
හරි පාරෙන් ජපන් යන්න (VIDEO)
- Sujeewa Senerath
- September 1, 2025
- පුවත්, සංචාරක සහ චාරිකා
- 0 Comments
ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය, ජපන් ජාත්‍යන්තර සහයෝගිතා ආයතනය (JAICA) හා ශ්‍රී ලංකාවෙන් ජපානයට ශ්‍රමිකයින් යැවීමේ විධිමත් ක්‍රමවේදය ශක්තිමත් කිරිමේ ව්‍යාපෘතිය එක්ව සංවිධානය කල ජපන් රැකියා පොළ වැඩසටහනක් හා විශේෂ දැනුවත් කිරීමේ වැඩසටහනක් පසුගිය (8/30) දින කාර්යාංශයේ බත්තරමුල්ල ප්‍රධාන කාර්යාලයේදී පැවැත්විණි.
මෙහිදී නිවැරදි මාර්ගයෙන් ජපන් රැකියාවක් සඳහා යොමුවන ආකාරය පිළිබඳව රැකියා අපේක්ෂිතයින් දැනුවත් කළ අතර, ඊට අමතරව, ශ්‍රි ලාංකිකයින්ට අයදුම් කළ හැකි ජපන් රැකියා ක්ෂේත්‍ර, ඊට අවශ්‍ය මූලික සුදුසුකම් වැනි කරුණු පිළිබඳව උදෑසන හා දිවා වශයෙන් සැසිවාර දෙකක් ඔස්සේ රැකියා අපේක්ෂිතයින් දැනුවත් කරන ලදී.
මෙම දැනුවත් කිරීමේ වැඩසටහන සඳහා JAICA ආයතනය, IM Japan ආයතනය ඇතුළු ජපන් රැකියා ඇණවුම් ලැබී ඇති බලපත්‍රලාභී රැකියා නියෝජිතායතන රැසක් හා ජපන් භාෂා පුහුණු පාසල් කිහිපයක්ද සහභාගි විය. එහිදී සුදුසුකම් සපුරා ඇති තරුණ තරුණියන්ට ජපන් රැකියා සඳහා අයදුම් කිරීමට හා අවශ්‍ය තොරතුරු ලබාගැනීමටත්, ජපන් භාෂාව හැදෑරීමට අපේක්ෂා කරන තරුණ තරුණියන්ට භාෂා පාඨමාලාවන් සඳහා ලියාපදිංචිවීමටත් අවස්ථාව හිමිවිය.
මීට අමතරව ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය මගින් ලබාදෙන ජපන් රැකියා අවස්ථා පිළිබඳවද අද දින සහභාගි වූ රැකියා අපේක්ෂිතයින් දැනුවත් කරන ලදී.
මෙම අවස්ථාවට ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරිවරුන් වන ජගත් බටුගෙදර, එච්.ඩබ්.සමන්ත යන මහත්වරුන්ද, JAICA ආයතනයේ විශේෂ නියෝජිත ඉටෝ යුකිකෝ මෙනවිය (Ms. Ito Yukiko), JAICA ආයතනයේ අධ්‍යක්ෂක (SSDJ) යූරි ටකානෝ මෙනවිය (Ms.Yuri Takano) ඇතුළු පිරිසක් එක්ව සිටියහ.
කාර්යාංශය විසින් ජපන් රැකියා දැනුවත් කිරිමේ වැඩසටහන් දීප ව්‍යාප්තව පවත්වමින් සිටින අතර, එහි තෙවන පියවර මෙසේ බස්නාහිර පළාත කේන්ද්‍ර කරගනිමින් පැවැත්වූ අතර, ඉදිරියේදී අනුරාධපුර දිස්ත්‍රික්කයේද මෙවැනි දැනුවත් කිරීමේ වැඩසටහනක් පැවැත්වීමට කටයුතු සංවිධානය කොට තිබේ. මීට පෙර බදුල්ල හා තංගල්ල, යන ප්‍රදේශවලද සාර්ථකව මෙවැනි ජපන් රැකියා පොළ වැඩසටහන් හා විශේෂ දැනුවත් කිරීමේ වැඩසටහන් සංවිධානය කරන ලදී.