හිටපු ජනපතිවරුන්ට දුන් ත්‍රිවිධ හමුදා ආරක්ෂාව ඉවතට
- 5opn1
- December 18, 2024
- දේශපාලන
- හිටපු ජනපතිවරුන්ට දුන් ත්‍රිවිධ හමුදා ආරක්ෂාව ඉවතට
- 0 Comments
බිරියකටත් කෝටි 145ක් වැය කරලා
හිටපු ජනාධිපතිවරුන්ට දී ඇති ත්‍රිවිධ හමුදා ආරක්ෂාව ලබන සතියේ සිට ඉවත් කිරීමට රජය තීරණය කර ඇති බව මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාල මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (17) ප්‍රකාශ කළේය. මින් ඉදිරියට හිටපු ජනාධිපතිවරුන්ට ලබා දෙන්නේ පොලිස් ආරක්ෂාව පමණක් බව ඇමැතිවරයා අවධාරණය කළේය.
පසුගිය මාස එකොළහමාරක කාලය සඳහා පමණක් හිටපු ජනාධිපතිවරුන්ගේ සහ හිටපු ජනාධිතිවරයකුගේ බිරියගේ ආරක්ෂාව වෙනුවෙන් රුපියල් එකසිය හතළිස් හතර කෝටි අසූ ලක්ෂයක් වැය කර ඇති බව ද ඔහු අනාවරණය කළේය.
මෙම තත්ත්වය මහජන මුදල් නාස්ති කිරීමක් බවත් හිටපු ජනාධිපතිවරුන්ගේ ආරක්ෂාව අඩු කිරීමට පියවර ගත්තේ මහින්ද රාජපක්ෂ මහතා ඉලක්ක කර නොවන බවත් ප්‍රකාශ කළේය. අමාත්‍ය ආනන්ද විජේපාල මහතා මේ බව ප්‍රකාශ කළේ පාර්ලිමේන්තුවේදී ඊයේ (17) විශේෂ ප්‍රකාශයක් සිදු කරමිනි.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍ය ආනන්ද විජේපාල මහතා මෙසේ ද පැවසීය.
හිටපු ජනාධිපතිවරුන්ගේ ආරක්ෂාව අඩු කිරීමට පියවර ගත්තේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඉලක්ක කරගෙන නෙමෙයි. යම් නිර්ණායක අනුවයි, ඒ පියවර ගත්තේ. ප්රතිමිගත කිරීමක් තමයි කළේ. ඒ සම්බන්ධයෙන් කරන චෝදනා ප්‍රතික්ෂේප කරනවා. අදටත් මහින්ද රාජපක්ෂ මහතාට පොලිසීයේ 60ක්, ත්‍රිවිධ හමුදාවේ 228ක් ආරක්ෂාව සපයනවා. මෛත්‍රිපාල සිරිසේන හිටපු ජනාධිපතිවරයාට ත්‍රිවිධ හමුදාවේ 4ක් සහ පොලීසියේ 60ක් යොදවා සිටිනවා. හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට ත්‍රිවිධ හමුදාවේ 188ක් සහ පොලීසියේ 17ක් ද හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට හමුදාවේ 57ක් සහ පොලීසියේ 60ක් ආරක්ෂාව සපයනවා. හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මියට පොලීසියේ 60ක් හා හිටපු ජනාධිපති රණසිංහ ප්‍රේමදාස මහතාගේ බිරිය හේමා ප්‍රේමදාස මහත්මියට පොලීසියේ 10ක් යොදවා තිබෙනවා.
මෙම වසරේ මාස එකොළහමාරක කාලයේදී මහින්ද රාජපක්ෂ මහතාගේ ආරක්ෂාව වෙනුවෙන් ආයතන තුනක් කටයුතු කර තිබෙනවා. ත්‍රිවිධ හුමුදාව පොලීසිය හා ජනාධිපති කාර්යාලය ඒ ආයතන තුනයි. ත්‍රිවිධ හමුදාව මිලියන 328ක්, පොලීසිය මිලියන 327ක්, ජනාධිපති කාර්යාලය මිලියන 55ක් වශයෙන් මිලියන 710ක් මේ කාලය තුළ වැය කර තිබෙනවා. ඒ වගේම මේ කාලයේදී හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසෙන් වෙනුවෙන් ත්‍රිවිධ හමුදාව මිලියන 6ක්, පොලීසිය මිලියන 185ක් හා ජනාධිපති කාර්යාලය මිලියන 16ක් වශයෙන් මිලියන 207ක් වැය කර තිබෙනවා. ඒ වගේම ගෝඨාභය රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා සඳහා ත්‍රිවිධ හමුදාව මිලියන 258ක් පොලීසිය මිලියන 39ක් හා ජනාධිපති කාර්යාලය මිලියන 10ක් ලෙස මිලියන 307ක් වැය කර තිබෙනවා.
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහට පසුගිය මාස තුන වෙනුවෙන් ත්‍රිවිධ හමුදාව මිලියන 19ක්, පොලීසිය මිලියන 60ක් ජනාධිපති කාර්යාලය මිලියන 3ක් ලෙස මිලියන 82ක් ද හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක වෙනුවෙන් පොලීසිය මිලියන 110ක් හා හිටපු ජනාධිපති රණසිංහ ප්‍රේමදාස මහතාගේ බිරිය වෙනුවෙන් පොලීසිය මිලියන 30ක් හා ජනාධිපති කාර්යාලය මිලිනය 3ක් වැය කර තිබෙනවා.
ජනතාව දැඩි පීඩාවකින් සිටින මෙවැනි අවස්ථාවකත් මෙවැනි මුදලක් වැය කර තිබෙනවා. අපි මේ සම්බන්ධයෙන් කටයුතු කරන්නේ දැඩි අවධානයකින් හා නිර්ණායක මත පදනම්වයි.
මෙතරම් හමුදාවක් මේ අයට අවශ්‍ය වෙන්නේ සුනඛයන් බලා ගන්නද නාවන්නද නැත්නම් උන් අසනීප වුණාම ප්‍රතිකාර සඳහා ගෙන යන්නද කියලා අහන්න වෙනවා. මොකද සමහර සෙබළුන් මේ කාර්යයන් සඳහා යෙදවූ බව ජනතාව දන්නවා. කවුරු කන් කෙඳිරි ගෑවත් මේ සම්බන්ධයෙන් අපි නිසි පියවර ගන්නවා. ඒ අනුව ලබන සතියේ සිට ත්‍රිවිධ හමුදාව ඉවත් කරනවා. ඉන්පසු මාස හයෙන් හයට කරන තක්සේරු අනුව ආරක්ෂාව යෙදවීමට පියවර ගන්නවා. මේ ගන්නා ක්‍රියාමාර්ගයෙන් අවම වශයෙන් වසරකට රුපියල් මිලියන 1200ක් ඉතිරි කර ගැනීමට හැකි වෙන බව විශ්වාස කරනවා.
මින් ඉදිරියට මහින්ද රාජපක්ෂ, මෛත්‍රිපාල සිරිසේන හා රනිල් වික්‍රමසිංහ යන හිටපු ජනාධිපතිවරුන්ට පොලීසියේ හැටක් බැගින් දී ජනාධිපති කාර්යාලයේ වාහන තුනක් සහ පොලීසියේ වාහනයක් ලබා දෙනවා.
ගෝඨාභය රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයාට පොලීසියේ 22ක් පොලිසියේ වාහනයක් හා ජනාධිපති ලේකම් කාර්යාලයේ වාහන තුනක් ලබා දෙනවා. ඒ වගේම චන්ද්‍රිකා බණ්ඩාරනායක හිටපු ජනාධිපතිවරිය වෙනුවෙන් පොලිසියේ 60ක්, පොලිසියේ වාහනයක් සහ ජනාධිපති ලේකම් කාර්යාලයේ වාහන තුනක් යොදවනවා. හිටපු ජනාධිපති බිරිය හේමා ප්‍රේමදාස වෙනුවෙන් පොලීසියේ 10ක් ජනාධිපති ලේකම් කාර්යාලයේ වාහන දෙකක් සහ පොලීසියේ වාහනයක් යොදවන්න තීරණය කර තිබෙනවා.