සිව්දෙනකුගෙන් එක් අයෙක් ආඝාතයට

•සුදුසු ව්‍යායාම් කරන්නේ මෙහෙමයි

ලෝක ආඝාත සංවිධානයේ දත්තවලට අනුව සමස්තයක් ලෙස සෑම සිව්දෙනෙකුගෙන් එක් අයෙක් සිය ජීවිත කාලය තුළ ආඝාතයට ගොදුරුවීමේ සම්භාවිතාවකින් පසුවේ. ආඝාතය පිළිබඳ බියකරු සත්‍යය මේ වුවද මේ දත්ත හා සබැඳුණු සතුටුදායක ආරංචියක් ද පවතී. ඒ, මේ සියලු ආඝාත අතරින් 90% ක්ම වළක්වා ගත හැකි ආඝාත වීමයි. එහෙත්, එසේ කළ හැකිවන්නේ ආඝාතයට හේතුවන අවදානම් කාරණා හරිහැටි පාලනය කර ගැනීමෙන්ම පමණි.

මෙහිදී දියවැඩියාව, අධිරුධිර පීඩනය, රුධිරගත කොලෙස්ටරෝල් මට්ටම හා ස්ථුලතාවය යන ආඝාතයේ අවදානම් කාරණා සලකා බැලුවහොත් මේ අවදානම් කාරණා පාලනය කරගැනීම සඳහා ව්‍යායාමයෙහි යෙදීම, ක්‍රියාශීලිවීම දක්වන්නේ අනබිබවනීය දායකත්වයකි.

•මිලියන 12.2 ක පමණ ජනතාවක්

ලෝක ආඝාත සංවිධානයට අනුව මිලියන 12.2 ක පමණ ජනතාවක් වාර්ෂිකව ආඝාතයට ගොදුරු වෙති. එසේ ම, ආඝාතයට වැඩි වශයෙන්ම ගොදුරු වන්නේ අකර්මණ්‍ය ජීවන රටාවක් ගතකරන, ව්‍යායාමයෙහි නොයෙදෙන අයවලුන් බවට ආඝාතය සම්බන්ධ පර්යේෂණ සාහිත්‍යය බොහෝ සාක්ෂි දරයි.

‘ක්‍රීඩාවේ බලය ආඝාතයේ බලයට වඩා බලවත්ව හා සවිමත්ව භාවිතය’ යන අදහස මෙවර ලෝක ආඝාත දිනයේ තේමාව වී ඇත්තේ ද ව්‍යායාමයේ සහ ක්‍රියාශීලිත්වයේ වැදගත්කම ලොවට අවධාරණය කරලීම සඳහාම ය. මේ නිසාම, අංසබාගයට ගොදුරු වී ආබාධිත වූ රෝගීන් වෙනුවෙන් පුනරුත්ථාපන ක්‍රියාවලිය ඇතුළත සිදු කෙරෙනු ලබන භෞත චිකිත්සක ප්‍රතිකාරමය ව්‍යායාමවලින් බැහැරව,

ආඝාතයට නැත්නම් අංසබාගයට ගොදුරු නොවී සිටීම සඳහා කළ යුතු ව්‍යායාම පිළිබඳව විමසා බලමු.

•ව්‍යායාම සඳහා නිර්දේශය

මේ සන්දර්භය යටතේ ව්‍යායාම සඳහා නිර්දේශය වන්නේ සතියකට විනාඩි 150 කාලයක් පුරා ව්‍යායාමයෙහි යෙදීමය. එනම්, එක් සතියකට එක් සැසිවාරයක් විනාඩි 30 ක් බැගින් වූ සැසිවාර පහක් කිරීමය. මේ ව්‍යායාම, දැරිය හැකි සාමාන්‍ය මට්ටමේ ව්‍යායාම මිස අතිශය වෙහෙසකාරී ව්‍යායාම නොවිය යුතුය.

කිසියම් අයෙකුට විනාඩි 30 ක ව්‍යායාම සැසිවාරයක් එක්වර දැරිය නොහැකි නම්, විනාඩි 10 කුඩා සැසිවාර තුනක් විටින් විට කර විනාඩි 30 සම්පූර්ණ කළ හැකි වනු ඇත.

එසේත් නැතිනම්, දිනකට දැරිය හැකිවන්නේ විනාඩි 10 ක් වැනි කුඩා කාලයක් නම්, එයින් අරඹා දිනයකට විනාඩි කිහිපය බැගින් විනාඩි 30 ක කාලයක් දක්වා ක්‍රමානුකූලව වැඩි කරගැනීමට උත්සාහ ගත හැකියි.

එසේම, කරන්නට තෝරාගන්නා ව්‍යායාම හෝ ක්‍රියාකාරකම් තමාගේ රුචියට සරිලන ආකාරයෙන් තෝරාගැනීම ද වඩාත් වැදගත් ය.

මෙයින් භෞතිකව සිරුරට ලැබෙන ප්‍රතිලාභයට අමතරව තමා ප්‍රිය කරන ක්‍රියාකාරකමක යෙදීම මඟින් ලැබෙන ‘සතුට’ නමැති මානසික ප්‍රතිලාභය ද හිමිවීම මෙහිදී සුවිශේෂය. එසේ ම, තමා තෝරා ගන්නා ව්‍යායාමයෙහි හෝ ක්‍රියාකාරකමෙහි යෙදෙන විට තමා ප්‍රියකරන ගීතවලට, සංගීතයට ඇහුම්කන් දෙමින් එහි නිරතවීමද ව්‍යායාමයෙහි වෙහෙස නිවනු ඇත.

එසේම, ව්‍යායාම කිරීම සිය ජීවන රටාව ට සරිලන ආකාරයෙන් ද කළ හැකිය. උදාහරණයක් ලෙස ව්‍යායාම කිරීම සඳහා අමතර කාලයක් සොයාගත නොහැකි නම්, උයන පිහින අතරතුර ව්‍යායාමයේ යෙදිය හැකිය. වතුර කේතලය නටන තුරු, වෑංජනයක් පිසෙන තුරු, මුළුතැන්ගෙයිම සිට ව්‍යායාමයක් දෙකක් කළ හැකිය.

ටෙලිනාට්‍ය අතරතුර මතුවන වෙළෙඳ දැන්වීම් පෙන්වන කාලසීමාව ව්‍යායාමයක් දෙකක් කිරීම සඳහා පහසුවෙන්ම යොදාගත හැකිය. පුරා දවසක් තිස්සේ මෙවන් කුඩා සැසිවාර කිහිපයක් එකතු කළ විට දවසකට සම්පූර්ණ කළ යුතු විනාඩි 30 සැසිවාරය ඉබේම සම්පූර්ණ වනවා ඇත.

තමාට හැකි පමණින් නිතිපතා ව්‍යායාමයෙහි යෙදීම ඔබ ආඝාතයෙන් වළකනු ඇත.

කෙසේ වෙතත්, ඔබ කිසියම් හෘදය ආශ්‍රිත රෝගයකින් පෙළෙන්නේ නම්, මෙතෙක් ව්‍යායාමයක නොයෙදුණු අයෙක් නම්, ව්‍යායාම ඇරඹීමට පෙර ඔබේ වෛද්‍යවරයා හමු වී ඔබේ රෝග තත්ත්වයන්ට අනුව ඔබ ව්‍යායාමයේ යෙදීම පිළිබඳ උපදෙස් ලබාගැනීම ආරක්ෂාකාරි පියවරක් වනු ඇත.

 

Leave A Comment