
සාම්පූර් බලාගාරය ඇරඹීමට තීරණය කර තිබෙනවා
- CNL Reporter
- February 26, 2025
- දේශපාලන
- සාම්පූර් බලාගාරය ඇරඹීමට තීරණය කර තිබෙනවා
- 0 Comments
නැඟෙනහිර පළාත් ආණ්ඩුකාර මහාචාර්ය ජයන්ත ලාල් රත්නසේකර
සමහර නිලධාරීන් වැඩ කරන්න තාම ලැහැස්ති නෑ
සියලු ක්ෂේත්‍ර ආවරණය කළ අය – වැයක්
නිලධාරීන්ගේ වැඩවලට දේශපාලන ඇඟිලි ගැසීම් නෑ
නැඟෙනහිර පළාත් ජනතාවගේ ආර්ථිකය ඇතුළු අනෙකුත් ක්ෂේත්‍ර ශක්තිමත් කිරීම වෙනුවෙන් ගෙන ඇති ක්‍රියාමාර්ග සහ රාජ්‍ය
යන්ත්‍රණය නිවැරදි දිසාවකට ගෙන යෑමට කටයුතු කරන ආකාරය ඇතුළු තවත් කරුණු කිහිපයක් පිළිබඳ නැඟෙනහිර පළාත් ආණ්ඩුකාර, මහාචාර්ය ජයන්ත ලාල් රත්නසේකර මහතා සමඟ කළ සාකච්ඡාවකි, මේ.
නැඟෙනහිර පළාතේ ජන ජීවිතය ශක්තිමත් කිරීමට ස්ථිර වැඩපිළිවෙළක් තිබේද?
නැඟෙනහිර පළාතේ ජන ජීවිතය ශක්තිමත් කළ යුතු ක්ෂේත්‍ර ගණනාවක් තිබෙනවා. එයින් ප්‍රධාන වන්නේ කෘෂි කර්මාන්තය සහ ධීවර කර්මාන්තයයි. මේ ක්ෂේත්‍ර වෙනුවෙන් විශේෂ වැඩපිළිවෙළ කිහිපයක් සකස් කරමින් ඉන්නවා. වී ගොවිතැන වගේම විවිධ බෝග මෙහි වගා කරනවා. ඊට අමතරව ධීවර කර්මාන්තයේ යෙදෙන පිරිසකුත් ඉන්නවා. ධීවරයන් මුහුණ දුන් ගැටලු කිහිපයක් තියෙනවා. එහිදී සුළුපන්න ධීවරයන්ට විවිධ තර්ජනවලට මුහුණදීමට සිදුව තිබෙනවා. ඒ පිළිබඳව අපි දැනට තොරතුරු රැස් කරමින් ඉන්නවා.
නැඟෙනහිර පළාතේ තවත් විශේෂ දෙයක් තමයි, සංචාරක කර්මාන්තය. පාසිකුඩා, ආරුගම්බේ, නිලාවේලි වගේ ස්ථාන කිහිපයක් තමා මේ වන විට සංචාරක කර්මාන්තයට ඉලක්කගත වී තිබෙන්නේ. විශේෂයෙන් දකුණු පළාත සහ අනෙක් ප්‍රදේශ සමඟ සැසඳීමේදී ඒ තත්ත්වයට නැඟෙනහිර පළාතේ සංචාරක කර්මාන්තය පැමිණ නෑ. ඒ නිසා ජනතාවත් සමඟ එකතුවෙලා නැඟෙනහිර පළාතේ සංචාරක කර්මාන්තය වඩාත් ආකර්ෂණීය කර ගන්නේ කොහොමද කියන එකත් අධ්‍යයනය කරමින් ඉන්නවා. මේ සඳහා සංචාරක අමාත්‍යාංශයත් සම්බන්ධ කර ගන්නවා.
සංචාරක කර්මාන්තය දියුණු කිරීමට යෝජිත වැඩපිළිවෙළ කුමක්ද ?
ත්‍රිකුණාමලය, නිලාවේලි සහ ඒ වෙරළාසන්න ප්‍රදේශත්, අම්පාර දිස්ත්‍රික්කයේත් ඇති සංචාරක ආකර්ෂණය දිනා ගත හැකි ස්ථාන හඳුනා ගනිමින් ඉන්නවා. අපි නුදුරේදීම සංචාරක නියෝජ්‍ය ඇමැතිතුමාත්, නැඟෙනහිර තිබෙන සංචාරක ප්‍රවර්ධන කාර්යාංශයේ පිරිසත් එකතු කරගෙන මේ ගැන සම්බන්ධීකරණ කටයුතු කරන්න බලාපොරොත්තු වෙනවා.
සංචාරක කර්මාන්තය කිවුවාම බොහෝ දෙනා හිතාගෙන ඉන්නේ තරු පහේ හයේ හෝටල් ගැනයි. එහෙම නොවේ, මෙය සාමාන්‍ය ජනතාවත් එක්ක බද්ධ කළ යුතු කර්මාන්තයක්. ඇල්ල, බණ්ඩාරවෙල වගේ ප්‍රදේශවල ගෘහාශ්‍රිත නවාතැන් ක්‍රමය කියන එක හරිම ජනප්‍රියයි. නමුත් නැඟෙනහිර පළාතට ගෘහාශ්‍රිත නවාතැන් ක්‍රමය කියන සංකල්පය ඇවිත් නෑ. ඒ වගේම අපේ සංස්කෘතිය ප්‍රවර්ධනය කිරීම සිදු වන්නේත් නෑ. උදාහරණයක් ලෙස නැඟෙනහිර පළාතේ මුහුද සහ වන සම්පත ගත්තාම පැය භාගයක් ඇතුළත අලි දකින්නත්, තල්මසුන් දකින්නත් පුළුවන්. ඒ අතින් මේ පළාතට හොඳ විභවයක් තියෙනවා. එනිසා අපි දීර්ඝකාලීන සැලසුම්වලට යෑමටත් කටයුතු කරමින් ඉන්නවා.
නැඟෙනහිර පළාතටම ආවේණික වූ ගැටලු මොනවාද ?
නැඟෙනහිර පළාතට ආවේණික වූ ගැටලු කිහිපයක් තියෙනවා. අනෙක් පළාත්වලට වඩා නැඟෙනහිර පළාත වෙනස්. බහුජාතික සහ බහුවාර්ගික පළාතක් ලෙස නැඟෙනහිර පළාත හඳුන්වන්න පුළුවන්. මෙහි ප්‍රධාන ජාතීන් සහ ජන වර්ග ගත්තාම මුස්ලිම් ජනතාව සියයට තිස් අටත්, හතළිහත් අතර ප්‍රමාණයකුත්, දමිළ ජනතාව සියයට විසි ගණනකුත්, සිංහල ජනතාව සියයට විස්සකුත් ඉන්නවා. විශේෂයෙන් අවුරුදු තිහක යුද්ධයෙන් පසු ඇති වූ ප්‍රධාන ප්‍රශ්නය ඉඩම් ගැටලුව. අවුරුදු විසි තිස් ගණන් මෙහි පදිංචිව සිටි පිරිස සිවිල් යුද්ධයෙන් පසු මේ ප්‍රදේශ හැර ගොස් තිබෙනවා. එසේ ගොස් නැවත මේ ප්‍රදේශවලට පැමිණීමේදී සමහර විට වෙනත් අය ඒ තැන්වල පදිංචි වෙලා. එසේත් නැත්නම් ඒ තැන්වල වනාන්තර ගොඩනැඟිලා. ඒ නිසාම ඒවා වන රක්ෂණ දෙපාර්තමේන්තුවේ ඉඩම් හැටියට ගැසට් කරලා. මේක සංකීර්ණ ප්‍රශ්නයක්. යුද්ධය ඉවර වෙලා වසර පහළොවක් වුණත් මේ ඉඩම් ගැටලුව තවම හරියට විසඳී නෑ.
අනෙක අපි විවිධ වැඩසටහන් කොතරම් ආරම්භ කළත් සාමාන්‍ය ජනතාව අතර ජාතික සමගිය සහ අවබෝධය තවම අඩු මට්ටමක පවතින්නේ. මෙයත් එක ගැටලුවක්. පසුගිය මැතිවරණයේදී ජාතික ජන බලවේගයට ජාති, ආගම් භේදයකින් තොරව ජනතාව ඡන්දය දී තියෙන්නේ විශ්වාසය මතයි. එනිසා මෙහි ආණ්ඩුකාරවරයා වශයෙන් මගේ ප්‍රධාන රාජකාරියක් වී තියෙන්නේ ජාතික සමගිය පහළ සිටම ගොඩනැඟීමයි.
මම ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ කන්තලේ ප්‍රදේශයේ ඉපදුණු කෙනෙක්. මට දෙමළ භාෂාව කතා කිරීමේ හැකියාව තිබෙනවා. ඒ නිසා මට පෞද්ගලිකව ජාතීන් අතර සහයෝගිතාව ගොඩනැඟීම සඳහා යම්කිසි කාර්යභාරයක් ඉටු කළ හැකියි. විශේෂයෙන් මම දෙමළ කතා කරන නිසා ජනතාවගේ විශ්වාසය යම්තාක් දුරට දිනාගැනීමේ හැකියාව ලැබී තියෙනවා.
මුහුදු ආදිවාසී ජනතාවගේ ගැටලු විසඳීමට පියවර අරන් තියෙනවාද ?
මුහුදු ආදිවාසී ජනතාවගේ සාමාන්‍ය සම්ප්‍රදායක් තියෙනවා, පළාතට අලුතින් ආණ්ඩුකාරවරයෙක් පැමිණි විට මී පැණි මුට්ටියක් ගෙනත් පිළිගැනීම. එලෙස මමත් පිළිගන්න ඒ අය පැමිණියා. පසුව ඔවුන්ට ඇති ගැටලු මා සමඟ කතා කළා. එහිදී පෙන්වා දුන් පළමු ගැටලුව වූයේ ඔවුන්ගේ සමහර භූමි ප්‍රදේශ විවිධ කර්මාන්ත සඳහා දීර්ඝකාලීන බදු ගිවිසුම් යටතේ විවිධ අයට ලබා දී තිබීම. එසේ දුන් සමහර ඉඩම්වලට වන්දි ලැබී නෑ. දෙවැන්න මේ අයගෙන් බහුතරයක් ධීවර කර්මාන්තයට වඩා මී මැසි කර්මාන්තයේ නිරතව සිටිනවා. වාකරේ පමණක් නොව මුතූර්වලත්, මඩකලපුවේත් මේ අය ජීවත්ව ඉන්නවා. සේරුවිල පන්සලේ විහාරාධිපති හිමියනුත් ඔවුන් ගැන විශේෂයෙන් සොයා බලනවා. දැනට මේ ගැන අධ්‍යයනය කර ලබා ගත් තොරතුරු අපි සතුව තියෙනවා. ඒ ඔස්සේ ඔවුන්ගේ ගැටලු විසඳීමට උත්සාහයක් දරනවා. ඊට අමතරව ඔවුන්ට ඉදිරි ජීවන කටයුතු කරගෙන යෑමට අවශ්‍ය සම්බන්ධීකරණය කරන්නත් බලාපොරොත්තු වෙනවා.
ජනතාවට සහන සැලසීමට නම් පළාත් සභා ඇතුළු සෑම රාජ්‍ය ආයතනයක්ම වියදම් පාලනය කිරීම අත්‍යවශ්‍යයි. නැඟෙනහිර පළාත තුළ මේ වෙනුවෙන් ගෙන ඇති ක්‍රියාමාර්ග මොනවාද ?
මෙය මුළු රටේම සිදු විය යුතු දෙයක්. පළාත් පාලන ආයතනවල ආදායම් වැඩි කරගැනීම වෙනුවෙන් ක්‍රියාත්මක කරන ක්‍රමවේද මොනවාද කියා දන්වන ලෙස අපි ඉල්ලීමක් කර තිබෙනවා. මෙහිදී වරිපනම් බදු අය කිරීම සහ ව්‍යාපාරික ස්ථාන බදු දීමේදී අදාළ තක්සේරු කිරීම් ආදිය වසර ගණනාවකින් සිදුව නැති බව පැහැදිලි වුණා. මේවා ආදායම් වැඩි වන මාර්ග. එයට සමගාමීව වීදි ලාම්පු ලබා දීම සහ කසළ එකතු කිරීම ආදියට ලබා දෙන සහායන් තියෙනවා. මේවා සිදු කිරීමට යෑමේදී සමහර තැන්වලදී සේවක හිඟකම සහ වාහන අඩුකම වැනි ප්‍රශ්න ඉදිරිපත් කරනවා. ඒවායේත් ඇත්තක් තියෙනවා. නමුත් සමහර තැන්වල සිටින සේවකයන්ගෙන් හරියට රාජකාරිය නොවන අවස්ථාත් තියෙනවා. ඒ නිසා මම පළාත් පාලන කොමසාරිස්තුමා සහ සහකාර පළාත් පාලන කොමසාරිස්වරුන් එක්ක සාකච්ඡා කර මේ සඳහා වැඩපිළිවෙළක් යොදා තියෙනවා. විශේෂයෙන් කිව යුතුයි, නගර සභා, මහ නගර සභාවල විශාල ප්‍රමාණයේ ස්ථාවර තැන්පතු තියෙනවා. ඒවායෙන් ආදායමක් ලැබෙන බව ඇත්ත. ව්‍යාපාර කර ආදායම් හොයා ගැනීමේ වරදක් නෑ. නමුත් ජනතාවට සේවයක් නොවී ස්ථිර තැන්පතු පවත්වාගෙන යනවා නම් එහි තේරුමක් නෑ. පහුගිය කාලවල දේශපාලන බලපෑම් මත ඒ ස්ථිර තැන්පතු ආපසු අරගෙන අනවශ්‍ය වැඩවලට යොදා තියෙනවා. අපි එහෙම කරන්නේ නෑ. පසුගිය සතියේත් මඩකලපුවේ සියලුම ප්‍රාදේශීය සභා ලේකම්වරුන් සහ සහකාර පළාත් පාලන කොමසාරිස්, නැඟෙනහිර පළාත් පාලන කොමසාරිස් එක්ක මේ ගැන සාකච්ඡා කළා. මේ ස්ථිර තැන්පතුවලින් මොනවාද ගන්න පුළුවන් වගේම ඒවා ගෙන පාවිච්චි කරන්න කියලා අපි ඔවුන්ට දැනුම් දුන්නා.
ඒ වගේම බොහෝ පළාත් පාලන ආයතනවල භාවිත කළ නොහැකි මට්ටමේ පවතින සහ භාවිත නොකර ඉවත් කර තියෙන වාහන සහ යන්ත්‍රෝපකරණ තියෙනවා. ඒවා නිකන් දිරාපත් වෙනවා. සති දෙක තුනක් ඇතුළත මේවා ගැන සංඛ්‍යාත්මක තොරතුරු දෙන්න කියලා මම කිවුවා. එහිදී පාවිච්චි කළ හැකි වාහන භාවිතයට ගෙන අනෙක් ඒවා වෙන්දේසි කර ඉවත් කිරීමට බලාපොරොත්තු වෙනවා. ඒවා අනවශ්‍ය බරක්. සමහර තැන්වලට බර වාහනවල අඩුවක් තියෙනවා. අවශ්‍යතාව අනුව ළඟම තියෙන ප්‍රාදේශීය සභාවෙන් හෝ නගර සභාවෙන් මේ අඩුපාඩු සපුරා ගන්න කියලා අපි උපදෙස් දී තියෙනවා. පසුගිය ගංවතුර කාලයේදී ඒ වැඩපිළිවෙළ අපි හරියට ක්‍රියාත්මක කළා. ඒ වගේ පොදු වැඩපිළිවෙළක් ක්‍රියාත්මක වෙනවා. ඉදිරියේදී පවත්වන පළාත් පාලන ඡන්දයෙන් මහජන නියෝජිතයන් පත්වූ පසු මෙය තවදුරටත් හොඳින් ක්‍රියාත්මක කරනවා.
මෙවර අය – වැයෙන් මුදල් වෙන් කර ඇති ආකාරය ගැන සඳහන් කළොත් ?
නැඟෙනහිර පළාතේ සාම්පූර් බලාගාරය පටන්ගන්න තීරණය කර තියෙනවා. නැඟෙනහිර පළාත් සභාවට ගිය වසරේ ප්‍රතිපාදන ලෙස වෙන් කර තිබුණේ මිලියන 2800ක් වගේ මුදලක්. එම මුදල මේ වසරේ මිලියන 6000 දක්වා වැඩි කර තියෙනවා. පොදුවේ ගත් විට මෙවර අය-වැයෙන් සියලුම ක්ෂේත්‍ර ආවරණය වී තිබෙනවා. ලංකා ඉතිහාසයේ අය-වැයකින් පළමු වතාවට සියලුම ක්ෂේත්‍ර ආවරණය වීම අතිශයින් වැදගත් වෙනවා. ඔටිසම් දරුවන්ට, ගැබිනි මවුවරුන්ට ආදී වශයෙන් වෙනදාට නොහිතූ පැතිත් මේ අය-වැයෙන් ආවරණය කර තිබෙනවා.
පසුගිය පාලන කාලයේදී රාජ්‍ය ආයතනවලට දේශපාලනය අනිසි ලෙස බලපෑම් කිරීම නිසා නොයෙකුත් ප්‍රශ්න ඇති වුණා. මේ ගැන ඔබේ මතය ?
මෙය මුළු රටක් හැටියට තියෙන ගැටලුවක්. නැඟෙනහිර පළාතේ ඉන්න පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්, ආණ්ඩුකාරවරයා හැටියට මම පොරොන්දු වෙලා තියෙනවා, රජයේ නිලධාරින්ගේ වැඩවලට ඇඟිලි ගහන්නේ නෑ, ඔවුන්ගේ රාජකාරිය හරියට කරගෙන යන්න කියලා. නමුත් සමහර අවස්ථාවලදී නිලධාරින් තමන්ගේ රාජකාරිය හරියට කරන්නේ නැතිව මඟහරිනවා. එවිට පොඩි මැදිහත්වීමක් කරන්නත් සිදු වෙනවා. අනෙක මහජන නියෝජිතයන් හැටියට ඔවුන්ට අයිතියක් තියෙනවා, ප්‍රශ්න ඉදිරිපත් කරන්න. මම කියලා තියෙන්නේ නැඟෙනහිර පළාතේ මොනවා හරි ප්‍රශ්නයක් තියනවා නම් ආණ්ඩුකාර කාර්යාලයට ඉදිරිපත් කරන්න, එතකොට අපි අදාළ නිලධාරින්ට කියන්නම් කියලා. ඒ ක්‍රමය අපි හදාගෙන යනවා.
සමහර නිලධාරින් තාම ලැහැස්ති නෑ වැඩ කරන්න. අපි ඒ අයට ටිකක් තදින් ඉන්නවා. මාව ප්‍රසිද්ධයි ටිකක් සැර කෙනෙක් හැටියට. මම අවුරුදු හයයි මාස නවයක් ඌව වෙල්ලස්ස විශ්වවිද්‍යාලයේ උපකුලපති වශයෙන් කටයුතු කළා. විශ්වවිද්‍යාලය පාලනය කළෙත් එහෙමයි. යම් යම් අවස්ථාවලදී තදින් හිටියේ නැත්නම් වැඩ කරගැනීමේ අපහසුවක් ඇති වෙනවා. දැනට නම් මට එහෙම ප්‍රශ්නයක් මතුව නෑ. හැම දෙනාම වගේ හොඳින් වැඩ කරගෙන යනවා. ජනාධිපතිතුමා ජනවාරි පළමු වැනිදා කතාවේදී මේ ගැන හරිම පැහැදිලිව කිවුවා. ඔබට වෙනස් වෙන්න අපි කාලයක් දී තියෙනවා. ඒ අනුව මේ අලුත් ක්‍රමයට අනුගත වෙන්න කියලා. ඒකට බැරි අයට කරන්න දෙයක් නෑ. බලෙන් හරි ඒ වැඩ ටික කරගන්න වෙනවා.
දිල්හානි ජයවර්ධන