
සෞඛ්‍ය වෘත්තිකයන්ට වෘත්තීයමයභාවය ලබාදෙමින් රජයේ රෝහල් පද්ධතිය ඩිජිටල්කරණයට
- Sujeewa Senerath
- April 7, 2025
- දේශපාලන, පුවත්
- digital sri lanka, health ministry of sri lanka, nalinda jayatissa
- 0 Comments
රජයේ රෝහල පුරවැසියාට සුවපහසු, සමීප කාර්යක්ෂම සේවා සපයන තැනක් බවට පත්කරලීම සඳහා සෞඛ්‍ය වෘත්තිකයන්ට වෘත්තීයමයභාවය ලබා දෙමින්, මෙරට රජයේ රෝහල් පද්ධතිය නව්‍යකරණයට හා ඩිජිටල්කරණයට ලක්කරන බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා අවධාරණය කළේය.
මෙරට රජයේ රෝහල් පද්ධතිය ඩිජිටල්කරණට ලක්කර මෙරට ජනතාවට කෙටි කාලයක් තුළ ගුණාත්මක කාර්යක්ෂම ප්‍රතිකාර සේවාවක් ලබා දෙමින්, රෝගීභාවයට පත්වෙන පුරවැසියාට ලබා දීය හැකි ඉහළ ම සත්කාරය, පිළිගැනීම, රෝහල තුළින් ලබාදීම මෙන් ම පුරවැසියාට සුවපහසු, සමීප තැනක් බවට රෝහල පත් කිරීම සෞඛ්‍ය අමාත්‍යාංශයේ සහ වත්මන් රජයේ ප්‍රමුඛ අරමුණක් බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසී ය.
අමාත්‍යවරයා මේ බව සදහන් කළේ කොළඹ රිජ්වේ ආර්යා ශික්ෂණ ළමා රෝහලේ සෞඛ්‍ය තොරතුරු තාක්ෂණ පද්ධතිය නිල වශයෙන් ජනගත කිරීමේ සහ රෝහල් රසායනාගාරයේ පටක විද්‍යා අංශය ප්‍රමිතිකරණය ලබා ගැනීම වෙනුවෙන් පසුගිය දා එම රෝහලේ පැවති විශේෂ උත්සවයකට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස එක් වෙමිණි.
රිජ්වේ ආර්යා ශික්ෂණ ළමා රෝහලේ වාට්ටු , සායන, ශල්‍යාගාර, රසානාගාර, විකිරණ අංශය ඇතුළු රෝහලේ සියලු ම ඒකක හා අංශ, පූර්ණ වශයෙන් මේ වන විට ඩිජිටල්කරණයට ලක්කර ඇත.
ප්‍රමිතිගත රසායනාගාර සේවාවක් ජනතාවට ලබා දීම අරමුණු කරගනිමින් මීට වසරකට පමණ පෙර ශ්‍රී ලංකා ප්‍රතීතන මණ්ඩලය-SLAB මගින් රසායනාගාර වෙත පිරිණැමෙන ප්‍රමිතිකරණය ලබා ගැනීමට රිජ්වේ ආර්යා ශික්ෂණ ළමා රෝහල් රසායනාගාරයේ පටක විද්‍යා අංශය අයදුම් කර ඇති අතර රජයේ රෝහලක රසායනාගාරයක් ප්‍රමිතිකරණයට ලක් වූ පළමු අවස්ථාව මෙය වේ.
සමස්ත රාජ්‍ය සේවාව ම ඩිජිටල්කරණට ලක්කර මහජනතාවට ඉතා පහසු කාර්යක්ෂම සේවාවක් බවට පත් කිරීම වත්මන් රජයේ බලාපොරොත්තුව බවත්, ලක්ෂ එකහමාරක් වන සෞඛ්‍ය කාර්ය මණ්ඩලයේ තොරතුරු ඇතුළු මානව සම්පත් කළමනාකරණය කර ගැනීමට තාක්ෂණය යොදා ගැනීම, ඩිජිටල් සෞඛ්‍ය වාර්තා වඩා සම්බන්ධයක් සහිත ව දියුණු කිරීම, ඖෂධ සැපයුම් ජාලය තාක්ෂණය සමඟ විධිමත් කිරීම පිළිබඳව පූර්ණ අවධානය යොමු කරමින් ඩිජිටල්කරණයට ලක් කිරීමට කටයුතු කරන බව අමාත්‍යවරයා මෙහි දී අවධාරණය කර සිටියේ ය.
එමෙන් ම රෝගී බවට පත්වෙන පුරවැසියාට ලබා දීය හැකි ඉහළම සත්කාරය,පිළිගැනීම, ලබාදීම සෞඛ්‍ය වෘත්තිකයන්ගේ වගකීමක් බවත්, ඒ සඳහා සෞඛ්‍ය අමාත්‍යංශය යටතේ සේවය කරන සියලු දෙනාට අවශ්‍යකරන වෘත්තීමයභාවය ලබාදෙමින් රෝගියාට ඉහළ ම සත්කාරයක් ලබා දීමට අවශ්‍ය පරිසරය නිර්මාණය කරන බව පැවසී ය. ඒ සඳහා මෙරට රජයේ රෝහල් පරීශ්‍ර ඉංජිනේරු ශිල්පීය සහ ගෘහ නිර්මාණශීල්පීයතාවය යොදාගෙන රෝහලක් ලෙස නිර්මාණාත්මක, දැකුම්කලු ස්ථානයක් බවට පත් කිරීම කෙරෙහි ද වත්මන් රජයේ පූර්ණ අවධාණය යොමුව ඇති බව ද අමාත්‍යවරයා පැවසී ය.
ඉතාම කැළඹිළි සහගත කාලපරිච්ජේදය පසුකර වර්තමානයේ සාමකාමීව යාත්‍රා කරන මෙරට සෞඛ්‍ය සේවාව අද පවතින තත්ත්වයට ගෙන ඒමේ දී රෝහල් පරිපාලනය මෙන් ම විශේෂඥ වෛද්‍යවරයාගේ සිට සියලු ම කාර්ය මණ්ඩලය දක්වා දැක් වු දායකත්වය,කැපවීම මෙහි දී සිහිපත් කළ අමාත්‍යවරයා එම ඉතාම අසීරු අවස්ථාවේ දී සෞඛ්‍ය ක්ෂේත්‍රය නැමති යාත්‍රාව නිවැරදි දිශාවට පැදයාමට දායක වූ පිරිසට විශේෂ ස්තූතියක් පිරිනැමීමට මෙය අවස්ථාවක් කර ගන්නා බව ද විශේෂයෙන් සඳහන් කළේ ය.
සෞඛ්‍ය තොරතුරු තාක්ෂණ පද්ධතිය ස්ථාපිත කිරීමේදී ඒ වෙනුවෙන් අපරිමිත කැපවීමක්, සේවාවක් සිදුකළ සෞඛ්‍ය තොරතුරු සංනිවේදනය පිළිබඳ විශේෂඥ වෛද්‍ය උදිත පරේරා, රෝහල් රසායනාගාරයේ පටක විද්‍යා අංශයේ ප්‍රධානී පටකවේදී විශේෂඥ වෛද්‍ය සදලි ගුණරත්න යන මහත්ම, මහත්මීන් මෙහි දී විශේෂ ඇගයීමකට ලක් කළ අතර සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා විසින් ඔවුන් හට සමරු තිළිණ ප්‍රදානය කිරීම ද මෙහි දී සිදු විය.
රෝහලේ රෝගී සත්කාර සේවාවන් සිදුවන ආකාරය පිළිබදව සොයා බැලීම සඳහා අමාත්‍යවරයා රෝහල් පරිශ්‍රයේ විශේෂ නිරීක්ෂණයක නිරත වීමට ද පියවර ගනු ලැබී ය.
මෙම අවස්ථාවට සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම් විශේෂඥ වෛද්‍ය කුමාර වික්‍රමසිංහ, කොළඹ වෛද්‍ය පීඨයේ පීඨාධිපති මහාචාර්ය වජිර දිසානායක, රිජ්වේ ආර්යා ශික්ෂණ ළමා රෝහලේ අධ්‍යක්ෂ සහ සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය ජී. විජේසූරිය, හිටපු සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය ජයසුන්දර බණ්ඩාර යන මහත්වරුන් මෙන් ම විශේෂඥ වෛද්‍යවරුන්, වෛද්‍යවරුන් ,හෙද හෙදියන් ඇතුළු සියලු සෞඛ්‍ය වෘත්තීන් නියෝජනය කරමින් පිරිසක් ද සහාභාගි වූහ.