සෞඛ්‍ය පද්ධතිය අලුත් කරන්න යයි

වයඹ පළාතේ තෘතියික සත්කාර සේවා සපයනු ලබන ප්‍රධාන රෝහල වන කුරුණෑගල ශික්ෂණ රෝහලේ භෞතික සම්පත් සවර්ධනය සඳහා ලබාදුන් මූල්‍ය ප්‍රතිපාදන සහ දැනට ක්‍රියාත්මකවන ව්‍යාපෘතීන්ට අදාළ ප්‍රගතිය පිළිබඳව කරුණු සොයා බැලීම සඳහා සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා  පසුගියදා කටයුතු කරන ලදි.

ඒ අනුව කුරුණෑගල ශික්ෂණ රෝහල පැමිණි සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා  ඇතුළු සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ නිලධාරින් පළමුව රෝහල් අධ්‍යක්ෂ වෛද්‍ය වයි.එම්.එම් ප්‍රියංගණී මහත්මිය ඇතුළු රෝහලේ පාලනාධිකාරිය සමග රෝහල් සංවර්ධනයට අදාළ කරුණු සාකච්ඡා කරන ලද අතර, අනතුරුව විශේෂඥ, වෛද්‍ය, වෛද්‍ය, හෙද ඇතුළු කාර්ය මණ්ඩලය සමග රෝහලේ දැනට පවතින ගැටළු පිළිබඳව සහ සේවක අදහස් හා යෝජනා විමසීම සඳහා විශේෂ සාකච්ඡාවක් ද පවත්වන ලදි. එහිදී සෞඛ්‍ය ලේකම්වරයා මෙම කරුණු අනාවරණය කරන ලදි.

මෙරට සෞඛ්‍ය පද්ධතිය සඳහා ඇතැම් ඉහළ වටිනාකමකින් යුත් උපකරණ මිල දී ගැනීම අඩු කර කූලී පදනම මත ලබාගනිමින් සෞඛ්‍ය සේවා පවත්වාගෙනයාමට සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය ලබන වසරේ සිට බලාපොරොත්තු වන බවත්, එය ඉතා පහසු කාලෝචිත ක්‍රමවේදයක් බවත් ටෙන්ඩර් ක්‍රමය සංකීර්ණ වීම, විශාල මුදලක් උපකරණ සඳහා වැය වීම, අළුත්වැඩියා කටයුතු සහ පහසුව ඊට හේතු සාධක වන බවද පෙන්වා දුන් සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් වෛද්‍ය අනිල් ජාසිංහ මහතා මහනුවර රෝහලේ රුධිර කාන්දුකරණ ඒකකය රාජ්‍ය-පෞද්ගලික මොඩුලයට ක්‍රියාත්මක බව ද කරුණු පෙන්වා දෙන ලදි. ඒ අනුව මහනුවර රෝහලේ සහ කොළඹ ජාතික රෝහලේ එම අංශවල කටයුතු සංසන්දනයක් සිදු කළ බවත් එහි දී මුල්‍ය වශයෙන් මහනුවර රෝහලේ රුධිර කාන්දුපෙරණ අංශයේ ක්‍රියාකාරීත්වය ලාභදායි සහ පහසුදායී බව ද පෙන්වා දෙන ලදි.

කුරුණැගල ශික්ෂණ රෝහලට වෙන් කරන ලද මුදල් වියදම් කර ඇති ආකාරය සහ එහි ප්‍රගතිය පිළිබඳව කරුණු විමසමින් සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ  ලේකම්වරයා පෙන්වා දෙන ලද්දේ 2025 වසර සඳහා රෝහලට ලබාදුන් මූල්‍ය ප්‍රතිපාදනවලට අදාළ සංවර්ධන සහ උපකරණ මිල දී ගැනීමේ කටයුතුවල උපරිම ප්‍රගතියක් පෙන්නුම් කරමින් නියමිත කාලය තුළ අවසන් කිරිමට කටයුතු සිදු කරන ලෙසයි. මෙම වසරේ අවසන් කළ හැකි ව්‍යාපෘති පිළිබඳව වැඩි අවධානයක් යොමු කරන ලෙසත්, මෙම වසරේ කුරුණෑගල රෝහලට අවශ්‍ය ජීව වෛද්‍ය උපකරණ රෝහල හරහා මිලදී ගැනීම සඳහා සහ  ජීව වෛද්‍ය ඉංජිනේරු අංශය හරහා මිලදී ගැනීමට රුපියල් මිලියන 250 ක පමණ මුදල් වෙන් කර ඇති බවත් එම මුල්‍ය ප්‍රතිපාදනවලට අදාළ කටයුතු මෙම වසරේ අවසන් කළ යුතු බව ද ලේකම්වරයා පෙන්වා දෙන ලදි.

රෝහල් සංවර්ධන කටයුතු වසර 10 ක පමණ නිශ්චිත කාලයක් මුලික කරගත් ප්‍රධාන සැලසුමකට අනුව සිදු කළ යුතු බව ද සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරයා  පෙන්වා දුන් අතර,  ඒ අනුව භාවිතයට නුසුදුසු යැයි හදුනා ගන්නා ගොඩනැගිලි නව ගොඩනැගිලි ඉදිකිරීමෙන් අනතුරුව ඉවත් කිරීමේ අවශ්‍යතාවය ද සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා මෙහිදී  පෙන්වා දෙන ලදි.

රෝහලේ සංවර්ධන කටයුතු සහ ප්‍රතිකාර සේවාවන් ද සිය නිරීක්ෂණයට ලක් කළ සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරයා අළුතින් ඉදිකෙරෙන වෛද්‍ය නිල නිවාස මෙන්ම පැරණි වෛද්‍ය නිල නිවාස පිහිටි භූමිය ද සිය නිරීක්ෂණයට ලක් කරන ලදි.

මෙම සාකච්ඡාවේ දී රෝහල් අධ්‍යක්ෂ වෛද්‍ය වයි.එම්.එම් ප්‍රියංගණී මහත්මිය රෝහලේ කාර්ය සාධනය, සිදුවෙමින් පවතින සංවර්ධන ව්‍යාපෘති, අපේක්ෂිත අනාගත සංවර්ධන යෝජිත ව්‍යාපෘති, රෝහලේ දළ සැළස්ම, ඉදිරි අභියෝග පිළිබඳව ද කරුණු පෙන්වා දෙන ලද අතර, 2025 වසර සඳහා ප්‍රසම්පාදන සැලැස්ම යටතේ මිලදී ගැනීමට සැලසුම් කර ඇති රුපියල් මිලියන 45 ක වටිනාකමකින් යුත් වෛද්‍ය උපකරණ සහ ආරම්භ කරන ලද වැඩ විෂයන්, රෝහල තුළ ඉදිරියේ දී ඉටුකර ගැනීමට අපේක්ෂිත ඇස්තමේන්තු සකස් කර අනුමත කර ඇති වැඩ විෂයන්, බිල්පත් ගෙවීම්, රෝහලේ ප්‍රධාන සැලැස්ම වැඩිදියුණු කිරීම, විවිධ ව්‍යාපෘති හරහා ක්‍රියාත්මක සංවර්ධන වැඩසටහන්, ගොඩනැගිලි නඩත්තු සහ පුනරුත්ථාපන කටයුතු, වෛද්‍ය උපකරණ හැර අනෙකුත් යන්ත්‍රෝපකරණයන් හි නඩත්තු කටයුතු, කරුණෑගල රෝහලට අනුබද්ධ හෙද විදුහලේ සංවර්ධන කටයුතු සහ රෝහල් කාර්ය සාධනයේ මුල්‍ය ප්‍රගතිය  පිළිබඳව ද මෙහිදී  සාකච්ඡා සිදු කරන ලදි.

මෙම අවස්ථාවට සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යංශයේ අතිරේක ලේකම්වරුන් වන සාලින්ද බණ්ඩාර, චාමික ගමගේ, නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය ප්‍රියන්ත අතපත්තු, කුරුණෑගල ශික්ෂණ රෝහලේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය මිහිරි ප්‍රියංගනී යන මහත්ම මහත්මින් ඇතුළුව විශේෂඥ වෛද්‍යවරුන්, වෛද්‍යවරුන්, හෙද හෙදියන් ඇතුළු සෞඛ්‍ය කාර්ය මණ්ඩලයේ පිරිසක් ද සහභාගී වුහ.

Tags:

Leave A Comment