
සෞභාග්‍යවත් රටක් වෙනුවෙන් දළදා ප්‍රදර්ශනය
- CNL Reporter
- February 25, 2025
- පුවත්
- සෞභාග්‍යවත් රටක් වෙනුවෙන් දළදා ප්‍රදර්ශනය
- 0 Comments
ලෝකවාසී බෞද්ධ ජනතාව ජීවමාන බුදුන් සේ සලකා වන්දනාමාන කරන ශ්‍රී දන්ත ධාතූන් වහන්සේ සියැසින් දැකබලා ගැනීමට ලැබෙන්නේ දශකයට පමණ වරක් ය. මෙරට අවසන් වරට දළදා දැක්මක් සිදුකර තිබෙන්නේ 2009 වසරේදීය.
ඊට පෙර 1994 හා 2001 වසරවල දළදා ප්‍රදර්ශන පවත්වා තිබිණි. වසර 16කට පසු මෙම වසරේ යළි දළදා ප්‍රදර්ශනයක් පැවැත්වීම සඳහා ජනපති අනුර කුමාර දිසානායක මහතා කළ ඉල්ලීමකට මල්වතු අස්ගිරි උභය මහා විහාරීය මහානායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ දෙනම සහ දියවඩන නිලමේතුමන් එකඟතාව පළකර තිබේ. ඒ අනුව මෙම වසරේ සිංහල හා දෙමළ අලුත් අවුරුද්දෙන් පසු බක් මහේදීම දළදා ප්‍රදර්ශනයක් පැවැත්වීම සඳහා මේ වනවිට කටයුතු සූදානම් වෙමින් තිබෙන අතර එය දෙස් විදෙස් බෞද්ධ ජනතාවට අමන්දානන්දයට පත්වන පුවතක් බව නොරහසකි.
ශ්‍රී දළදා වහන්සේගේ පැවිදි භාරකාරත්වය මල්වතු අස්ගිරි උභය මහා විහාරීය මහානායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ දෙනම විසින් ද ගිහි භාරකාරත්වය දියඩවන නිලමේතුමන් විසින් ද හොබවනු ලබති. දළදා වහන්සේ වැඳපුදා ගැනීම සඳහා දළදා මැඳුරට යන අප වන්දනාමාන කරනු ලබන්නේ දළදා වහන්සේ තැන්පත් කර තිබෙන කරඬුවට ය. ප්‍රධාන කරඬුව අභ්‍යන්තරයට තවත් කරඬු හතක් පවතින අතර දළදා වහන්සේ තැන්පත් කර තිබෙන්නේ හත්වැනි කරඬුවේය. එහි අවසන් කරඬු ත්‍රිත්වයේ යතුරු මල්වතු අස්ගිරි මහනායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ දෙනම හා දියවඩන නිලමේ භාරයේ පවතියි. මේ නිසා දළදා වහන්සේ එම කරඬුවෙන් පිටතට වැඩම කිරීමට නම් මල්වතු අස්ගිරි මහනායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ දෙනම සහ දියවඩන නිලමේවරයා එකඟත්වයට පැමිණිය යුතුමය. හිටපු ජනපති රනිල් වික්‍රමසිංහ මහතාගේ පාලන සමයේ දී 75 වැනි නිදහස් සැමරුමට සමගාමීව දළදා ප්‍රදර්ශනයක් පැවැත්වීමට හිටපු අගමැති දිනේෂ් ගුණවර්ධන මහතා 2022 දෙසැම්බර් මාසයේ දී මල්වතු අස්ගිරි මහනායක ස්වාමීන්ද්‍රයන් වහන්සේලාගෙන් අවසර ඉල්ලා සිටියත් ඒ සඳහා අනුමැතිය නොලැබිණි.
හේමමාලා කුමරිය හා දන්ත කුමරු
අතීතයේ සිට රාජ්‍යත්වයේ සංකේතය සේ සලකමින් රජවරු දළදා වහන්සේ උදෙසා පූජෝපහාර දැක්වූ බවත් දළදා ප්‍රදර්ශනයක් පවත්වන්නට යන බව අසන්නට ලැබීමම බෞද්ධ ජනතාවට සතුට ගෙනදෙන කරුණකි. දළදා වහන්සේ උදෙසා වැඳුම් පිදුම් කළත් උන්වහන්සේ සියැසින් දැකබලා ගැනීමට ලැබීම බෞද්ධයන් සලකන්නේ අපමණ භාග්‍යයකි. අවසන් වරට දළදා ප්‍රදර්ශනයක් පැවැත්වූයේ 2009 වසරේ දීය. ඒ, ත්‍රස්තවාදය ක්‍රියාත්මක වෙද්දීය. එහිදී ලක්ෂ සංඛ්‍යාත ජනතාව දළදා වහන්සේ සියැසින් දැකබලා ගැනීමට මහනුවරට පැමිණ සිටියහ. පෙරවරු කාලයේ පැවැත්වෙන තේවා කටයුතු නිමකිරීමෙන් පසු දළදා වහන්සේ ප්‍රදර්ශනය කෙරෙන්නේ පස්වරු 1.30න් පසුය. පස්වරුවේ සිදුකරන තේවා කටයුතු ඉෂ්ටසිද්ධ කිරීම පිණිස යළි දළදා වහන්සේ පස්වරු 6.00 වනවිට වැඩසිටින කුටියේ තැන්පත් කළ යුතුය. මේ නිසා දළදා වහන්සේ දැක වැඳපුදා ගැනීම සඳහා කිලෝමීටර් ගණන් දිග පෝලිම්වල දින දෙක තුන රැඳී සිටින්නට ජනතාවට සිදුවේ.
බුද්ධ පරිනිර්වාණයෙන් පසු දළදා වහන්සේගේ හිමිකාරත්වය ලබා ගැනීම සඳහා සෑම රජවරයකුම බලවත් සේ උනන්දු වීම නිසා ප්‍රාදේශීය නායකයන් අතර යුද්ධ පවා ඇතිවූ බව ඉතිහාසයේ සඳහන්ය. ගුහසීව රජුගේ බෑනාවරුන් දෙදෙනකු ද දළදා වහන්සේ අත්කර ගැනීම සඳහා ගුහසීව රජු හා යුද වැදීමට තරම් මෙය බලවත් විය. දළදා වහන්සේ ලබා ගැනීම පිණිස තමන්ට එදිරිව සටන් කරන රජවරුන් බලවත් බව ක්‍රමයෙන් වටහා ගත් ගුහසීව රජු තමන් සටනින් පරාජය වුවහොත් වහා දළදාව රැගෙන සිංහල ද්වීපයට යෑම යෝග්‍ය බව දියණිය වූ හේමමාලාවන්ට හා බෑනණුවන් වූ දන්තකුමරුට දැනුම් දුන්නේය. ගුහසීව රජු සටනින් පරාජය වත්ම රජුගේ නියමය පරිදි දළදාව රැගෙන හේමමාලා කුමරිය හා දන්ත කුමරු බ්‍රාහ්මණ වේශයක් මවා ගනිමින් ලක්දිවට පැමිණීමට පිටත් වූහ. මෙම ගමන අතරමඟ ගිමන් හරිනු පිණිස දළදා වහන්සේ සහිත කරඬුව ගං ඉවුරේ වැලි දාගැබක තැන්පත් කොට ඒ අසල වූ රුක් සෙවණක නින්දට වැටුණහ. ගං ඉවුරේ තිබූ වැලි දාගැබෙන් සුදු බුදු රැස් විහිදෙනු දුටු රහතන් වහන්සේ නමක් හේමමාලා හා දන්ත යන යුවතිපතීන්ගෙන් කරුණු විමිසා ලක්දිවට යන ගමන අතරතුර කිසියම් දුෂ්කරතාවක් ඇතිවුවහොත් තමන් සිහිපත් කරන්නැයි දන්වා නික්ම ගියහ. ඒ මොහොතේ එහි පැමිණි පාණ්ඩුභාර නම් නාගයෙක් දළදා වහන්සේ වැඩහිඳි කරඬුව ගිල දමා නාග භවනට පලා ගියේය. රහතන් වහන්සේගේ වදන් සිහිකොට තමන්ට පිහිට වන්නැයි හේමමාලා හා දන්ත කුමරු ඉල්ලා සිටි අවස්ථාවේ යළිත් ඔවුන්ට දළදාව තැන්පත් කළ කරඬුව ලැබී තිබේ.
සමුදුර මධ්‍යයේදී දිව්‍ය නාගයන් පුද පූජා පවත්වමින් ගමනට බාධා කරනවිට රහත් තෙරනම ගුරුළු වෙස් මවාගෙන නාගයන් පලවා හැර නිරුපද්‍රිතව ඔවුනට ලංකාවට පැමිණීමට කටයුතු සැලැස්විය. මෙලෙස බලවත්වූ දුෂකරතා මධ්‍යයේ සමුදුර තරණය කොට ලක්දිවට පැමිණි මෙම යුවතිපති දෙපල එවකට ලක්දිව අනුරාධපුරය අගනුවර කර ගනිමින් රජකළ කිර්ති ශ්‍රී මේඝවර්ණ රජුට (රාජ්‍ය වර්ෂ 304-328) දළදාව රජුට බාර දුන්හ.
සත්‍යක්‍රියාව
දාඨා ධාතූන් වහන්සේ ශ්වේත වර්ණයෙන් බැබළුණු බව අසා දැන තිබූ රජු මෙය තරමක් දුඹුරු පැහැයෙන් යුක්තව පැවතීම නිසා සර්වඥයන් වහන්සේගේ ශ්‍රී මුඛයෙහිවූයේ නියම දංෂ්ට්රා ධාතුව දැයි සැක පහළ කර ගන්නට විය. රජු එසේ සිතත්ම දළදා වහන්සේ ප්රාතිහාර්ය පාමින් අහස ඉහළට ඇදී ගොස් සුදු බුදු රැස් විහිදුවන්නට විය. එසැණින් සැක දුරු කරගත් මේඝවර්ණ රජු සිංහාසනය සුවඳ පැනින් දෝවනය කර මහඟු ඇතිරිලා එළා සුදු නෙළුමින් සරසා ඒ මත දළදා වහන්සේ තැන්පත් කොට ගෞරව දැක්වීය. පටපිළි සිය ගණනකින් වැසූ කල්හි ඒ සියල්ල තුළින් මතුවූ දළදා වහන්සේ සුදු බුදු රැස් විහිදුවමින් යළිත් ප්රාතිහාර්ය පාන්නට විය. ඉන් තවත් පැහැදීමට පත් රජු දේවානම් පියතිස්ස රජ දවස කළ ධම්මචක්ක ගෙය නම් මහ ප්‍රාසාදයෙහි දළදාව තැන්පත් කරවූයේ දෝතින් වැඩමවා ගෙන පැමිණය. ඉනික්බිතිව රාජ්‍යත්වයේ සංකේතය බවට දළදා වහන්සේ පත් කොට භික්ෂූන් වහන්සේ සම්බන්ධ කර ගනිමින් දළදා වහන්සේට පුද පූජා පවත්වන්නට යෙදුණි. එතැන් පටන් සෑම රජ කෙනෙක් ම ස්වකීය මාලිගාවේම තබමින් පුද පූජා පෙළහර පවත්වමින් බුද්ධෝපස්ථානය කළ ආකාරය ඓතිහාසික තොරතුරුවල සඳහන්ය.
පසුකාලීනව මෙරට රාජධානිය අනුරාධපුරයෙන් පොලොන්නරුවට මාරු වීමත් සමඟ රාජ්‍යයට උරුමකම් කී රාජකීයයන් අතර අරගල ඇති වන්නට විය. මෙම අවස්ථාවේ මහාභරණ රජුගේ මෑණියන් වූ සුගලා දේවිය දළදාව දකුණු පළාතට ගෙනගොස් අරක්ෂා කළාය. මහ පරාක්‍රමබාහු රජු සියලු සතුරු බලමුළු පරාජය කර රට එක්සේසත් කළ කල්හි රාජ්‍යත්වය සම්පූර්ණ වන්නේ දළදාව ලබාගතහොත් පමණක් යැයි තීරණය කොට සුගලා දේවිය සටනින් පරදා, දළදාව හිමිකර ගත්තේය.අනතුරුව දකුණේ සිට මහ පෙරහරකින් දළදා වහන්සේ පොලොන්නරුව රාජධානිය වෙත වැඩම කරවීමට රජු කටයුතු කර තිබේ. මෙම ගමන අතරතුර මහා අකාල මේඝයක් කඩා වැටෙන්නට විය. තමා කරන්නේ මහ පින්කමක් යැයි සිතූ රජු එය මෙනෙහි කරමින් සත්‍යක්‍රියාවක නිරත වූයේය. එකල පෙරහර මඟහැර සෙසු ප්‍රදේශවලට පමණක් බලපාන අයුරින් අකාල මේඝය ක්‍රියාත්මක වූයේය. අවට ගංගා, ඇළදොළ ජලයෙන් පිරී ගියේය. දළදාව පොලොන්නරුවට වැඩම කරන අතරතුරවූ මෙම සිදුවීමෙන් දළදා වහන්සේ කෙරෙහි රජු තුළවූ ගෞරවය තවත් වැඩිවන්නට විය. වික්‍රමබාහු රජුගෙන් පසු රාජ්‍යත්වයට පත් දෙවන පණ්ඩිත පරාක්‍රමබාහු රජතුමා දඹදෙණිය අග නගරය කොට රජකමට පත්විය. සිය සහෝදර බුවනෙකබාහු කුමරුන් යුවරජකමට පත්කර ද්‍රවිඩයන් සමඟ සටනට යන්නට මත්තෙන් දළදා වහන්සේ උදෙසා පූජාවක් පැවැත්විය යුතු යැයි තීරණය කළ රජු, දළදා වහන්සේත් පාත්‍රා ධාතූන් වහන්සේලාත් බෙලිගලින් දඹදෙණියට වැඩම කරවීය. දළදා වහන්සේ වඩා හිදුවීම පිණිස රමණීය ආසනයක් ද උන්වහන්සේ රැඳවීම සඳහා මහා මාණික්‍යයකින් ආධාරකයක් ද කරවූ රජු එය තැන්පත් කරනු පිණිස මහ මාණික්‍යමය කරඬුවක් ද තනවා තිබේ. එහි දන්ත ධාතූන් වහන්සේ තැන්පත් කිරීමට ප්‍රථම මහා සංඝරත්නය ඉදිරියේ සත්‍යක්‍රියාවක් කළ රජු, දළදා වහන්සේ, මාහට ප්රාතිහාර්යයක් දක්වන්නේ නම් මැනවියි ආයාචනයක් කළේය.
රජු සත්‍යක්‍රියාව අවසන් කරත්ම දළදා වහන්සේ රජුගේ අතින් අහසට නැඟී දසත ඒකාලෝක කරමින් සර්වඥ රූපය මවා යළි රජු දෝතටම වැඩියහ. රැස්ව සිටි ජනතාව සාධුකාර නඟද්දී රජු ඔටුන්න සමඟ සිවුසැට අභරණ හැරපියා දළදා වහන්සේට පූජාකොට ධාතූන් වහන්සේ කරඬුව තුළ තැන්පත් කළේය. එතැන් පටන් සත් දිනක් අඛණ්ඩව දළදා වහස්සේ උදෙසා මහත්වූ පුජෝපහාර දැක්වූ බව ඉතිහාසසයේ සඳහන්ය. දඹදෙණියේ රජකළ දෙවන පණ්ඩිත පරාක්‍රමබාහු රජ දවස දීර්ඝකාලීන නියඟයක් හේතුවෙන් රටවැසියෝ මහත්සේ පීඩාවට පත්වූහ. බෝග වගාවන් පාළුවට ගොස් ජනතාව දැඩි අසරණ තත්ත්වයට පත්ව සිටයදී රජු දළදා වහන්සේ පෙරහරින් වැඩමවා වැසී වසීයි සත්‍යක්‍රියා කළේය. එවිට මහ වැසි ඇදවැටී බව බෝග සරුවී රට සශ්‍රීකත්වයට පත්විය. මෙලෙස ශ්‍රී දළදා වහන්සේ රාජ්‍යත්වයේ සංකේතය බවට පත්ව රාජධානියෙන් රාජධානියට වැඩම කරවීමට රජවරු පියවර ගත්හ. සිංහලයේ අවසන් රාජධානිය වූ කන්ද උඩරට රාජධානියේ රජකළ කීර්ති ශ්‍රී රාජසිංහ රජු දළදා වහන්සේ කෙරෙහි අපමණ බැතියෙන් පුද පූජා කළ ශ්‍රද්ධාවෙන් අනූන රජෙකි. සිය දිගු කෙස් වැටිය කපා ඉන් මුස්නක් බැඳ දිනපතා දළදා කුටිය අමදින්නට රජු ක්‍රියා කළේය. තමන් සතු සියලු සම්පත් දළදා වහන්සේ උදෙසා පූජා කළ රජු දෛනික පුද පූජාවන් ද නොපිරිහෙළා ඉටු කරමින් කටයුතු කළ රජු දළදා වහන්සේගේ කිසියම් ප්රාතිහාර්යයක් දකිනු මනාප විය. දළදා තේවාව බාරව සිටි නාහිමියන්ගේ ද අනුශාසනා ලබා ගනිමින් රජු සුවඳ පැන් ගල්වා රාජභරණ පැලඳ දළදා සමිඳුන් වැඩ හිඳිනා ගන්ධ කුටියට ඇතුළු වෙද්දී කුටිය සුදු බුදු රැසින් ඒකාලෝකව තිබෙනු දුටුවේය. බුද්ධානුලම්භන ප්‍රීතියෙන් ඔදවැඩුණු රජ තමන් පැලඳ සිටි සියලු රන්, රිදී අභරණ එමොහොතෙහිම දළදා සමිඳුන්ට පූජා කළේය.
දළදා වතුර
කන්ද උඩරට අවසන් රජු වූ ශ්‍රී වික්‍රමරාජසිංහයන් ඉංග්‍රීසී පාලකයන්ගේ ග්‍රහණයට ගැනීමත් සමඟ 1815 ඓතිහාසික මහමළුවේදී අත්සන් තැබුණු උඩරට ගිවිසුමත් සමඟ නිල වශයෙන් රට ඉංග්‍රීසීන්ගේ යටත්විජිතයක් බවට පත්විය. ගිවිසුම් ප්‍රකාරව ඉංග්‍රීසීන් කටයුතු නොකිරීම හේතුවෙන් උරණවූ සිංහල නායකයන් 1818දී දියත් කළ ඌව වෙල්ලස්ස කැරැල්ල මැඬපවත්වා මහ ජනසංහාරයක් සිදුකළ ඉංග්‍රීසීහු එතැන් සිට වසර 10ක් දළදා පෙරහර හෝ දළදා පෙරහර පැවැත්වීමට ඉඩ නොදුන්හ. ඉංග්‍රීසි ආණ්ඩුකාරවරයාගේ නියෝගයක් ලෙසින් මෙය ක්‍රියාත්මක වූයේ දළදා වහන්සේ කෙරෙහි සිංහල ජනතාව දැක්වූ අපමණ ගෞරවය සම්බන්ධව ඇතිවූ කෝපයෙනි. මේ නිසාම උඩරට වැසියෝ කල් ගෙවූයේ මහත්වූ දුක් දොම්නස් කන්දරාවක් දරාගෙනය. මෙම කාලය තුළ වැසි නොමැතිව මහා දුර්භික්ෂයක් ඇතිවිය. ජනතාව ඉන් අපමණ පීඩාවට පත්වූහ. දළදා පෙරහර නොපැවැත්වීම මෙම ව්‍යසනයන්ට හේතු බව පෙන්වා දුන් රට වැසියෝ දළදා ප්‍රදර්ශනයක් හෝ දළදා පෙරහරක් පවත්වා මිස මෙම ව්‍යසනයෙන් ගැලවී යා නොහැකි බව ඉංග්‍රීසීන්ට පෙන්වා දුන්හ. ඊට පාලකයන් කන් නොදුන් කළ ඔවුහු උද්ඝෝෂණ කරන්නට වූහ. අවසානයේ එඩ්වඩ් බ්‍රාන්ස් ආණ්ඩුකාරවරයා කිසිවක් කරකියාගත නොහැකිව 1828 මැයි මස 29 දිනට යෙදුණු වෙසක් පුර පසළොස්වක පොහෝ දින දළදා ප්‍රදර්ශනයක් සමඟ පෙරහරක් පැවැත්වීමට අවසර දුන්නේය. මෙය ඉංග්‍රීසී පාලනයට රට නතුවීමෙන් අනතුරුව පැවැත්වූ ප්‍රථම දළදා ප්‍රදර්ශනය විය. දළදා වහන්සේ ශ්‍රී දළදා මාලිගාවේ වැඩසිටින මාලිගයෙන් මහමළුවට වැඩමවා පෙරහර පැවැත්වීමත් සමඟ ධාරානිපාත වැසි ඇද වැටී මුළු නුවරම ජලයෙන් යටවූ බවත් ඉතිහාසයේ දැක්වෙයි. සිඳී ගොස් තිබූ ගංඟා, ඇළ දොළ, වැව්, අමුණු සියල්ල ජලයෙන් පිරී ගොස් මහ ජල කඳක් බෝගම්බර වැවට පැමිණීමෙන් වැව පිටාර ගැලූ අතර එය “දළදා වතුර” නමින් ඉතිහාසයේ සඳහන්ව ඇත. මෙය දළදා වහන්සේගේ ආශ්චර්යවත් ප්රාතිහාර්යයක් බව ඉංග්‍රීසී පාලකයෝ පවා පිළිගත්හ.
වර්ෂ 1998 ජනවාරි මස 25 වැනි දින උදෑසන කොටි ත්රස්තවාදීහු බෝම්බ ඇටවූ ලොරියක් ශ්‍රී දළදා මාලිගාවේ ප්‍රධාන වාහල්කඩ ඉදිරිපිට ගැටීමට සලස්වා පුපුරුවා හැරීමෙන් මහා විනාශයක් සිදුවිය. මහ වාහල්කඩ, සඳකඩපහණ, පත්තිරිප්පුව, හේවිසි මණ්ඩපය ඇතුළු ශ්‍රී දළදා මැඳුරේ අභ්‍යන්තර ස්ථාන රැසකට මෙම බෝම්බ ප්‍රහාරයෙන් දැඩි හානිවූ අතර දළදා වහන්සේට හානියක් සිදුකොට සිංහල ජනතාව ප්‍රකෝප කිරීම ත්රස්තවාදීන්ගේ අරමුණ විය. දළදා සමිඳුන් උදෙසා උදෑසන තේවා කටයුතු සිදු කිරීමේ සූදානමින් මහ සංඝරත්නය දළදා සමිඳුන් වැඩ සිටින කුටියේ රැඳී සිටියදී මෙම බෝම්බය පුපුරා ගිය අතර ශ්‍රී දළදා මාලිගාවේ සියලු ස්ථානවලට ඉන් බලපෑම් එල්ල වුවත් දළදා හාමුදුරුවන් වැඩසිටි ගන්ධ කුටියට අල්පමාත්‍ර වූ හානියක් සිදු නොවීම සැමගේ විමතියට හේතු විය.
අසේල කුරුළුවංශ