75 වන ජන්ම දිනය සමරණ පූජ්‍ය බානගල උපතිස්ස නාහිමි

ජපානයේ ප්‍රධාන සංඝනායක, ශ්‍රී ලංකා මහා බෝධි සංගමයේ සභාපති, ජපානයේ සවරා ලංකා ජී විහාරය, ඉන්දියාවේ සාංචි චේතියගිරි විහාරය, මාලිගාකන්ද අග්‍රශ්‍රාවක විහාරය, සපුගස්කන්ද අබේසේකරාරාමය සහ බානගල සීලරත්න පිරිවෙන් විහාරය යන පංච මහා විහාරාධිපති බානගල උපතිස්ස නා හිමියන්ගේ 75 වන ජන්ම දිනය වෙනුවෙනි.

බානගල කියන ගමේ නම චරිත දෙකක් නිසා මේ රටේ මිනිස්සුන්ට හුරුපුරුදුය.එකක් දෙකටන බානගල වෙද මහත්තයාය.අනෙක ලෝක පූජිත යතිවරයකු වූ බානගල උපතිස්ස නා හිමියන්ය. අපේ කතානායක  අතිපූජ්‍ය බානගල උපතිස්ස නා හිමියන්ට අදට, එනම් 2025 ජනවාරි පස්වෙනිදාට අවුරුදු හැත්ත පහක් සම්පූර්ණ වේ.

මේ අවුරුදු හැත්තෑ පහ තුළ උන් වහන්සේ ඉටු කර ඇති ආගමික, සමාජ හා සංස්කෘතික මෙහෙවර රාජ්‍ය නායකයෙකුගේ මෙහෙවර ඉක්මවයි.

| තකිකෝ යොෂීඩා මැතිණිය සමග පූජ්‍ය බානගල උපතිස්ස හිමියන්
| තකිකෝ යොෂීඩා මැතිණිය සමග පූජ්‍ය බානගල උපතිස්ස හිමියන්

උන් වහන්සේ හමු වී ගරු බුහුමන් දැක් වූ, උන් වහන්සේ සමීපතමයෙකු මිත්‍රයෙකු ලෙස ඇසුරු කළ,ඇසුරු කරන, ලෝක පූජිතයන්  සමූහය සියය ඉක්මවයි. ඒ අතර, ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේ, 16 වන ශුද්ධෝත්තම බෙනඩික් පාප් වහන්සේ දලයි ලාමාතුමා, ශ්‍රීමත් නරේන්ද්‍ර මෝදි මැතිතුමා,ඉන්දියානු ලෝක සභාවේ හිටපු විපක්ෂ නායක හා සහ ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය දිවංගත සුෂ්මා ස්වරාජ් මැතිණිය, චිනයේ ෂෙනිගුහුයි මහා නායක, තායිවානයේ අතිපූජ්‍ය ෂින්ග් යුඅන් නා හිමි,ජපානයේ  සැදැහැවත් බෞද්ධ උපාසිකා තකිකෝ යොෂිඩා මැතිනිය, ජපානයේ මහාා ව්‍යාපාරිකයන් වන නකසතෝ කෝජි මහතා, උත්සු කගෝෂි හිෂා යුකී මහතා, බනානා ටොකි හිඩේ මහතා, කුබෝ ටොෂිකෝ මැතිනිය,අයිකාවා මිට්සුවෝ මහතා, ජපානයේ ශෝකන්ජි විහාරයේ නායක තෙරණි ටොකුෂෝ ඔකුමුරා භික්ෂුණිය, වියට්නාමයේ  බෝධි චිත්තා තෙරණිය, ජපානයේ  ඕසදා හිමියෝ, ඉන්දියාවේ සිටි ජනාධිපතිවරු, දකුණු අප්‍රිකාවේ මහා සාම මෙහෙයුම්කරුවෙකු වන මයිකල් ලැප්ස්ලි පියතුමා, භුතානයේ Ashi Sonam රජ කුමරිය, තායිලන්තයේ Mahachakri Sirindaharn රජතුමා, පකිස්ථානයෙන් අවශ්‍ය පද මැතිතුමා, ඉන්දියාවේ මධ්‍ය ප්‍රදේශ් හි අතිරේක පොලිස් අධ්‍යක්ෂ ජනරාල්  අනුරාධා ශංකර් මැතිණිය, ඉරානයේ හිටපු ආධ්‍යාත්මික නායකතුමා, චීන, ජපන් බෞද්ධ නායකයන් මෙන්ම මුස්ලිම් කතෝලික ලෝක ආගමික නායකයන් ද සමග උන් වහන්සේ ආගමික සංස්කෘතික හා සාමාජීය සහජීවනය වෙනුවෙන් කළ වැඩ කොටස අතිමහත්ය.

1950 ජනවාරි 05 ජාසිං ලියනගේ දොන් හෙන්ද්‍රික් ජයසේන මහතාට සහ අම්පාගොඩ ලියනගේ ප්‍රේමවතී මහත්මියගේ නව දෙනෙක් ගෙන් යුත් දරු පවුලේ හත්වැනියා ලෙස උපත ලැබූ මෙම පින්වත් දරුවාට සිය මහප්පා වූ බානගල සීලරතන හිමියෝ නම් තැබුවේ “ජයසේන ලියනගේ දොන් හෙන්ද්‍රික් උපතිස්ස” ලෙසය.

උපතිස්ස යනු සැරියුත් මහරහතන් වහන්සේ උපන් ගමේ නම මුල්කරගෙන උන් වහන්සේ හැඳින් වූ ගිහි නාමයයි. දෛවෝපගත සිදුවීම වන්නේ අද සැරියුත් මුගලන් අග්‍රශ්‍රාවක මහරහතන් වහන්සේලාගේ ධාතූන් වහන්සේලාගේ භාරකාරත්වය පැවරී ඇත්තේ එදා උපතිස්ස ලෙස නම් ලැබූ වර්තමාන බානගල උපතිස්ස නා හිමියන්ටය.

| බානගල හිමියන් පාප් වහන්සේ සමග
| බානගල හිමියන් පාප් වහන්සේ සමග

1955 දී  බානගල ප්‍රාථමික විද්‍යාලය, අලපලාදෙණිය පාසලෙන් මූලික අධ්‍යාපනය ලබමින් සිටියදී, ලංකා සහ ඉන්දීය මහාබෝධි සංගමයේ  සහ නායකයකු වූ දඹදිව සාරනාත් විහාරාධිපති බානගල සීලරත්න හිමියන්ගේ සමීප මිත්‍රයෙකු වූ මැටිවල සංඝරතන හිමියන් දඹදිව ධර්ම ප්‍රචාරක කටයුතු සඳහා පුහුණු කර මහණ කරවීමට සුදුසු කුලවත් දරුවෙකු ලබා දෙන ලෙස කළ ඉල්ලීමකට අනුව,  සීලරතන  නායක හාමුදුරුවෝ උපතිස්ස දරුවාගේ ද ඔහුගේ දෙමව්පියන්ගේ ද පූර්ණ  එකඟතාවය ඇතිව උපතිස්ස දරුවා මැටිවල සංඝරත්න හිමියන්ට මාලිගාකන්ද මහා බෝධි මූලස්ථානයේ දී භාර දෙනු ලැබූහ. ඒ 1961 දී ය.

එම වසරේදීම මැටිවල නායක හාමුදුරුවන් සමඟ උපතිස්ස දරුවා බරණැස ඉසිපතනාරාමයට පැමිණ අනගාරික ධර්මපාලතුමා ස්ථාපිත කළ සාරනාත්  මහාබෝධි විද්‍යාලයට 1962  දී ඇතුළත් විය.එහිදී ඔහු ඉතා උනන්දුවෙන් හින්දි භාෂාව ඉගෙන ගැනීම සිදු කළේය.

1967 ඔක්තෝම්බර් 19 ශ්‍රී ලංකා මහාබෝධි සංගමයේ සභාපති, අග්‍රශ්‍රාවක විහාරාධිපති, දඹදිව සාංචි විහාරාධිපති අතිපූජ්‍ය හැඩිගල්ලේ පඤ්ඤාතිස්ස නා හිමියන් වෙතින් තවත් කුල දරුවන් නව දෙනෙකු සමග කොළඹ දී බානගල හිමියෝ ද සසුන් ගතවූහ. එදින බානගල උපතිස්ස සාමණේර හාමුදුරුවන් සමඟ පැවිදි වූ සෙසු සාමණේරයන්  වහන්සේලා වන්නේ අදටත් සිවුරු දරා බුදු සසුනේ රැඳී සිටින්නේ හේනේගෙදර ශීලභද්‍ර හිමි, සහ බානගල උපතිස්ස නා හිමියන් පමණි. ශ්‍රී ලභද්‍ර හිමියන් ද බානගල නා හිමියන් සමග ජපානයේ සවරා පන්සලේ වාසය කරයි.

පසුව 1967 දී හැඩිගල්ලේ නායක හාමුදුරුවන් බානගල උපතිස්ස හිමියෝ දඹදිව සාංචි විහාරයට එවා, සාංචි විහාරයේ ආගමික වතාවත්  ඉටුකිරීම, පැමිණෙන ඉන්දීය,ලාංකික සහ වෙනත් රටවල වන්දනාකරුවන්ට අවශ්‍ය පහසුකම් සැපයීම පැවරුවේය. බොහෝ සාංචියට පැමිණෙන ඉන්දීය ලාංකික හා බටහිර රටවල සංචාරකයන්ට සාංචිය පිළිබඳ කරුණු කියාදීමට බානගල උපතිස්ස හිමියන්ටම සිදු විය.

බානගල හිමියන් ඉන්දීය අග්‍රාමාත්‍යවරයාට සෙත් පතමින්
| බානගල හිමියන් ඉන්දීය අග්‍රාමාත්‍යවරයාට සෙත් පතමින්

ඒ අතර සාංචියේ රජයේ උසස් ද්විතීක පාසලට ඇතුළත්ව හින්දි සහ ඉංග්‍රීසි භාෂාව ඉගෙන ගෙන,පසුව S.S.L. Jain College  වෙතින් උසස් අධ්‍යාපනය ලැබීය.ඉන්පසු බෝපාල් විශ්ව විද්‍යාලයට ඇතුළත් වී පුරාවිද්‍යාව පිළිබඳ ශාස්ත්‍රවේදී උපාධිය ලබා ගත්, බානගල හිමියෝ 1970 ජූලි 05 දා අධි සංඛ්‍යාත උපසම්පදා ශීලයේ පිහිටුවීම සිදුකෙරිණ.

සාංචියට පැමිණි ජපන් ජාතික තකිකෝ යොෂීඩා මැතිණිය බානගල උපතිස්ස හිමියන් හමුවීම ද දෛවය විසින් නියම කළ සාංසාරික සිදුවීමක් විය.සාංචියේ දී තේ කෝප්පයක් ලබා දී ඇති වූ මෙම සම්බන්ධතාවය පසුව යොෂීඩා මැතිණිය බානගල හිමියන්ගේ දෙවන මව් තනතුරට පත්වීමට හේතු විය.

ජපානයට ගිය බානගල හිමියන් වසර ගණනාවක් යොෂිඩා මැතිනියගේ නිවසේ නතර වී ජපන් භාෂාව ද ජපානය පූර්ව ළමා විය සංවර්ධන අධ්‍යාපනය පිළිබඳව ද ඉහළම අධ්‍යාපන ආයතනයන් ගෙන් ඉගෙනුම ලබා ගත්තේය.

එදා අනගාරික ධර්මපාල තුමන්ගේ මහා සිහිනයක්වූ ජපානයේ ථෙරවාදී විහාරයක් ඉදිකිරීමේ කර්තව්‍යය මෙදා කරට ගත්තේ  බානගල නා හිමියන්ය.

| බානගල හිමියන් දලයිලාමා හිමියන් සමග
| බානගල හිමියන් දලයිලාමා හිමියන් සමග

පසු කලෙක ජපානයේ සවරාහී ඉදි වූ  ජපානයේ ප්‍රථම ථේරවාදී විහාරය වන ලංකා ජී විහාරය ඉදිකිරීමටත්, ශ්‍රී ලංකාවේ පූර්ව ළමා විය අධ්‍යාපනය ඉතාමත් විධිමත් තත්ත්වයකට ගෙන ඒමින් මෙරට ජපන් පෙර පාසල් රැසක් ආරම්භ කිරීමටත්, දිළිඳු ගම්මාන රැසක් උදාකළ ගම්මාන ලෙස සංවර්ධනය කිරීමටත් ජපාන මහායාන බෞද්ධ විහාරස්ථාන සහ ශ්‍රී ලංකාවේ ථේරවාදී බෞද්ධ විහාරස්ථාන සහ එම දෙරටේ බෞද්ධාගමික දායික දායිකාවන් සහජීවනයෙන් එක්තැන් කිරීමටත්, ඒ තුළින් මෙරට ජනතාවට විශේෂයෙන් ළමා පරපුරට ජපාන ජනතාව ගෙන් විශාල සේවාවක් ඉටු කිරීමටත් බානගල හිමියන්ට හැකි වූයේ තකිකෝ යොෂීඩා මැතිනියගේ නොසිදෙන ගෞරවනීය ආදරය සහ සහයෝගය නිසාමය. අදටත් උන් වහන්සේ එම පවුලේම සහෝදරයෙකු ලෙස බුහුමන්,සැලකුම් ලබයි.

යොෂිඩා මැතිනිය මෙරටට කළ ඒ මහා මෙහෙවර රණසිංහ ප්‍රේමදාස ජනාධිපතිතුමා එතුමියට “ශ්‍රී ලංකා රංජන” ගෞරව බුහුමන් සම්මානය පුදනු ලැබීය.විදේශිකයෙකුට එම රාජ්‍ය සම්මානයක් ලබාදුන් ප්‍රථම අවස්ථාව ද එයවීම ඇය මෙරටට කළ සේවය ඇගයීමට අපට ඇති හොඳම සාක්ෂියකි.

ජපානේ ඉදි වූ ප්‍රථම ථේරවාදී බෞද්ධ විහාරය වූ සවාරා ලංකා ජී විහාරයේ ඇති චෛත්‍ය  රාජයාණන් වහන්සේ ථෙරවාදී සම්ප්‍රදායේ ජපානය ඉදි වූ පළමු චෛත්‍යය වන්නේය.

| බානගල හිමියන් භූටාන අග්‍රාමාත්‍යවරයා සමග
| බානගල හිමියන් භූටාන අග්‍රාමාත්‍යවරයා සමග

පසු කලෙක මහාචාර්ය ඩබ්ලිව්. එස්. කරුණාරත්න මහතාගේ නිර්දේශකත්වයෙන් කැලණිය විශ්වවිද්‍යාලයේ බාහිර කථිකාචාර්වරයෙකු ලෙස ද කටයුතු කළ බානගල හිමියෝ 1979 ජූනි  23 දා යොෂිඩා මැතිනියගේ සහ එම පවුලේ ද පවුලේ හිතවතුන්ගේද පූර්ණ අනුග්‍රහය ඇතිව සපුගස්කන්ද අබේසේකරාරාම පරිශ්‍රයේ මෙරට ප්‍රථම වරට ජපාන ළමා විය සංවර්ධන අධ්‍යාපන මාදිලියේ විධිමත් පූර්ව ළමා විය සංවර්ධන අධ්‍යාපන ආයතනයක් ලෙස “යොෂිඩා ළදරු පාසල” දරුවන් තිස් දෙනෙකු ගෙන් ආරම්භ කළේය.අද එය සිංහල ඉංග්‍රීසි  ද්වි භාෂා ළදරු පාසල් සමූහයකින් ද යොෂීඩා ජාත්‍යන්තර පාසල් ලෙස ද විශාල සේවයක් ඉටු කරයි.

1999 දී හැඩිගල්ලේ පඤ්ඤාතිස්ස නා හිමියෝ ජීවත්ව සිටියදීම උන් වහන්සේ මාලිගාකන්ද අග්‍රශ්‍රාවක මහා විහාරයේ ද  සාංචි චේතියගිරි විහාරයේ ද විහාරාධිපති ලෙස ද බානගල හිමියන්වත් පත් කරනු ලැබීහ. පසුව චෙන්නායි එග්මෝර් හි මහා බෝධි මධ්‍යස්ථානයේ  භාරකාරත්වය ද බානගල උපතිස්ස හිමියන්ට පැවරිණ.

අනතුරුව 2000 වසරේ දී ශ්‍රී ලංකා මහාබෝධි සංගමයේ සභාපති ධූරයට ඒකමතිකව පත් වූ බානගල නා හිමියන් ඒ තුළින් ඉටුකළ සේවය මෙතකැයි කියා අවසන් කළ නොහැක.

වර්තමානයේ අග්‍රශ්‍රාවක විහාරය ද සාංචි චේතියගිරි විහාරය ද සාංචි මහාබෝධි මහෝත්සවය ද විශාල දියුණුවක් ලබා ඇත්තේ උන් වහන්සේගේ කැපවීම නිසාමය. එසේම ඉන්දියාවේ මුදල් නෝට්ටුවක (රුපියල් 200 මුදල් නෝට්ටුවේ) දැක්වෙන එකම ආගමික ස්ථානය වන්නේ සාංචි චෛත්‍ය සංකීර්ණයයි. එසේම ධර්මපාල තුමන් වෙනුවෙන් ඉන්දියානු රජය මුද්දරයක් නිකුත් කිරීම  ද උන් වහන්සේගේ නායකත්වය යටතේ මහා බෝධි සංගමය ලද විශාල ජයග්‍රහණයන් ලෙස සැලකිය හැක.

| බානගල හිමියන් ඉරානයේ හිටපු ආධ්‍යාත්මික නායකතුමා
| බානගල හිමියන් ඉරානයේ හිටපු ආධ්‍යාත්මික නායකතුමා

උන් වහන්සේ ලෝකයේ බොහෝ රටවල බොහෝ ආගමික සමුළුවල ගෞරවනීය දේශකයෙකු සම්භාවනීය අමුත්තෙකු ලෙස සහභාගි වී ඇති අවස්ථා අති විශාලය. විශේෂයෙන් සෞදි අරාබියට වැඩම කළ එකම බෞද්ධ භික්ෂුව වන්නේ ද උන් වහන්සේය. ශුද්ධෝත්තම ප්‍රැන්සිස් පාප් වහන්සේ ද නරේන්ද්‍ර මෝදි අගමැතිතුමා ද මාලිගාකන්ද විහාරයට පැමිණියේ නායක හාමුදුරුවන් පිළිබඳ ඇති අතිමහත් ගෞරවයය නිසාමය. චීන, ජපානය, පකිස්ථානය, ඉන්දුනීසියාව, මැලේසියාව, ඉරානය, ඉන්දියා, දකුණු අප්‍රිකාව, තායිලන්තය, මියන්මාරය වැනි රටවලට උන් වහන්සේ වැඩම කළේ, එරට ඉහළම රාජ්‍ය හා ආගමික නායකයන්ගේ ආරාධනයෙනි.

මෙරට ජනවාර්ගික ගැටලුව මත අවි ගැටුම් පැවති සමයේ,දෙපාර්ශ්වයම ආදරයේ ගෞරව දිනා ගැනීමෙන් යුධ බිමට වැඩම කළ  ප්‍රමුඛතම බෞද්ධ භික්ෂූන් වහන්සේ බානගල උපතිස්ස නා හිමියන්ය. අවි නිහඬවීමෙන් පසුවත් උන් වහන්සේ එම කඳවුරුවලට යමින්, එම අවතැන් වූ ජනතාවගේ ජීවන තත්ත්වය යළි නගා සිටුවීමට විශේෂයෙන් දරුවන් යළි සමාජගත කිරීමට ශ්‍රී ලංකා මෙතෝදිස්ත සභාවේ හිටපු මහනායක එබනේසර් ජෝසප් පියතුමන් ප්‍රමුඛ සෙසු ආගමික නායකයන් සමග විශාල වැඩ කොටසක් ඉටු කළහ.

අවුරුදු දොළහ දී සාසන දිවියට ඇතුළුවීමට මවුපිය සෙනෙහසින් ඈත් වූ බානගල නා හිමියන් සිය ජීවිතයේ ගෙවී ගිය දශක හයකට ආසන්න කාලයක් කැප කළේ, මිනිසුන්ට වැඩ කිරීමටය. උන්වහන්සේ පන්සල් වෙහෙර විහාර හදන්න උනන්දුවක් දැක්වූ අයෙක් නොවේ. උන්වහන්සේ වැඩිම උනන්දුවක් දැක්වූයේ ළමා පරපුරට සශ්‍රීක අනාගතයක් ගොඩනගා දීමටය. ජාතිවාදය ආගම්වාදය උන් වහන්සේගේ ජීවිතයේ කොතනක හෝ තිබුණේ නැත. උන් වහන්සේ වචනය පරිසමාප්ත අර්ථයෙන්ම ධර්මපාල අනුගාමිකයකු විය. ජපානයට පැමිණි මෙරට තරුණ තරුණියන් අති විශාල පිරිසකට අදටත් ක්ෂේම භූමිය වන්නේ සවරා ලංකා ජී පන්සලයි.

ජපානයේ හිටපු තානාපති රොඩ්නි පෙරේරා මහතා වරක් ප්‍රකාශ කළේ “ඉස්සර ජපානයට එන තරුණයන්ට ටෝකියෝ ගුවන් තොටුපළේ දී සමහරු කියන්නේ, දකුණට ගියොත් තානාපති කාර්යාලය වමට ගියොත් බානගල හාමුදුරුවන්ගේ පන්සල” කියාය. මන්ද මුල් කාලයේ ජපානයට එන තරුණයන්ට පිහිට වූයේ මෙම ආයතන දෙක නිසාය. එදා ජපානයට ආ ලාංකිකයන්ගෙන් බානගල නායක හාමුදුරුවන්ගේ පන්සලෙන් බත් කටක් නොකෑ කෙනෙකු සොයා ගත නොහැක.

අවුරුදු හැත්ත පහක් තුළ උන් වහන්සේ කළ සේවය, ඒ නිසාම ලෝකයෙන් ලද බුහුමන් සැලකූ විට එය මෙරට රාජ්‍ය නායකයෙකුට හෝ ලැබී නොමැත. වරක් අතුරලිය රතන හිමියෝ පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කළේ,”බානගල නායක හාමුදුරුවන් යනු ජාත්‍යන්තර රාජ්‍යතාන්තකයෙකු බවත්, උන්වහන්සේගේ නිසි සේවයක් මෙරටට ගැනීමට මේ රටේ පාලකයන්ට ප්‍රඥාව පහළ වී නොමැති” බවත්ය.

මහා බෝධියේ පැවති උත්සවයක දී වරක් ජනාධිපති නීතිඥ (එවක අධිකරණ අමාත්‍ය) විජයදාස රාජපක්ෂ මහතා ප්‍රකාශ කළේ “මෝදි අගමැතිතුමාට කෙලින්ම දුරකථනයෙන් කතා කළ හැකි ශ්‍රී ලංකාවේ සිටින එකම පුද්ගලයා බානගල නා හිමියන් බවය”.

උන් වහන්සේව දිගු කලක් සමීප ඇසුරු කළ මෙම ලියුම්කරු ද අවධාරණය කරන්නේ බානගල නායක හාමුදුරුවන් ගෙන් මෙරටට ගත හැකි සේවාවෙන් අපි තවමත් සියයට පනහක්වත් ලබාගෙන නැති බවය.

තවත් චිරාත් කාලයක් උන් වහන්සේට මෙරටට ශාසනික සාමාජීය හා සංස්කෘතික වශයෙන් ද ජාත්‍යන්තරයට ද සිය සේවය නොඅඩුව ලබාදීමට නිදුක් නිරෝගී සුවය සමඟින් දීර්ඝායුෂ ලැබේවායි පතමු.

| සිංහ හේමකුමාර ගුණසේකර

(ශ්‍රී ලංකා මහාබෝධි සංගමයේ පාලක මණ්ඩල සභික, ජාත්‍යන්තර වාණිජ මණ්ඩලයේ ශ්‍රී ලංකා ශාඛාවේ උප සභාපති)

Leave A Comment