පුනරුදයට පෙළ ගැසෙමු !

(විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතාගේ ජාතික නිදහස් දිනය වෙනුවෙන් නිකුත් කළ පණිවුඩය)

ශ්‍රී ලංකාව සිය 77 වැනි නිදහස් දිනය සමරන මේ මොහොතේ, අපගේ ජාතියේ ස්වෛරීභාවය සුරක්ෂිත කිරීමට සටන් කළ සැමගේ කැපකිරීම්වලට අපි ගෞරවය පුද කරමු. මෙම ඓතිහාසික අවස්ථාව යටත් විජිත පාලනයෙන් මිදී අප ලැබූ නිදහස සැමරීමක් පමණක් නොව එකමුතුකම, දියුණුව සහ ගෝලීය සහයෝගීතාව සඳහා අපගේ කැපවීම යළි තහවුරු කිරීමකි.

ශ්‍රී ලංකාව දිගු කලක සිට ශක්තිමත්බවේ සංකේතයක් ලෙස පෙනී සිටියි. සාමය, ස්ථාවරත්වය සහ සෞභාග්‍යය ප්‍රවර්ධනය කරනු වස් අපගේ විදේශ ප්‍රතිපත්තිය, ජාත්‍යන්තර ප්‍රජාව සමඟ අන්‍යෝන්‍ය ගෞරවය, රාජ්‍යතාන්ත්‍රිකභාවය සහ අර්ථකාරී මැදිහත්වීම තුළ තිර ලෙස මුල් බැසගෙන ඇත. වත්මන් අන්තර් සම්බන්ධිත ලෝකය තුළ, අපගේ සාඩම්බර උරුමය සහ අනාගතය පිළිබඳව අපගේ අපේක්ෂාවන් යන දෙකම පිළිබිඹු කරමින්, අපගේ ද්විපාර්ශ්වික සහ බහුපාර්ශ්වික හවුල්කාරිත්වයන් ශක්තිමත් කිරීමට අපි අඛණ්ඩව කටයුතු කරන්නෙමු.

අපගේ දේශසීමාවෙන් ඔබ්බට, ලොව පුරා සිටින ශ්‍රී ලාංකික ශ්‍රම බලකායේ අමිල දායකත්වය අපි හඳුනමු. ඔවුන්ගේ කැපවීම අපගේ ජාත්‍යන්තර ප්‍රතිරූපය වැඩිදියුණු කරන අතර අපගේ ආර්ථිකය ද ශක්තිමත් කරයි. ඔවුන්ගේ සුභසාධනය, ආරක්ෂාව සහ අභිමානය සහතික කිරීම අපගේ ප්‍රමුඛතාවකි. එසේම, අපගේ ආර්ථිකයේ ප්‍රධාන අංගයක් වන සංචාරක කර්මාන්තය, ශ්‍රී ලංකාවේ විශ්මයජනක දර්ශන, විචිත්‍රවත් සංස්කෘතිය සහ උණුසුම් ආගන්තුක සත්කාරය ලොවට අඛණ්ඩව ප්‍රදර්ශනය කරයි.

හැකියාවන් සහ අවස්ථාවන්ගෙන් පිරුණු අනාගතයක් කරා පියවර ඔසවමින්, ශ්‍රී ලංකාවේ ගෝලීය ස්ථාවරය ඉහළ නැංවීමට, තිරසර ආර්ථික වර්ධනයක් ඇති කිරීමට සහ අතීතයට ගරු කරන ජාතියක් ගොඩනැගීමට අපි එක්ව කටයුතු කරමු. අරමුණ සහ දැක්ම තුළ එක්සත්ව, සමෘද්ධිමත්, සියල්ලන් සහභාගිකරගත් සහ ගෝලීය වශයෙන් අගය කරනු ලබන ශ්‍රී ලංකාවක් අපට නිර්මාණය කළ හැකිවනු නියත ය.

ශ්‍රී ලංකාව එහි සියලුම ජනතාවට “ලස්සන ජීවිතයක්” සහතික කරන “පොහොසත් රටක්” ලෙස සංවර්ධනය වනු ඇතැයි අපි උදක්ම විශ්වාස කරන්නෙමු.

Leave A Comment