විදුලි බිල අඩු කිරීමට ජනපති සැලසුම් කරයි

වත්මන් පාලනය යටතේ ඉදිරි වසර තුන ඇතුළත සමස්ත රට ඩිජිටල්කරණයට කටයුතු කරන
බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ප්‍රකාශ කරයි.

ඩිජිටල්කරණය තුළින් ශ්‍රී ලංකාව වෙනම තලයකට ඔසවා තැබීමට හැකියාව තිබෙන
බවත් ඩිජිටල්කරණයට අදාළ මැදිහත් වීම මේ වන විට වත්මන් රජය ආරම්භ කර ඇති
බවත් ජනාධිපතිවරයා පෙන්වා දෙයි.

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මෙම අදහස් පළ කළේ වාණිජ මණ්ඩල
නියෝජිතයන් සමඟ ජනාධිපති ලේකම් කාර්යාලයේදී අද පැවති සාකච්ඡාවකට
එක්වෙමිනි.

වාණිජ මණ්ඩලයේ සාමාජිකයින් කිසිදු දීමනාවක් හෝ වැටුපක් නොලබා ආර්ථිකය
ගොඩනැගීම වෙනුවෙන් සහාය ලබා දීමට ද මෙහිදී එකඟ වූහ.

රටේ ආර්ථිකය ගොඩනඟමින් ඊට අනුරූපව ජනතාවට බදු සහන ලබා දීමට කටයුතු කරන
බවද ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සඳහන් කළේය.

විදුලිය සහ බලශක්තිය ක්ෂේත්‍ර පිළිබඳ තීන්දු තීරණ ගැනීමේදී බලශක්ති
ස්වාධිපත්‍යට ප්‍රමුඛතාව ලබා දෙන බවද නව විදුලි බල පනතක් සකස් කිරීමේදී
බලශක්ති ස්වාධිපත්‍ය ගොඩනඟන දිශාවට අවශ්‍ය කටයුතු කිරීමට අවධානය යොමු වී
ඇති බවද ජනාධිපතිවරයා අනාවරණය කළේය.

ඉදිරි අවුරුදු කිහිපය තුළ විදුලි බිල සැලකිය යුතු ප්‍රමාණයකින් අඩු කිරීම
රජයේ අපේක්ෂාව බව ජනාධිපතිවරයා වැඩිදුරටත් පැවසීය.

DVN

 

Leave A Comment