හෘද රෝගීහු හාරදහසක් කරාපිටියේ හදවත් සැත්කම් ලිස්ට් එකේ

ගාල්ල කරාපිටිය ජාතික රෝහලේ හෘද සහ උරස් කුහර ඒකකය තුළ හෘද සැත්කම් කරවා ගැනීම සඳහා රෝගීන් 4000කට අධික සංඛ්‍යාවක් ලියාපදිංචි වී සිටින බව කරාපිටිය ජාතික රෝහලේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය එස්.පී.යු.එම්. රංගා මහතා පවසයි.

ඒ අනුව හෘද සැත්කම් සඳහා 2025 වසරේ කරාපිටිය රෝහලේ හෘද හා උරස් කුහර ඒකකයේ ලියාපදිංචි වී සිටින රෝගියකුට වසර තුනක් පමණ බලාසිටීමට සිදුව ඇත. මේ පිළිබඳව අදහස් දක්වමින් කරාපිටිය ජාතික රෝහලේ අධ්‍යක්ෂවරයා මෙසේද කීවේය.

“හෘද හා උරස් කුහර ඒකකය තුළ ශල්‍යාගාර තුනක් තියෙනවා. නමුත් භාවිත කරන්නේ ශල්‍යාගාර දෙකක් පමණයි. හෘද හා උරස් කුහර පිළිබඳ විශේෂඥ ශල්‍ය වෛද්‍යවරුන් 03 දෙනකු ඉන්නවා. නමුත් ශල්‍යාගාර තුනම එකවිට ප්‍රයෝජනයට ගන්න බැහැ. මාසයකට හෘද සැත්කම් 35ක් විතර කරනවා. වසරකට හෘද සැත්කම් 350ක් 400ක් අතර සංඛ්‍යාවක් තමයි සිදුකරන්නේ. නිර්වින්දන වෛද්‍යවරු තුන් දෙනකු අවශ්‍ය වුවත් ඉන්නේ දෙදෙනයි. එක් අයකු කොන්ත්‍රාත් පදනම මත තමයි බඳවාගෙන තියෙන්නේ. හෘද හා උරස් කුහර පිළිබඳ විශේෂඥ වෛද්‍යවරුන් දෙදෙනකුට පමණයි සහාය වෛද්‍යවරුන් ඉන්නේ. වෛද්‍යවරුන් 15 දෙනකු අවශ්‍ය වුවත් ඉන්නේ වෛද්‍යවරු 08 දෙනකු පමණයි. විශේෂඥ වෛද්‍ය නාමල් ගමගේ මහතා ඉන්නා විට ඔහු දිනකට හෘද සැත්කම් 04ක් විතර කළා. ඔහුගේ පළපුරුද්ද අනුව මාසයකට හෘද සැත්කම් 35ක් පමණ සිදුකළා.”

කෙසේ වුවද පුද්ගලික රෝහලකදී හෘද සැත්කමක් කරවා ගැනීමට රෝගියකු වැය කරන මුළු මුදලින් සියයට 36ක් පමණ බදු මුදල් වශයෙන් රජයට ගෙවිය යුතුව ඇති බව විශ්‍රාමික හෘද හා උරස් කුහර පිළිබඳ විශේෂඥ වෛද්‍යවරයෙක් සඳහන් කළේය.

ගාල්ල -ලලිත් චාමින්ද සහ එස්.කේ. කළුආරච්චි

 

Leave A Comment