
159 ක් මොකටද, ඇත්තටම?
- Sujeewa Senerath
- May 2, 2025
- CNL සතියේ දේශපාලන විවරණය
- akd, weekly political analyzes
- 0 Comments
යම් පක්ෂයකට පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන් 113 ක් සිටියොත් හැලහැප්පීම් නැතිව ආණ්ඩුවක් පවත්වාගෙන යා හැකිය. චන්ද්‍රිකා බණ්ඩාරනායක එවැනි යාන්තම් පිරිමැසෙන සීමිත පිරිසක් සමග සෑහෙන කාලයක් ආණ්ඩුවක් කරගෙන ගියාය. 1994 ඇගේ පාර්ලිමේන්තුව තුළ ඈට තිබුණේ ආසන 114 ක් පමණි. එවැනි ප්‍රමාණයක් ඕනෑම පක්ෂයකට එදිනෙදා ආණ්ඩුකරණයක් සඳහා සෑහුනත්, ‘පෙරළිකාරී’ වෙනස්කම් කිරීමට එය නොසෑහෙයි.
මන්ද යත්, එවැනි වෙනස්කම් සඳහා පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක් හෙවත් මන්ත්‍රීවරුන් 150 ක සහයෝගයක් අවශ්‍ය කරන බැවිනි. නැවතත් චන්ද්‍රිකා බණ්ඩාරනායක උදාහරණයට ගත්තොත්, විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමට තුනෙන් දෙකක් ඈට අවශ්‍ය වූ අවස්ථාවේ (එනම්, ඇගේ පාලන කාලයේ අවසාන භාගයේ) එදා විපක්ෂයේ සහයෝගය නොලැබුණු නිසා ඈට එය කළ නොහැකි විය. (කළ හැකිව තිබුණු අවස්ථාවේ ඇගේ පැත්තෙන් ඒ වෙනුවෙන් සිදු විය යුතුව තිබූ මැදිහත්වීම ප්‍රමාණවත් පරිද්දෙන් සිදු නොවීම පිළිබඳ වෙනම කතාවක් තිබේ.)
ජේ. ආර්. ජයවර්ධන අපේ ආණ්ඩුක්‍රමය උඩුයටිකුරු කරමින් විධායක ජනාධිපති ක්‍රමය ඇති කෙළේ, 1977 මැතිවරණයෙන් පාර්ලිමේන්තුවේ හයෙන් පහක බලයක් දිනාගැනීමට සමත් වීමේ ආනුභාවයෙනි. 1977 දී ඔහුගේ පාර්ලිමේන්තු ශක්තියත්, 1994 චන්ද්‍රිකා බණ්ඩාරනායකගේ ශක්තිය වැනි දුර්වල එකක් විණි නම්, එදා එකී ආණ්ඩුක්‍රම වෙනස කිරීමට කිසිසේත් ඔහුට නොහැකි වනු ඇත.
ජනාධිපති ක්‍රමයේ විසකූරු අංගෝපාංග
ජේ. ආර්. ජයවර්ධන හඳුන්වා දුන් විධායක ජනාධිපති ක්‍රමය තවත් මුවහත් කරමින්, ඊට තවත් විසකුරු අංගෝපාංග එකතු කරමින්, විධායක ජනාධිපතිවරයා අසහාය රජෙකු බවට පත්කළ හැකි 18 වැනි ව්‍යවස්ථා සංශෝධනය මහින්ද රාජපක්ෂ ගෙනාවේද තුනෙන් දෙකක බලයක් ඔහු පාර්ලිමේන්තුව තුළ අත්කරගත් මොහොතක ය. පසුව, මෙකී 18 වැනි ව්‍යස්ථා සංශෝධනයට නොදෙවෙනි 20 වැනි ව්‍යවස්ථා සංශෝධනය ගෝඨාභය රාජපක්ෂ ගෙනාවේද විශාල පාර්ලිමේන්තු බලයක් ඔහුගේ පක්ෂය අත්කරගත් මොහොතක ය.
මේ උදාහරණ තුන (ජේ. ආර් ජයවර්ධන, මහින්ද රාජපක්ෂ සහ ගෝඨාභය රාජපක්ෂ) මා ගෙනහැර පාන්නේ, පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක් හෝ හයෙන් පහක් වැනි අති විශාල බලයක් තනි පක්ෂයකට තිබූ සෑම අවස්ථාවකම, ඒ බලය පාවිච්චි වී ඇත්තේ, රටේ ශිෂ්ටසම්පන්න පාලන ක්‍රමයේ යහපතට නොව අයහපතට බව පෙන්වා දීමටයි. අපේ ව්‍යවස්ථා සංශෝධන ඉතිහාසයේ වඩාත් ප්‍රගතිගාමී සහ සාධනීය සංශෝධන දෙක වශයෙන් සැලකෙන්නේ, 17 වැනි ව්‍යවස්ථා සංශෝධනය සහ 19 වැනි ව්‍යවස්ථා සංශෝධනයයි. ඒ දෙකම, සම්මත කරගත්තේ තනි පක්ෂයක් තුනෙන් දෙකක් වැනි විශාල බලයක් පාර්ලිමේන්තුව තුළ අභ්‍යාස කළ අවස්ථාවක නොව, විපක්ෂයේ සහයෝගයෙන් තුනෙන් දෙකේ බලයක් ඒකරාශී කරගැනීමට ආණ්ඩු පක්ෂය සමත් වූ අවස්ථාවල ය. උදාහරණයක් වශයෙන් 19 වැනි ව්‍යවස්ථා සංශෝධනය යහපාලන ආණ්ඩුව සම්මත කරගන්නේ, පාර්ලිමේන්තුව තුළ තම කඳවුරේ බලය ආසන 50 ක්වත් නොතිබුණු අවස්ථාවක ය.
ඒ අතීත කතා අනුසාරයෙන් මෙවැනි නිරීක්ෂණයක් අපට කළ හැකිය: තනි පක්ෂයකට අති විශාල පාර්ලිමේන්තු බලයක් තිබීම අපේ යහපතට හේතු වී නැත. එහෙත්, එවැනි විශාල බලයක් තිබීම, හොඳ දෙයක් සඳහා පාවිච්චි කිරීමට නොහැකි වන ආකාරයේ නෛසර්ගික සීමාවකට අනිවාර්යයෙන් යටත් වන බවක්ද එයින් අදහස් නොවේ. මන්ද යත්, තනි පක්ෂයක විශාල බලයක්, එම පක්ෂයට සහ නායකත්වයට අවංක අවශ්‍යතාව ඇත්තොත්, හොඳ දෙයකටත් පාවිච්චි කළ හැකි බැවිනි.
ගිය වර මේ කොලමේ මාතෘකාව වුණේ, “ජේ. ආර්. යනු යුග පුරුෂයෙකු බව අනුර කුමාරත් සනාථ කරාවිද?” යන්නයි. එම ලිපිය අවසන් කෙරුණේ මෙසේ ය:
“මිනිසුන් මියගිය පසුවත් ජීවත් වන්නේ, ඔවුන්ගේ උරුමයක් කවුරුන් හෝ කරේ තියාගෙන ගියොත් පමණි. ප්‍රේමදාස, විජේතුංග, චන්ද්‍රිකා, මහින්ද, මෛත්‍රීපාල, ගෝඨාභය සහ රනිල්, ඒ අනුග්‍රහය ජේ. ආර්. වෙනුවෙන් නොමසුරුව සැපයූහ. ඔවුන් සේම, අනුර කුමාර දිසානායකත් ජේ. ආර්. ව කරේ තියාගෙන ගියොත් වස ලැජ්ජාවකි!”
ජේ. ආර්.ව අනුර කරේ තියන් යයිද?
මේ කියන්නේ, ජේ. ආර්. ජයවර්ධනගේ විධායක ජනාධිපති ක්‍රමය ඔහුගේ අනුප්‍රාප්තිකයන් විසින් කරේ තියාගෙන ගොස් ඇති කතාව ගැනයි. එහි අදහස වන්නේ, ජේ. ආර්. යුග පුරුෂයෙකු වන්නේ, ඔහුගේ අනුප්‍රාප්තිකයන්ගේ සහයෝගයෙන් සහ අනුග්‍රහයෙන් පමණක් බවයි. ඒ අයගේ සහයෝගය සහ අනුග්‍රහය නොතිබෙන්නට, මීට බොහෝ කලකට කලින් ජේ. ආර්. ජයවර්ධන, ඔහුගේ විධායක ජනාධිපති ක්‍රමයත් සමගම ඉතිහාසයේ කුණු කූඩයට වීසි විය යුතුව තිබුණි. ඔහු අපට උරුම කර දුන් ඒ විධායක ජනාධිපති ක්‍රමය, ඔහුගෙන් පසුව බලයට පත් සියලු නායක නායිකාවන්ට අහෝසි කළ හැකිව තිබුණි. ප්‍රශ්නය වුණේ, ඒ කිසි කෙනෙකුට එසේ කිරීමේ සැබෑ උවමනාවක් නොතිබීමයි. එසේ වෙතත්, ගෝඨාභය රාජපක්ෂ හැරුණුකොට, චන්ද්‍රිකා බණ්ඩාරනායක ඇතුලු ඇගෙන් පසුව බලයට පත් වූ සෑම නායකයෙකුම බලයට ආවේ, ජේ. ආර්. ජයවර්ධනගේ ඒ විධායක ජනාධිපති ක්‍රමය තමන් අහෝසි කරන බවට දිව්රා පොරොන්දු වෙමිනි.
එහි අදහස කුමක්ද? ජේ. ආර්. ජයවර්ධන, එක්තරා අර්ථයකින් ගත් විට, එක විට ද්විත්ව පෞරුෂයකට පණ දී ඇති බවයි. එක පැත්තකින්, ඔහු සතුරෙකු සහ යක්ෂයෙකු සේ ජනතා සිත්සතන්හි ලෙහෙසියෙන් වෙස්ගැන්විය හැකිය. ඒ අනුව, ඔහු වනාහී ප්‍රජාතන්ත්‍රවාදී හර පද්ධති හෑල්ලුවට ලක් කළ, ප්‍රජාතන්ත්‍රවාදී සාරධර්ම තමාට අවශ්‍ය තන්හිදී ඔළුවෙන් සිටුවීමට පසුබට නොවූ, සර්වාධිකාරී නරපතියෙකි. ඔහුම කී පරිදි, විධායක ජනාධිපති ක්‍රමය තුළ ඔහුට කළ නොහැකි වුණේ, ගැහැනියක් පිරිමියෙකු කිරීමත්, පිරිමියෙකු ගැහැනියක් කිරීමත් පමණි. ඔහුගේ ආණ්ඩුවේ අගමැති වූ රණසිංහ ප්‍රේමදාස වරක් කියා ඇති පරිදි, ජේ. ආර්. ජයවර්ධන උතුමාණන් යටතේ රණසිංහ ප්‍රේමදාස අගමැති යනු රබර් මුද්‍රාවක් පමණක් විය. ඉතිං, එවැනි නරුම උරුමයක් තමා බලයට පත්වුණොත් වහා අහෝසි කරමියි කෙනෙකු කීම, ලංකාව වැනි දීර්ඝකාලීන ප්‍රජාතන්ත්‍රවාදී උරුමයකට හිමිකම් කියන සමාජයක ප්‍රගතිශීලී සටන් පාඨයක් වීම අරුමයක් නොවේ. චන්ද්‍රිකා බණ්ඩාරනායක බලයට පත්වීම සඳහා ඒ සටන් පාඨය (විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමේ සටන් පාඨය) උපරිමයෙන් ප්‍රයෝජනයට ගත්තාය. ඇගේ අනුප්‍රාප්තිකයා වූ මහින්ද රාජපක්ෂත්, දෙවරක්ම බලයට පත්වීමට ඒ සටන් පාඨය පාවිච්චි කෙළේය. ඔහු ඇවෑමෙන් මෛත්‍රිපාල සිරිසේන සහ රනිල් වික්‍රමසිංහත් බලයට ආවේ ඒ පොරොන්දුවම දෙමිනි. (ගෝඨාභය රාජපක්ෂ පමණක් ඒ පොරොන්දුව නොදී රාජ්‍ය බලය ගැනීමට සමත් වුණේ, ඊට වඩා ආකර්ශනීය ‘පාස්කු සාධකයක්’ ඕනෑවටත් වඩා ඒ කාර්යය සඳහා ප්‍රමාණවත් වූ බැවිනි.)
එහෙත්, ජේ. ආර්. ජයවර්ධන තමාට එරෙහි වීමේ සහ තමාව යක්ෂයෙකු සේ රූපගැන්වීමේ ජනකාන්ත සටන් පාඨය එක පැත්තකින් නිර්මාණය කර දෙන අතරේම, අනිත් පැත්තෙන්, තමාගෙන් පසුව ඒ සමාජයට නායකත්වය දෙන ඕනෑම කෙනෙකු ඉඳුරා වසඟයට ගත හැකි ඉනාවක්ද සිය උරුමය වශයෙන් ඉතිරි කර ගියේය. බලය යනු කුමක්දැයි ඔහු දිව ගා බලා තිබුණි. බලයට ඈතින් සිටින කෙනෙකු මිස, බලයට සමීප වෙන කිසිවෙකු, වරක් රස වින්fදාත්, දෙවරක් විඳීමටත් ආශා කරන, සර්වාධිකාරී ආලේපය ඔහු එහි ගැල්වීය. එය, එක්තරා විදිහක ඔට්ටුවකි. “අනුර කුමාර දිසානායක සහ වෙනත් ඕනෑම කෙනෙකු විධායක ජනාධිපති පුටුවේ වාඩි වී සිටින තාක් කල්, දවසක් නෑර (ඒ ඔට්ටුව) ඔහු අපේ මුහුණට දමා ගසනු ඇතැ” යි ගිය වර ලිපියේ අප සඳහන් කර ඇත්තේ එබැවිනි.
ජේ. ආර්. ජයවර්ධන මේ විධායක ජනාධිපති ක්‍රමය ඇති කළ දා සිට, එක්සත් ජාතික පක්ෂය හැරුණු විට, අනෙක් සියලු පක්ෂ එම ක්‍රමය විවේචනය කෙළේය. එය අහෝසි කරන බව කීවේය. විශේෂයෙන් එදා සමසමාජ පක්ෂය සහ කොමියුනිස්ට් පක්ෂය ඇතුළු සම්ප්‍රදායික වමත්, ජනතා විමුක්ති පෙරමුණත් මේ ක්‍රමය නිර්දය විවේචනයට ලක් කෙළේය. එක්සත් ජාතික පක්ෂයත් රාජ්‍ය බලය අහිමිව සිටි කාලයේ ලද අත්දැකීම් අනුව, ඔවුන්ද පසු කලෙක මේ ක්‍රමයේ විවේචකයන් බවට පත්වුණි. ඔවුන්ගේ පක්ෂ ප්‍රතිපත්තිය තුළ පවා, විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරන බවට පොරොන්දු වුණි. එහෙත්, ඉහතින් කී සම්ප්‍රදායික වම, චන්ද්‍රිකා බණ්ඩාරනායක සහ මහින්ද රාජපක්ෂගේ ආණ්ඩුවල පාර්ශ්වකරුවන් වශයෙන් සිටියදී, එම ක්‍රමය අහෝසි කරගැනීම සඳහා දැක්වූයේ ඇල්මැරුණු ආකල්පයකි. එතැනින් නොනැවතුණු ඔවුහූ, ඒ ජනාධිපති ක්‍රමය තවත් ශක්තිමත් කෙරුණු 18 වැනි සහ 20 වැනි ව්‍යවස්ථා සංශෝධන සම්මත කරගැනීමටත්, මහින්ද රාජපක්ෂ සහ ගෝඨාභය රාජපක්ෂ සමග පෙරමුණ ගත්හ.
‘අප්පමාදෝ අමතපදං, පමාදෝ මච්ඡුනෝ පදං’
ජනතා විමුක්ති පෙරමුණ එක මිටට රාජ්‍ය බලය අභ්‍යාස කරන ප්‍රථම අවස්ථාව මෙයයි. ‘ක්ලීන් ශ්‍රී ලංකා’ සහ ‘ක්‍රමය වෙනස් කිරීම’ ගැන පසුගිය මාස කිහිපය තුළ කොතෙකුත් කතාබස් කෙරෙනු අපට අසන්නට ලැබේ. එහෙත්, විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමේ තමන්ගේ පරණ සටන්පාඨය ගැන මේ දක්වා, ජනාධිපතිවරයාගේ සිට ආණ්ඩුවේ කිසි නායකයෙකුගේ කටින් වචනයක් පිටවෙනවා අප අසා නැත. පසුගිය ජනාධිපතිවරණ සහ පාර්ලිමේන්තු මැතිවරණ ප්‍රචාරක රැළිවලදී ලාල් කාන්ත පමණක් ඒ ගැන කිහිප විටක් කතා කරනු ඇසී ඇතත්, අද ඔහුත් ඒ ගැන නිශ්ශබ්දයි.
මේ මුනිවත පසුපස ඇති සැබෑ කතාව අපි නොදනිමු. විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමේ ප්‍රතිපත්තිය දැන් අතහැර දමා ඇත්ද, එසේ නැත්නම් ඉදිරියේදී ඒ ගැන යම් පියවරක් ගැනීමට අදහස් කරන්නේද යන්න, වර්තමාන ආණ්ඩුව රටට කියා සිටිය යුතුව තිබේ. ඒ උවමනාව තවම තිබේ නම්, ‘අප්පමාදෝ අමතපදං, පමාදෝ මච්ඡුනෝ පදං’ යන බුදු වදන සැලකිල්ලට ගෙන, කල් නොයවා ඒ කෙරෙහි යොමු වීම, එවැනි ව්‍යාපෘතියක් සාර්ථක අවසානයක් කරා ගෙන යාමට මහෝපකාරී වනු නියතයි. එවැනි වෙනසක් කිරීමට ඇති හැකියාව, රාජ්‍ය පාලනයේ අවසන් භාගයේදී ස්වභාවයෙන්ම හීන වන බව ඉඳුරා කිව හැකිය. චන්ද්‍රිකා බණ්ඩාරනායකට සිදු වුණේ එයයි. ඇගේ රාජ්‍ය පාලනයේ අවසාන අදියරේදී මේ ක්‍රමය ඉවරයක් කිරීමට ඈට උවමනා විය. එහෙත් ඒ වන විට, එවැනි භාරදූර කාර්යයක් සාර්ථකත්වයට පත්කරගැනීම සඳහා වන ඕනෑම ආයාසයක් අසාර්ථක කරවන ‘කල් ඉකුත් වීමේ’ ලේබලය ඇල වී හමාරයි!
වර්තමාන ආණ්ඩුව ආසන 159 ක් පාර්ලිමේන්තුව තුළ තියාගෙන, කරමින් සිටින්නේ ආසන 113 කින් පවා කළ හැකි දේවල් පමණක් නම්, එය විශාල නාස්තියකි. ජේ. ආර්. ජයවර්ධනගෙන් පසු බලයට පත් වූ සෑම ආණ්ඩුවකටම පාහේ මේ කාරණය සම්බන්ධයෙන් වන ඕනෑම අසාර්ථකත්වයක් යුක්තිසහගත කරගැනීමේ අවසරයක් කොහෙන් හෝ සපයාගැනීමේ අවකාශයක් තිබුණි. උදාහරණයක් වශයෙන්, තමාට මේ දේ කරගැනීමට බැරි වුණේ, එදා රනිල් වික්‍රමසිංහගේ එක්සත් ජාතික පක්ෂය ඒ සඳහා අවශ්‍ය කරන සහයෝගය තමාට නොදුන් නිසා යැයි චන්ද්‍රිකා බණ්ඩාරනායක අද කියනු ඇත. මහින්ද රාජපක්ෂත්, එදා තමන් මුහුණදී සිටි බිහිසුණු යුද්ධ තත්වය ඊට එරෙහිව සිටියේ යැයි කියනු ඇත. (යුද්ධය අවසන් වූ පසු දෙවැනි වරට ජනාධිපති වූ පසුවත් එය කළ නොහැකි වුණේ මන්ද යන ප්‍රශ්නය ඔහුගෙන් ඇසිය යුතු නැත. මන්ද යත්, ජනාධිපති ක්‍රමය අවසන් කිරීම කෙසේ වෙතත්, එම ක්‍රමය 18 වැනි ව්‍යවස්ථා සංශෝධනය හරහා ඔහු තවත් මුවහත් කෙළේ ඒ කාලයේ වන බැවිනි). මෛත්‍රිපාල සිරිසේනත් තමාට එය කළ නොහැකි වුණේ, යහපාලන ආණ්ඩුව තුළ උද්ගත වූ අභ්‍යන්තර බල අරගලය සඳහා කාලය මිඩංගු වූ නිසා යැයි කියනු ඇත.
එවැනි කිසි අවසරයක් මෙවර ආණ්ඩුවට ජනතාව සපයා දී නැත. කල්ගතව ඇති ඓතිහාසික කාර්යභාරයන් ඉෂ්ඨ සිද්ධ කිරීම සඳහා අවශ්‍ය සෑම පහසුකමක්ම සහ සෑම බලයක්ම අද ඔවුන්ට ලබා දී ඇති බැවිනි. 159 නමැති සංඛ්‍යාව තුළ ඇති දෘඪතර අරුත එයයි. කොටින්ම, ජනතාව ඔවුන්ව බලයට පත්කර ඇත්තේ ‘77 වසරක ශාපය’ නිමාවක් කිරීමටයි. ඒ 77 වසර තුළ, ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදී දේහය සහ දේශපාලන සංස්කෘතිය රෝගී කළ ඒකල සාධකය විධායක ජනාධිපති ක්‍රමයයි. 159 කුත් තියාගෙන එය ඉවරයක් කර දැමීමේ කර්තව්‍යය පැහැර හැරියොත්, මීට කලින් බලයට පත් කිසි ආණ්ඩුවකට වඩා මේ ආණ්ඩුව ගර්හාවට ලක්වෙනු ඇත. තවත් විදිහකින් කිව්වොත්, බලයට පැමිණීම සඳහා පමණක් ජේ. ආර්. ජයවර්ධනගේ ‘යක්ෂාවේශය’ පාවිච්චියට ගත් මුත්, බලයට පැමිණි පසු ඔහුගේ සුරතල් ඉනාවට (ජනාධිපති පුටුවට) වහවැටුණු පක්ෂයක් බවට පත්වෙනු ඇත.
