සාධාරණ සමාජයක් ප්‍රාර්ථනා කළ සෝභිත හාමුදුරුවෝ

අතිපූජ්‍ය මාදුළුවාවේ සෝභිත නායක මාහිමිපාණන්  වහන්සේ ජාතියට සමු දී මෙම මස 08 වැනි දිනට වසර නවයක් සම්පූර්ණ වේ. උන්වඑහන්සේ අපවත් වුයේ 2015 නොවැම්බර් මස 08 වනදා ය.

ලෝකයේ බෝහෝ රටවල් පවා විශ්මයට පත් කරමින් ශ්‍රී ලංකාවේ මහජනතාව ලබාගත් ජයග්‍රහණයකින් පසු මාස දහයක් ඉක්මවීමටත් පෙර උන්වහන්සේගේ අපවත්වීම සිදු විය.

අප ඒ් බව සිහිපත් කරන්නේ කරුණු කිහිපයක්ම අවධාරණය කරමිනි. අතිපූජ්‍ය මාදුළුවාවේ සෝභිත නායක මාහිමිපාණන්  වහන්සේගේ දූරදර්ශීත්වය නොවුවේ නම්, උන්වහන්සේගේ අප්‍රතිහත ධෛර්යය නොපැවතියේ නම්, උන්වහන්සේගේ අති දැවැන්ත නායකත්වය මේ සමාජයට ලබා නොදුන්නේ නම් 2015 ජනවාරි මස 08 වන දින මේ රටේ ජනතාව ලබාගත් ‌ ඓතිහාසික ජයග්‍රහණය බොහෝ දුරට සිහිනයක් වන්නට ඉඩ තිබුණි. එදා ඒ් ආකාරයට යුග පෙරලියක් සිදු නොවුයේ නම් අද වන විට ජනතාව ලබා ගනිමින් සිටින ප්‍රජාතන්ත්‍රවාදි ජයග්‍රහණ කිසිවක් අත්කර ගත නොහැකි ඒ්කාධිකාරි පාලන ව්‍යුහයක් රට තුළ ස්ථාපිතව පවතින්නට ඉඩකඩ තිබුණි.  එය එසේ වූයේ නම් තනි පවුල් ආධිපත්‍යයකට සින්න වූ රටක්, ජාතික හා ආගමික වශයෙන් විභේදනය වූ සමාජයක් සහ චෞර සහචරවාදි කණ්ඩායමක සූරාකෑමට ලක් වෙමින් මේ රටේ ජනතාවට තවත් බොහෝ අමිහිරි වේදනා අත්විදින්නට සිදු විය හැකිව තිබිණි. එවැනි තත්වයක් තුළ රටක් ලෙස අද මේ සමාජය යම් හෝ බලාපොරොත්තු දල්වාගනිමින් සිටින්නේ නම් ඒ් සඳහා තීරණාත්මක පදනමක් වැටුණේ එදා උන්වහන්සේ ජාතියට ලබාදුන් නායකත්වය අනුදත් ජනතාව ලබාගත් එකී ජයග්‍රහණය හේතුවෙනි.

ඒ් ජයත්‍රහණය මඟින් උන්වහන්සේ ද සමස්ත සමාජය ද අපේක්ෂා කළ ජාතික කාර්යභාර්යය  ඒ් ආකාරයටම අත්පත් කර දීමට එදා  ජනතාවගේ කර මතින් බලයට පත් පාලනය දක්වන ලද පසුබෑම නැතහොත් නොදැක්ම හේතුවෙන් අන් සියල්ලටම පෙර ගිලන් වූයේ උන්වහන්සේ ය. දේශපාලනික, ආර්ථික හා සමාජිය වශයෙන් මේ රට ගිලන් වෙමින් පවතින බව බොහෝ දෙනෙකුට දැකගත හැකි වූයේ ඉන් පසුව ය. අවසානයේ සමස්ත ජාතියම කම්පාවට පත්කරමින් උන් වහන්සේ 2015 නොවැම්බර් මස 08 වන දින තම මාතෘභූමියෙන් සමුගත්හ.

එහිදි අප අවධානය යොමු කල යුත්තේ උන්වහන්සේ ප්‍රාර්ථනා කළ, අපේක්ෂා කළ හා සිය ජීවිත කාලය පුරා මහත් වැර වෑයමින් ගොඩනඟා ගැනීමට මැදිහත් වූයේ කුමන ආකාරයේ ශ්‍රී ලංකාවක් ද යන්න පිළිබඳව  ය. එහෙත් එහිදි උන්වහන්සේ ඒ් සියල්ල සඳහා මැදිහත් වූයේ බල දේශපාලනය තුළ කිසිදු තනතුරක් හෝ වරප්‍රසාදයක් ලබාගැනීමේ අපේක්ෂාවෙන් යුතුව නොවේ. ඉතාමත් පැහැදිලිව සඳහන් කරන්නේ නම් අතිපූජ්‍ය මාදුළුවාවේ සෝභිත නායක හිමියන් පක්ෂ දේශපාලනයේ නිමග්න වූ භික්ෂුන් වහන්සේ කෙනෙකු නොවී ය. උන්වහන්සේ පක්ෂ දේශපාලනයට සම්බන්ධ නොවූවා පමණක් නොව භික්ෂුන් වහන්සේලා පක්ෂ දේශපාලනයට අවතීර්ණ වීම ද අනුමත නොකලෙහි ය. ඒ් බව වාදිභසිංහයාණෝ කෘතියට ලබාදුන් සාකච්ඡාවකදී ද සිය වචනයෙන් ම උන්වහන්සේ අවධාරණය කර ඇත. “මටත් කොළඹ දිස්ත්‍රික්කයෙන් තරඟ වදින්න ආරාධනා ලැබුණා. මම ඒ් සියල්ල ප්‍රතික්ෂේප කළා. මොකද මම විශ්වාස කරන දෙයක් තමයි භික්ෂුන් වහන්සේලා පක්ෂ දේශපාලනයට නොයා යුතුයි කියන එක. අපට ඊට වඩා පුළුල් දේශපාලනයක් තියෙනවා. ඒ් තමයි වල්පොළ රාහුල හාමුදුරුවෝ භික්ෂුවකගේ උරුමය පොතෙන් පෙන්වා දීපු, යක්කඩුවේ නායක හාමුදුරුවෝ විද්‍යාලංකාර ප්‍රකාශනයෙන් පෙන්වා දීපු පරාර්ථ චර්යාව”

උන්වහන්සේ නිරත වූයේ එවැනි දේශපාලනයක මිස තමන්ට බලය ලබාගැනීම සඳහා හෝ අනෙකෙකුට බලය අහිමි කරලීම අරමුණු කරගත් දේශපාලනයක නොවේ. එහිදි උන්වහන්සේට රට වෙනුවෙන් වූ දර්ශනයක් තිබිණ. එකී දර්ශනය පදනම් වූයේ උන්වහන්සේ පෙන්වා දුන් දස වැදෑරුම් ප්‍රතිපත්ති මත ය. එයට අන්තර්ගව තිබුණේ ප්‍රජාතන්ත්‍රවාදි ආණ්ඩුකරණය, නීතියේ ආධිපත්‍යය, ජාතික හා ආගමික සංහිඳියාව, දේශිය ආර්ථිකය ශක්තිමත් කිරීම, අධ්‍යාපනය හා සෞඛ්‍ය යන ක්ෂේත්‍රයන්හි යටිතල පහසුකම් සංවර්ධනය කර ඉහළ ගුණාත්මක ප්‍රතිඵල ලබාගැනීම මානව අයිතිවාසිකම් හා නිදහස සහතික කරගැනීම, කාන්තාවන්ගේ හා දරුවන්ගේ ආරක්ෂාව, පරිසරයේ තිරසරභාවය වැනි කරුණු කාරණා සහතික කෙරෙන ශිෂ්ට සම්පන්න හා නීති ගරුක සමාජයක් නිර්මාණය කරගැනීමේ අධිෂ්ඨානයයි.

එකි අරමුණු ඉටු කරගැනීමේ අපේක්ෂාවෙන් උන්වහන්සේ ගොඩ නැගූ ශක්තිමත් සංවිධාන ව්‍යුහයක් ලෙස සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරය පෙන්වාදිය හැකිය. සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරය ගොඩනඟමින් හා ඊට සමාරම්භක නායකත්වය ලබාදීම මඟින් උන්වහන්සේ අපේක්ෂා කළේ, රටට යහපත් ආණ්ඩුක්‍රමයක් හා ඒ් මගින් ජනතාවට වගකියන එමෙන් ම ජනතාව උදෙසා වන ආණ්ඩුකරණයක් නිර්මාණය කරගැනීමට ය. එවැනි ආණ්ඩුක්‍රමයක ඒ්කාධිපති බලයක් නිර්මාණය කරන ජනධිපති ක්‍රමයකට කිසිදු ඉඩක් නොමැති බව මෙන් ම 1978 ව්‍යවස්ථාව මගින් නිර්මාණය කර ඇති විධායක ජනාධිපති ක්‍රමය ක්‍රියාත්මක වන තුරු යහපත් ආණ්ඩුක්‍රමයක් හෝ ජනතාවට වගවන ආණ්ඩුකරණයක් බිහිකර ගත නොහැකි බව සියළු පාර්ශ්වයන්ට  වටහා ගත හැකි ආකාරයට ප්‍රකාශ කළ ප්‍රමුඛතම චරිතය උන්වහන්සේ ය. උන්වහන්සේ ඒ් බව රටට ප්‍රකාශ කළා පමණක් නොව ඒ් වෙනුවෙන් එඩිතරව පෙනී සිටියහ. තර්ජන ගර්ජන මැද, උපහාස අපහාස අතර මරණ තර්ජණ පමණක් නොව තමන් වහන්සේ ඝාතනය කිරීම සඳහා ගනු ලැබූ සාහසික උත්සහයන් ඉදිරියේ පවා උන්වහන්සේගේ  එකී අරමුණ දුර්මුඛ කරලීමට කිසිවකුට නොහැකි විය. ඒ් පෙනි සිටීම එක් පුද්ගලයෙකු ඉලක්ක කරගෙන හෝ එක් කණ්ඩායමක් පරාජය කිරීමේ අරමුණකින් සිදු කළ එකක් නොවී ය. තම දැක්ම හා රටේ යහපත උදෙසා ගත යුතුව ඇති මග පැහැදිලි කරමින් විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම සඳහා සිදු කරන ලද පෙනී සිටිමක් විය. හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරන්නට කටයුතු කරන්නේ නම් තම පූර්ණ සහාය ඔහු වෙත පළ කරන්නට සූදානම් බව උන්වහන්සේ  ප්‍රසිද්ධියේම ප්‍රකාශ කර සිටියේ ඒ් නිසා ය. එමෙන් ම රාජපක්ෂ මහතා එසේ කටයුතු කරන්නට සූදානම් නොමැති නම් ඔහුගේ පාලනයට එරෙහිව ක්‍රියා කරන්නටත් විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම සඳහා කටයුතු කරන පොදු අපේක්ෂකයෙකු ඉදිරිපත් කරන්නට සුදානම් බව ප්‍රසිද්ධියේ කියා සිටීමට තරම් දැවැන්ත පෞර්ෂයක් උන්වහන්සේ සතු  විය.

2015 ආණ්ඩු පෙරලිය එහි ප්‍රතිඵලය විය. එහෙත් ජාතියේ අවශ්‍යතාවය වෙනුවෙන් සිදු කළ යුතුව පැවති වගකීම පිළිබඳව උන්වහන්සේගේ නිර්දේශය මත ජනතාව විශ්වාසය තබා බලය පවරා දුන් අය වෙතින් එය ඉටු වුයේද යන්න අප අමුතුවෙන් පැහැදිලි කල යුතු නැත.  රටක් ලෙස අප අත්විඳි බොහෝ ඛේදවාචකයන්ට තුඩු දුන් කරුණු කාරණා අදට ද යාවත්කාලීන වන්නේ එවැනි තීරණාත්මක වැරදි හා මගහැරීම් නිසාම ය.

අද වන විට මේ රටේ සබුද්ධික බහුතර ජනතාව ඒ් බව තේරුම් ගෙන සිටීම ඉතා වැදගත් ය. මේ රටේ ජනතාව අද වන විට  System Change නොහොත් ක්‍රම වෙනසක් ඉල්ලා සිටින්නේ ඒ් නිසා ය. ඒ් සඳහා වන තම අපේක්ෂාව ද පෙනී සිටිම ද ඔවුන් විසින් ඉතා පැහැදිලි ලෙස මේ වන විටත් ප්‍රදර්ශනය කර තිබේ. ඒ් අනුව අතිපූජ්‍ය මාදුළුවාවේ සෝභිත නාහිමිපාණන් සිය අවසන් හුස්ම පොද වාතලයට මුසු කරන අවසන් මොහොතේ නිසැක ලෙස ම ප්‍රාර්ථනා කරන්නට ඇති ඒ් යහපත් රට ගොඩනැඟීමට නම් එක් පුද්ගලයෙක් වෙත අත්තනෝමතික බලයකට ද ඉඩ කඩ විවර කරන සකළ විධ බලය කේන්ද්‍රගත කර ඇති විධායක ජනාධිපති ක්‍රමය නොපමාවම වෙනස් කරගනිමින් යහපත් ආණ්ඩුක්‍රමයක් වෙත සංක්‍රමණය වීම අප සියල්ලන්ගේම වගකීමක් වනු ඇත. ඒ් සඳහා පෙනී සිටි බලවේගයක් රටේ රාජ්‍ය බලය අත්පත් කරගෙන ඇති පසුබිමක උන්වහන්සේගේ එකී ප්‍රාර්ථනය නොපමාවම ඉෂ්ට සිද්ධ වනු දැකීම අපගේද බලවත් අපේක්ෂාවයි. ඒ් සඳහා මැදිහත් වන ලෙස මේ රටේ මහා සංඝරත්නය වෙත උන්වහන්සේ විසින් කරන ලද ඉල්ලීමක් උපුටා දක්වන්නේ එහි ඇති වැදගත්කම අප සියල්ලන්ම අවබෝධ කරගත යුතුව ඇති නිසා ය.

“… මේ රටේ අපේ හාමුදුරුවරු එකතු වෙලා කල යුතු මහා මෙහෙවරක් තියෙනවා. ඒ්ක තමයි විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම. මේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව දැන් ඇති. මේක තමයි විනාසෙට මුල. මේකේ තියෙන ඡන්ද ක්‍රමය, මන්ත්‍රීවරු පත්කරන ක්‍රමය ඔක්කොම වැරදියි. ඒ්වායින් මේ රටට මහා විනාශයක් වෙලා තියෙනවා. ඒ් නිසා මේ රටට නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් අවශ්‍යමයි.”

(මාදුළුවාවේ සෝභිත හිමි සිය 70 වන ජන්ම දිනය දා රට හමුවේ සිදු කරන ලද ප්‍රකාශයකි)

උන්වහන්සේගේ එම දැක්ම කොතරම් නිවැරදිදැයි වඩා හොඳින් අවබෝධ කරගත හැක්කේ එදාටත් වඩා අද දවසේ දී ය.

| කරු ජයසුරිය

සභාපති

සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරය.

Leave A Comment