72 දෙවන සාංචි මහාබෝධි මහෝත්සවය නොවැ.30 දෙසැ. 01 දෙදින පුරා
ක්‍රි.පූ.05 සියවසේ අශෝක අධිරාජයා සිය බිසව වූ විදිසාවේ දේවි වෙනුවෙන් සර්වඥ ධාතූන් වහන්සේලා සහ සැරියුත් මුගලන් අග්‍රශ්‍රාවක මහරහතන් වහන්සේලාගේ ධාතූන් තැන්පත් කර ඉදිකරන ලද සාංචි ස්ථූප සංකීර්ණය ශත වර්ෂ ගණනාවක් වනයට යට වී නටඹුන් වී තිබී, 1918 දී සොයා ගැනීමෙන් පසු,1851 ඇලෙක්සැන්ඩර් කණින්හැම් සහ ජෙනරල් මෙයිසි විසින් ප්‍රථම වරට කැණීම් කරන ලදී.
ඉන්පසු 1912 දී ශ්‍රීමත් ජෙනරල් ජෝන් මාෂල් මෙම නටබුන් ප්‍රතිසංස්කරණය කර සාංචි පුදබිම අද පවත්නා ගෞරවනීය තත්ත්වයට පත් කළේය.
එම කැණීම්වලින් පසු එංගලන්තයට රැගෙන ගොස් තිබූ මෙම සැරියුත් මුගලන් අග්‍රශ්‍රාවක ධාතූන් වහන්සේලා ඉන්දියාවට වැඩම කිරිමෙන් පසු සාංචි චේතියගිරි විහාරය ඉදිකර එහි තැන්පත් කිරීමට අප්‍රතිහත ධෛර්යයෙන් යුතු කටයුතු කළේ හැඩිගල්ලේ පඤ්ඤාතිස්ස නා හිමියෝය.
ශ්‍රී ලංකා මහාබෝධි සංගමයේ සභාපති ධුරයට හා සාංචි චේතියගිරි විහාරාධිපතිත්වයට පත් අතිපූජ්‍ය බානගල උපතිස්ස නා හිමියන්ගේ මෙහෙයවීමෙන් පසුගිය වසර තිහකට ආසන්න කාලයක දි සාංචි පුදබිමට දැවැන්ත සංවර්ධනයක් ගෙන ඒමට උන් වහන්සේ සමත් වූහ.
1952 එවකට ඉන්දීය අග්‍රාමාත්‍ය ශ්‍රීමත් ජවහල්ලාල් නේරුතුමන්ගේ ඉල්ලීම පරිදි ආරම්භ කරන ලද “සාංචි මහා බෝධි මහෝත්සවය” ඉන්දියාවේ මධ්‍ය ප්‍රදේශ් රජය සහ ශ්‍රී ලංකා මහාබෝධි සංගමය මෙහෙයවීමෙන් 72 වන වරටත් නොවැ. 30 සහ දෙසැ.01 අති උත්කර්ෂවත් අන්දමින් මෙවරත් සාංචි පුදබිමේ දී පැවැත්වෙන බව ශ්‍රී ලංකා මහාබෝධි සංගමයේ සභාපති,ජපානයේ ප්රධානාන සංඝනායක,සාංචි චේතියගිරි විහාරාධිපති අතිපූජ්‍ය භාණක උපතිස්ස නා හිමියෝ පවසති.
මෙවර උත්සවයේ ප්‍රධාන ආරාධිතයන් ලෙස,සාංචි චේතියගිරි විහාරයේ සම්මානිත විහාරාධිපතිනි, මහනුවර වත්තේගම මලියදේව ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානාධිපති වියට්නාමයේ බෝධිචිත්තා තෙරණින් වහන්සේ,ඉන්දීය මධ්‍යම රජයේ පංචායත් සභා සහ ග්‍රාමීය සංවර්ධන අමාත්‍ය ප්‍රහලාද් සිංග් පටෙල් (Sri Prahalad Singh Patel) , තායිලන්තයේ වෛද්‍ය සුපාචල් වීරාපුචොංග් (Dr.Supachal Verapunchong),මධ්‍ය ප්‍රදේශ් විදාන් සභා (ප්‍රාන්ත ව්‍යවස්ථාදායක සභාව) මන්ත්‍රී ආචාර්ය ප්‍රභූරාම් චවුද්රි (Dr.Prabhuram Chaudhary) රයිසන් දිසාපති අරවින්ද කුමාර් ඩුබේ (Aravind Kumar Dubey – Collector & District Magistrate – Raisan District) යන අය සහභාගී වෙති.
සාංචි මහාබෝධි මහෝත්සයට සමගාමීව පැවැත්වෙන සංස්කෘතික ප්‍රසංගයට ජපානයේ සුප්‍රකට ගායිකා මයිකි, ශ්‍රී ලංකාවේ තුෂාර හෙට්ටිආරච්චි ඇතුළු සංස්කෘතික කණ්ඩායම් ද එක් වෙති. ඊට අමතරව ශ්‍රී ලංකාවේ මාධ්‍යවේදීන් ද වියට්නාමයේ, තායිලන්තයේ, සිංගප්පූරුවේ හා මියන්මාරයේ බෞද්ධ සැදැහැවතුන් විශාල පිරිසක් ද මෙවර සාංචි මහාබෝධි මහෝත්සවයට සහභාගි වීමට නියමිත බව චේතියගිරි විහාරාධිකාරී බානගල විමල තිස්ස හිමියෝ පවසති.
එසේම ඉන්දියාවේ ඔරිස්සා,ආන්ද්‍රා, තෙලංගානා, ලඩාක්, උත්තර් සහ උත්තරාකාන්ඩ්, ඇසෑම්,කේරළ, හිමාචාල්, තමිල්නාඩු, මහාරාෂ්ට ඇතුළු ප්‍රාන්ත රැසක බෞද්ධ බැතිමතුන් ලක්ෂයකට ආසන්න ප්‍රමාණයක් මෙවර මහාබෝධි මහෝත්සවයට සහභාගීවනු ඇතැයි අපේක්ෂා කරන බවත්, චේතිගිරි විහාරවාසී උඩුගම තපස්සී හිමියෝ පවසති.
චේතියගිරි විහාරයේ භූ ගර්භයේ තැන්පත් කර ඇති,සැරියුත් මුගලන් අග්‍රශ්‍රාවක ධාතුන් වහන්සේලා නොවැම්බර් (30)තිස්වෙනි දින භූ ගර්භයෙන් පිටතට වැඩමවා, විහාර මන්දිරයේ තැන්පත් කිරීමෙන් පසු ජනතාවට වැඳ පුදා ගැනීමට අවස්ථාව සලසා දී දෙසැම්බර් පළමුවෙනි (01) දින පස්වරුවේ නැවත ධාතූන් වහන්සේලා විහාර භූ ගර්භයේ තැන්පත් කෙරෙන බව බානගල උපතිස්ස නා හිමියෝ පැවසූහ.
(උපුල් ජනක ජයසිංහ)