදාම වුණේ බෙදී ඡන්දය කර එකට ආණ්ඩු කිරීමයි
ශක්තිමත් බහුතරයක් අපට දෙන්න පෙළ ගැසෙන්න -ව්‍යාපාරික අබ්දුල් නිසාම්
රට ගොඩනැඟීමට දේශපාලනඥයා, රාජ්‍ය නිලධාරියා, පොදු ජනයා එකතු කරගත් මහජන පෙරමුණක් ඇති කරන බවත් සහල් මිල හෝ වී මිල පිළිබඳ නැවත අර්බුදයක් ඇතිවීමට ඉඩ තබන්නේ නැති බවත් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවැසීය.
ජනාධිපතිවරයා එසේ ප්‍රකාශ කළේ පෙරේදා (04) මොනරාගල, වැල්ලවාය ජයග්‍රාහී ජනතා රැලිය අමතමිනි. ජාතික ජන බලවේගය ඉදිරි මහමැතිවරණය වෙනුවෙන් මෙය සංවිධාන කර තිබිණ.
එහිදී වැඩිදුරටත් ජනාධිපතිවරයා මෙසේද පැවැසීය.
මොනරාගලට වර්ෂාව තිබ්බට වැල්ලවායට තමයි ජනගඟ ගලලා තිබෙන්නේ. දහස් සංඛ්‍යාත ජනතාව මෙතැනට සහභාගී වෙලා කියන්නේ අන් කවරක්වත් නිසා නොවෙයි. ජනාධිපතිවරණයට තැබූ පියවර මේ 14 වැනිදා ශක්තිමත්ව ඉදිරියට ගෙන යන බව කීය. ලංකා ඉතිහාසයේ පීඩාවට පත්වුණු ජනතාව දීර්ඝ කාලයක් පීඩාවට එරෙහිව සටන් කළා. කන්ද උඩරට ගිවිසුම අත්සන් කර අපේ රට මුළුමනින්ම විදේශිකයන්ට පාවා දුන්නාට පසුව 1818 කැරැල්ලක් ඇතිවුණා. ඒ වෙල්ලස්සේ කැරැල්ලයි. මේ මුතුන් මිත්තන් තමන්ගේ අයිතිය වෙනුවෙන් එදා සටන් කළා. එය ජයග්රහණයෙන් කෙළවර කර ගන්න බැරි වුණා. කැරැල්ලට නායකත්වය දුන්නු ජාතික වීරයන් කිහිප දෙනෙක් සුදු අධිරාජ්‍යවාදීන් විසින් ඝාතනය කළා. 1848දී මාතලේ දිසාවෙන් නැවත කැරැල්ලක් පටන් ගත්තා. එම කැරැල්ලත් සුදු අධිරාජ්‍යවාදීන් විනාශ කර දැමුවා. 1948න් පසුවත් තරුණයන් තම අයිතීන් වෙනුවෙන් කැරලි ආරම්භ කළා. සියවස් දෙක තුනක් තිස්සේ අපේ රටේ පුරවැසියන් මේ පීඩනයට එරෙහිව සටන් කළා. අයිතිවාසිකම් වෙනුවෙන් සටන් කළා. අපේ රටේ පීඩාවට පත් කරන ලද, අපේ රටේ මහජන ධනය කෝටි ප්‍රකෝටි ගණන් නාස්ති කරන ලද, අපේ රටේ පාලනය පවුල් කිහිපයක් අතේ තිබුණු යුගය පසුගිය ජනාධිපතිවරණයේදී පරාජය කිරීමට ජනතාව සමත් වුණා. දීර්ඝ කාලයක් අයිතිවාසිකම් අහිමි වූ ජනතාව කළ අරගලය පසුගිය සැප්තැම්බර් මාසයේදී ජයග්රහණයෙන් කෙළවර කළා. මේ ජයග්‍රහණය අපි ලේසියෙන් අත්හරිනවද? නැහැ. මේ 14 වැනිදා අපට සහතික වශයෙන් කියන්න පුළුවන් තවත් ශක්තිමත් ජයග්‍රහණයක් අප වෙත ලැබෙන බවට.
ජනාධිපතිවරණයේදී ලැබූ ජයග්‍රහණයට වඩා මහා ඡන්දේදි ලැබෙන ජයග්‍රහණය ලොකු ද පොඩිද? ලොකුයි. ජනාධිපතිවරණයේදී අපට ඡන්දය නොදුන් ජනතාවත් අපට මෙවර ඡන්දය දෙනවා. ජනාධිපතිවරණයේදී ඉතා නිර්භීත පියවරක් ජනතාව තැබුවා.
ජනාධිපතිවරණයේදී ජාතික ජන බලවේගයට විවිධ අවලාද නැඟුවා. එවැනි අවලාද නඟද්දීත් ජනතාව ඒවා මායිම් නොකර ජාතික ජන බලවේගය විශ්වාස කළා.මේ රටේ ජනතාව නිර්භීත තීන්දුවක් ගත්තා. ඒක වැදගත් තීන්දුවක්. මීට කලින් ආණ්ඩු මාරු වුණේ එයාලා අතින්. එයාලගේ අතකටමයි. එයාලගේ පවුලකින් එයාලගේ පවුලකටමයි. ඔවුන් හැමදාම කළේ බෙදී ඡන්දය කර එකට ආණ්ඩු කිරීමයි. දැන් ඒ පක්ෂ කොහෙද? මේ වැල්ලවායේ කෙනත් එහෙම තමයි. බෙදිලා ඡන්ද කරනවා එකට ආණ්ඩු කරනවා. පහුගිය ජනාධිපතිවරණයේදි කිව්වා අගමැතිකම මොනරාගලට කියලා. මතකද? එයාලා අතර ඇත්ත විරසකයක් තිබුණේ නෑ. එයාලා අතර ප්‍රතිපත්ති වෙනසක් තිබුණේ නෑ. එයාලා කවදාවත් පරාජයට පත්වුණාට සැකයක් තිබුණේ නෑ. මොකද බලය මාරු වුණේ තමන්ගේ පිලෙන් තමන්ගේ පිලටමයි. නමුත් පහුගිය සැප්තැම්බර් මාසයේදී දූෂිත නාස්තිකාරී ප්‍රභූ පාලනයෙන් පොදු ජනතාව අතට බලය මාරු වී තිබෙනවා. දැන් ඒ අයට ගොඩක් රිදෙනවා. එයාලා හැමදාම හිතාගෙන හිටියේ රට පාලනේට උපන් පවුල් කියලා. මේ රට පාලනය කරන්න ඒගොල්ලන්ගේ පරම්පරාවෙන් එන බූදලේ කියලා හිතාගෙන හිටියේ. ඒ දූෂිත ප්‍රභූ පාලනයෙන් පොදු ජනතාව අතට බලය මාරු වුණා. රිදෙන්නේ නැද්ද? දැන් නැවත උත්සාහ කරනවා ආණ්ඩුව වට්ටන්න. මොකද කියන්නේ? පරාජයට පත් කරන්න දෙනවද? වට්ටන්න දෙනවද? මේ ආණ්ඩුව වට්ටන්න බැහැ.
ජාතික ජන බලවේගය ජයග්‍රහණය නොකළා නම් අර ඡන්ද ඉල්ලන්නේ නැති හැට දෙකම නැවත ඡන්දේ ඉල්ලනවා. ඒ තරමට ඒ ගොල්ලෝ අද වනවිට වේදනාවට පත්වෙලා. එයාලා හැමදාම හිටියේ ජනතාව රවට්ටලා. ජනතාව බියවද්දලා ඡන්ද කරන්නයි. චණ්ඩින්ගේ පාලනය අප අවසන් කර තිබෙනවා. ගම්වල අම්මලා තාත්තලා බයගන්වලා තමයි මේ අය රට පාලනය කළේ. වීරප්පන් පාලනය කළා වගේ තමයි අපේ අප්පන්ලා රට පාලනය කළේ. අපට ඡන්දය දෙන්න පුළුවන්.අපට ඡන්දයක් නොදෙන්න පුළුවන්. නමුත් ඒ හැම පුරවැසියාගේම නිදහස සුරකින්න අපි බැඳී සිටිනවා. අද සෑම දේශපාලන ව්‍යාපාරයකටම දේශපාලනය කිරීමේ අයිතිය තහවුරු කර තිබෙනවා. එහෙම අයිතියක් තිබුණාට අද විපක්ෂයේ කාර්යාල නෑ. ඒක අපේ වැරැද්දක් නොවෙයි. අපි හැම කෙනාටම නිදහසේ දේශපාලනය කරන්න අවස්ථාව දී තිබෙනවා. රටක් ඉදිරියට යන්නේ රටක් බය කර වීරප්පන්ලා වගේ නායකයන් නිසා නොවෙයි. ප්රජාතන්ත්රවාදය ස්ථාපිත කිරීමෙන් පමණයි රටක් ඉදිරියට යන්නේ.
මේ දේශපාලන සංස්කෘතිය වෙනස් කළ යුතුයි. එයාලා හිතනවා ජනතාවගේ මුදල් එයාලට රිසිසේ පාවිච්චි කරන්න පුළුවන් කියලා. ඒක නිසා දේශපාලනය ප්රමිතිකරණයකට ලක් කරන්න ඕනෑ නැද්ද? එයට හිටපු සහ ඉන්න සියලු ජනාධිපතිවරු ඇතුළත්.
හිටපු ජනාධිපතිවරු ඉන්නේ නගරයක. හූවක දුර නැහැ රජයේ රෝහලට. හූවක දුර නැහැ පෞද්ගලික රෝහලට. නමුත් පැය 24ම ගිලන් රථයක් මිදුලේ තියාගෙන ඉන්නවා. නමුත් ගම්වල රෝහල්වලට ගිලන් රථ නෑ. ඒවා ගන්න ඕනේ නැද්ද? කොළඹ ගෙවල් තිබෙනවා. නමුත් ආණ්ඩුවේ නිවාසවල ඉන්නවා. ඒවා ගන්න ඕනෑ නැද්ද? මොනවද මේ වටිනාකම්. අපි යහපත් දේශපාලන සංස්කෘතියක් මේ රටේ නිර්මාණය කරනවා.
ව්‍යාපාරික, මොහොමඩ් අබ්දුල් නිසාම් මහතා –
ගිය ජනාධිපතිවරණය වෙනුවෙන් වැල්ලවායේ පැවැති රැලියේදී අනුර කුමාර දිසානායක සහෝදරයා කිව්වේ ජනාධිපතිවරණයෙන් පසුව අනෙකුත් පක්ෂවලට ඡන්දය දුන් අය පවා අප වටා එක් කර ගන්නා ලෙසයි. මේ රටේ ජනතාව ගැන අනුර සහෝදරයාට තිබෙන ආදරය එයින් පැහැදිලි වූවා. අසල්වාසීන් සමඟ දේශපාලනයේ විරසකකම් ඇතිකර නොගන්නා ලෙස පැහැදිලිව කියා තිබෙනවා. බලය රැකගන්න මොනරාගල දිස්ත්‍රික්කයේත් ජාතිවාදය, ආගම්වාදය පැතිරූ අය අපි පසුගිය ජනාධිපතිවරණයේදීත් දැක්කා. අද අපට එහෙම ප්‍රශ්නයක් නැහැ. එකම සහෝදර කැලක් මෙන් එකමිටට ඒකරාශී වී සිටිනවා.
ජාතික ජන බලවේගයේ මොනරාගල දිස්ත්‍රික් විධායක සභික, මොනරාගල දිස්ත්‍රික් අපේක්ෂිකා, චතුරි ගංගානි මහත්මිය –
ලෝක දේශපාලනයේ අපේ රටේ ඉතිහාසය රන් අකුරින් ලියන ජයග්‍රහණයක් පසුගිය ජනාධිපතිවරණයේදී අත්කර ගත්තා.මේ රටේ ජනතාවගේ හදවත ගැහෙන රාවය දැනෙන නායකයෙක් අපි ජනාධිපති ධුරයට පත් කර ගත්තා. ඒ ජයග්‍රහණය තුළ මේ දිස්ත්‍රික්කයේ ජීවත් වෙන, මේ රටේ ජීවත් වෙන ආදරණීය කාන්තාවන් තමන්ගේ යුතුකම නිවැරැදිව ඉටුකර තිබෙනවා. ජනාධිපතිවරණයේ ජයග්‍රහණය වෙනුවෙන් වගේම මහමැතිවරණයේ ජයග්‍රහණය වෙනුවෙනුත් කාන්තාවන් පෙරට ඇවිත් ඉන්නවා. දකුණු ආසියාවේම කාන්තාවන් දේශපාලනිකව සංවිධාන කළ හැකි වූයේ ජාතික ජන බලවේගයට පමණයි. අපේ දියණියට, නැඟණියට, අම්මාට රට ඇතුළේ මේ දක්වා සැකක් බියක් රහිතව ජීවත්වීමට නොහැකි තත්ත්වයක් තිබුණා. ළමා අපයෝජන වැඩිම දිස්ත්‍රික්කය මේ මොනරාගලයි. ස්ත්‍රී අපයෝජන සහ ස්ත්‍රී දූෂණ විශාල ප්‍රමාණයක් කර තිබෙනවා. අපට ගෞරවනීයව ජීවත් විය හැකි ආරක්ෂිත රටක් මේ දක්වා බිහි කර නැහැ. ඒ නිසා ගැහැනු අපි එකමිටට එකතු වෙලා වඩාත් යහපත් රටක් නිර්මාණය කර ගැනීමේ වගකීම තිබෙනවා.
ජාතික ජන බලවේගයේ දිස්ත්‍රික් විධායක සභික, ජාතික විද්වත් සංවිධානයේ මොනරාගල දිස්ත්‍රික් සභාපති, ශ්‍රේෂ්ඨාධිකරණ නීතිඥ සරත් කුමාර මහතා –
ජනාධිපතිවරණය ජයග්‍රහණය කළ අප ඉදිරියේ තවත් අභියෝග කිහිපයක් තිබෙනවා. අපේ මාතෘභූමිය බංකොලොත් කළ චෞර දේශපාලන කඳවුර මෙරට ජනතාවගේ මහජන ධනය කොල්ලකා තිබෙනවා. ඒ මහා ධනය නැවත මේ ජනතාව වෙනුවෙන් අත්පත් කර ගන්න ඕනෑ. ඒ වෙනුවෙන් අලුත් නීති සම්පාදනය කරමින්, නීති ක්‍රියාත්මක කිරීමේ ආයතන අලුතින් පිහිටුවන්න ඕනෑ. ඊට අදාළව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට සංශෝධන ගෙන එන්න ඕනෑ. ආර්ථික වශයෙන් බිඳදමා තිබෙන අපේ රට ආර්ථික වශයෙන් සමෘද්ධිමත් කරන්න සැලසුම්, ප්‍රතිපත්ති මාලාවක් අප සකස් කර තිබෙනවා. ඒ සැලසුම් ක්‍රියාත්මක කරන්න ශක්තිමත් පාර්ලිමේන්තුවක් ගොඩනඟන්න ඕනෑ.
ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභික, ආසියානු සංවර්ධන බැංකුවේ දකුණ හා මධ්‍යම කලාපීය උපදේශක, මහ මැතිවරණ අපේක්ෂක තිස්ස ආරියරත්න මහතා –
මේ ධාරානිපාත වැසි සමයේ මෙතැනට රොක් වී සිටින මහ පොළොවත් එක්ක පොරබදන අපේ අම්මලා, තාත්තලා ඔබ සැමදෙනාට අපි අපේ ගෞරවය පිරිනමනවා. අපි භාර ගත්තේ බංකොලොත් රටක් බව අප හැම දෙනාම දන්නවා. ඒ රට කෙටි කාලයකින් ගොඩනැඟිය නොහැකි බව අපි හැමදෙනාම දන්නවා. නමුත්, ජනාධිපති, අනුර සහෝදරයා සමඟ අපි හැම දෙනාම එකාවන්ව පොරබදලා රට ගොඩනැඟීමට කැප වෙනවා. ඒ වගේම ලංකාවේ දුප්පත්කමින් දෙවැනි දිස්ත්‍රික්කය හැටියට තිබෙන මොනරාගල එම තත්වයෙන් මුදාගන්නත් පොරබදනවා. අපේ ආණ්ඩුවේ අවුරුදු පහ ඇතුළත ලංකාව ආසියාවේ සතුටින්ම ඉන්න මිනිසුන්ගේ රට කරනවා. ඒ වෙනුවෙන් පොරබදන්න, කැප කිරීම් කළ හැකි උගත්, බුද්ධිමත් කණ්ඩායම් ඔබේ අපේක්ෂකයන් හැටියට ඉදිරිපත් වී සිටිනවා.
ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභික, මොනරාගල දිස්ත්‍රික් කණ්ඩායම් නායක, ආර්.එම්. ජයවර්ධන මහතා –
ඌව වෙල්ලස්ස ගොඩනඟන බව කියමින් බලයට පැමිණි නායකයෝ හිටියා. මොනරාගල දිස්ත්‍රික්කය පොහොසත් දිස්ත්‍රික්කයක් කරන බවත් කිව්වා. නමුත්, පසුගිය කාලය පුරාම මොනරාගල දිස්ත්‍රික්කයේ ස්වාභාවික සම්පත් ඇතුළු සාරය උරාගන්න ඔවුන් වැව් තාවුළු පවා හෙළි පෙහෙළි කළා. ඔවුන් ආවේ අපේ ශක්තිය, අපේ ජවය සූරා ගනිමින්, ඔවුන්ගේ ජීවිත ගොඩනඟා ගැනීමට බව තේරුම් ගත් ජනතාව පසුගිය සැප්තැම්බර් 21 වැනිදා ජයග්‍රාහී දිනයක් ලෙස තෝරා ගත්තා. කාන්තාවන් එකමිටට එකතු වුණා. ගොවියෝ එකතු වුණා. වෙනත් වෘත්තිකයන් එකතු වුණා. මේ සියලුම දෙනා එකමිටට එකතු වෙලා මේ රට බංකොලොත් කළ පාලකයන් සියලු දෙනාටම නැවත පැමිණිය නොහැකි ලෙස පලවා හරින්න සමත් වුණා. ඒ ගැසූ කතිරයේ බලයෙන් මේ මැතිවරණයට ඉදිරිපත් වන්නට සිටි මේ දිස්ත්‍රික්කයේ අපේක්ෂකයන් හයදෙනකුට ගෙදර නවතින්න වුණා.අපි හැමදාම සිත් රිදවා ගනිමින්, දුක් විඳපු මිනිසුන්. ඒ යුගය නිමා කිරීමේ කාර්යභාරයට අප සියලුදෙනා එකාවන්ව පෙළගැසී සිටිනවා.
උපාලි කරුණාරත්න, චමීර ඇල්ලදෙණිය, ඌව වෙල්ලස්ස විශේෂ – ඩී.එස්. ගුණතිලක, වැල්ලවාය විශේෂ ජී.අයි.ආර්.ගරුසිංහ
ඡායාරූප – චන්න ජයවර්ධන