හිටපු කථානායකගේ වාහන 9ක් මාස 9කට ලක්ෂ 334ක තෙල් බීලා – ඇමැති බිමල් රත්නායක

හිටපු කථානායකවරයා පසුගිය වසරේ මාස නවයක කාලයක් තුළ වාහන නවයක් භාවිත කරමින් ඉන්ධන සඳහා රුපියල් තුන්කෝටි තිස් හතර ලක්ෂයක් වැය කර ඇතැයි සභානායක, අමාත්‍ය බිමල් රත්නායක මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (27) ප්‍රකාශ කළේය.

එමෙන්ම හිටපු නියෝජ්‍ය කථානායකවරයා පාවිච්චි කළ වාහන හය සඳහා එම කාල සීමාවේදී ඉන්ධනවලට රුපියල් එක්කෝටි තිස්පන් ලක්ෂයක් වැය කර ඇති බව ද හෙතෙම පැවසීය.

හිටපු නියෝජ්‍ය කාරක සභා සභාපතිවරයා පාවිච්චි කළ වාහන හතර සඳහා ඉන්ධන වියදම රුපියල් හැත්තෑ දෙකක් බව ද සභානායකවරයා සඳහන් කළේය.

සභානායක, අමාත්‍ය බිමල් රත්නායක මහතා මේ බව සඳහන් කළේ 2025 වසර සඳහාවන අයවැය කාරක සභා අවස්ථාවේ විවාදය සඳහා ඊයේ (27) එක්වෙමිනි.

වැඩිදුරටත් අදහස් දැක්වූ සභානායකවරයා මෙසේ ද පැවසීය.

“වත්මන් කථානායකවරයා නිල නිවාසය පාවිච්චි කරන්නෙ නැහැ. නමුත් නිසි ලෙස නඩත්තු වෙනවා. පසුගිය වසර දක්වා මේ නිල නිවසේ කාර්ය මණ්ඩලය 70ක් සිටියා. හිටපු කථානායක, නියෝජ්‍ය කථානායක, නියෝජ්‍ය කාරක සභා සභාපති ඒ විදියට කටයුතු කළත් වත්මන් කථානායක, නියෝජ්‍ය කථානායක, නියෝජ්‍ය කාරක සභා සභාපති කොහොමද මේවා පාවිච්චි කරන්නෙ? වත්මන් කථානායකවරයාගේ පසුගිය මාසයේ ඉන්ධන වියදම රුපියල් 218000යි.

හිටපු කථානායකවරයා මාසයකට රුපියල් ලක්ෂ 40ක පමණ වැය කළා. වත්මන් නියෝජ්‍ය කථානායකතුමාගේ මාසික තෙල් වියදම රුපියල් 23000යි. වත්මන් නියෝජ්‍ය කාරක සභා සභාපතිගේ මාසික තෙල් වියදම රුපියල් 81000යි. හිටපු අයගෙ තෙල් වියදම් දෙස බලද්දි හිතෙනවා ෂෙඩ් එකක් කළා ද කියලා. මේ අය ඉන්නෙ ෆුල් සූට් ගහලා ජෙන්ට්ල්මන්ලා වගේ. හැබැයි කන්නෙ බොන්නේ ජනතාවගේ සල්ලිවලින්. කථානායක බංගලාවේ 2023 වසරේ කෑම වියදම රුපියල් ලක්ෂ විසි හයයි. පසුගිය වසරේ කෑම වියදම රුපියල් ලක්ෂ 32යි. කාර්ය මණ්ඩලයේ සමහර සේවක මහත්තුරු දන්නවා හිටපු අය පාර්ලිමේන්තුවට බිල් දාලා ගෙවල්වලට කෑම ගෙන ගියා. ඒ තරම් තර්ඩ් ක්ලාස්. වත්මන් කථානායකවරයාගේ ජනවාරි වියදම රුපියල් තිස් තුන්දහසයි. හිටපු අය එහෙම පාවිච්චි කළාට අපිට නම් ලැජ්ජයි මහජන ධනය ඒ විදිහට පාවිච්චි කරන්න‍” යැයිද කීවේය.

Leave A Comment