හිමෝෆීලියා රෝගීන්ට අවශ්‍ය ඖෂධ දෙකක් රෝහල්වල හිඟයි
- 5opn1
- November 13, 2024
- පුවත්
- හිමෝෆීලියා
- 0 Comments
ඖෂධ මිලදී ගැනීමේ ගැටලුවක් හේතුවෙන් ‘හිමෝෆීලියා’ රෝග පාලනයට ලබාදෙන Factor VIII සහ Emicizumab නමැති ඖෂධ මෙරට සෞඛ්‍ය පද්ධතිය තුළ ප්‍රමාණවත් තරම් නොමැතිවීමෙන් රෝගී ජීවිත අවදානමට ලක්ව ඇත.
රුධිරය කැටිගැසීමට බලපාන ප්‍රධාන සාධකයක් වන ‘අටවන සාධකය’ නොමැතිවීම නිසා ඉතා කුඩා සීරීමකින් පවා විශාල රුධිර ගලනයක් නිර්මාණය වීම ‘හිමෝෆීලියා රෝග ලක්ෂණයක් වන බැවින් එම තත්ත්වයන් පාලන කිරීම සඳහා අදාළ ඖෂධ අත්‍යවශ්‍ය බව වෛද්‍යවරු සඳහන් කරති.
පසුගිය කාලයේදී මෙරට රෝහල් සඳහා අටවන සාධකය මිලදී ගෙන ඇතත් එහි ගුණාත්මකභාවය සම්බන්ධව විශේෂඥ වෛද්‍යවරුන් ප්‍රශ්න කිරීම නිසා එම ඖෂධය අදාළ සමාගමෙන් මිලදී ගැනීම නතර කර ඇති බව වාර්තා වේ.
හිමෝෆීලියා රෝගීන් සඳහා ලොව පුරා භාවිත කරන Emicizumab ඖෂධය අඩංගු එක් කුප්පියක් මිලදී ගැනීමට ඇමෙරිකානු ඩොලර් 1700ක් වියදම් වන බැවින් සෞඛ්‍ය අමාත්‍යාංශය මෙතෙක් එම ඖෂධ මිලදී ගැනීමට කැමැත්ත ලබාදී නැතැයිද පැවසේ.
සුජීව තත්සර