ඩොලර් අර්බුදය මැද හීනවන සෘජු විදෙස් ආයෝජන
- 5opn1
- November 3, 2024
- ආයෝජන
- ඩොලර් අර්බුදය, විදෙස් ආයෝජන
- 0 Comments
ශ්‍රී ලංකාවේ විදේශ විනිමය අර්බුදය මැද, මෙරටට පැමිණෙන අතලොස්සක් වන සෘජු විදේශ ආයෝජකයින් ද අධෛර්මත් වන තත්ත්වයකට දැන් මුහුණ පා සිටින බවට ආර්ථික විශ්ලේෂකයින් පවසයි.
මීට හේතුවී ඇත්තේ, දැනට ඩොලරයකට ලබාදෙන රුපියල් ප්‍රමාණය වාණිජ බැංකු වල පවතින මිලට වඩා අධික මුදලක් අවිධිමත් විදේශ විනිමය වෙළෙඳපොළ හරහා ලබාගත හැකිවීමත් සමග ආයෝජකයින් තුළ රුපියල අවප්‍රමාණය වේ යැයි ඇති අනුමාන කිරීම නිසා රුපියල අවප්‍රමාණය වන තෙක් තම ආයෝජන මෙරටට ගෙන ඒම ප්‍රමාද කර ඇති අතර ඔවුන් මෙරටට රැගෙන ආ විට එම විදේශ විනිමය මෙරට දී රුපියල් බවට පරිවර්ථනය කිරීමත් සමග, සිය අවශ්‍යතා සඳහා අමුද්‍රව්‍ය ඇතුළු භාණ්ඩ විදෙස් රටවලින් ගෙන්වා ගැනීමේ දී ඩොලර් සොයා ගැනීමේ අර්බුදයකට ආයෝජකයින් මුහුණපා සිටීමයි.
ශ්‍රී ලංකාව මුහුණ දී සිටින විදේශ විනිමය අර්බුදයට හේතුව සංචාරක කර්මාන්තයේ කඩා වැටීම හා ප්‍රේෂණවල අඩුවීම බව බොහෝ දෙනෙකු මතුකරන කාරණයක් වුවත්, අමතක වී ඇති කාරණය සෘජු විදේශීය ආයෝජන ආකර්ශනය තුළින් ඊට විශාල සහයෝගයක් ගත හැකිබවයැ යි ආර්ථික විශේෂඥයෝ පවසති.
ඔවුන් පෙන්වා දෙන්නේ, පසුගිය කාලසීමාව තුළ සෘජු විදේශීය ආයෝජන ආකර්ෂණය කිරීමට මෙරටට නොහැකි වූ බව යි. ‘ඩුයින් බිස්නස්’ දර්ශකය තුළ ශ්‍රී ලංකාව හොඳ ස්ථානයක නොසිටීම ඊට හේතුව යි.
සෘජු විදේශීය ආයෝජනවලට හිතකර ආර්ථික පරිසරයක් ඇති නොකිරීම ඊට තවත් හේතුවක් වී ඇති බවට ඔවුන් පවසයි.
කොවිඩ් අර්බුදය මැද වුවත්, 2019- 2020 කාලසීමාවේ දී ඉන්දියාවට ඩොලර් බිලියන 64ක සෘජු විදේශීය ආයෝජන ලැබී ඇති අතර, සිංගප්පුරුවට ඩොලර් බිලියන 90ක සෘජු ආයෝජන ලැබී තිබේ. ශ්‍රී ලංකාවට ලැබී ඇත්තේ ඩොලර් බිලියන 0.5ක සෘජු විදේශීය ආයෝජන පමණක් බව ආර්ථික දත්ත පෙන්නුම් කරන බවට ආර්ථික විශේෂඥයෝ පෙන්වා දෙති.
වයඹ විශ්වවිද්‍යාලයයේ කළමනාකරණ හා මූල්‍ය පීඨයේ මහාචාර්ය අමින්ද මෙත්සිල පෙරේරා පවසා සිටියේ, “කොවිඩ් අර්බුදය නොවෙයි, යම් ආකාරයකට අපේ අර්බුදයක් තියෙනවා ආයෝජන ආකර්ෂණය කරගන්න. රජය මෑත කාලයේ දී ගත්තු පියවර සමග ඒ ආකර්ෂණය තවදුරටත් හීන වෙලා තියෙනවා,” යනුවෙනි.
ප්‍රකෝටිපති ව්‍යාපාරික නතානියෙල් රොත්ස්චයිල්ඩ් ශ්‍රී ලංකාවේ ආයෝජන අවස්ථා සොයා සංචාරයක
ණය සහන සැහැල්ලු දුම්රිය ව්‍යාපෘතිය නැවැත්වීමෙන් කුමක් සිදුවෙයිද?
“ඩොලර් ලංකාවට ගෙනාපුවාම ඉතාම ඉක්මනට ඒවා රුපියල් බවට පරිවර්ථනය කරනවා. එහිදී ඔවුන් ගේන එක ඩොලර් එකකට හම්බවෙන්නේ රුපියල් 202ක පාලන මිලක්. හැබැයි ඔවුන්ට අමුද්‍රව්‍ය ගේන්න අවශ්‍ය නම්, ඒවට ඩොලර් නැත්නම්, ඔවුන් බැංකුවකට හෝ කළු කඩයෙන් හෝ උන්ඩියල් ක්‍රමයට සල්ලි ගන්න කොට ඔවුන් ඩොලර් එකකට රුපියල් 240 – 260ක මුදලක් ගෙවන්න ඕනේ. 202ක් ගේන ඩොලර් එකකට දීලා, ඉල්ලන ඩොලර් එකකට 240ක් ගද්දි අපි සෘජු විදේශීය ආයෝජනය ලංකාවට ආකර්ෂණය කිරීමේ හිතකරභාවය විශාල වශයෙන් පළුදු වෙලා තියෙනවා. ඒ නිසා මේ ගත්ත තීරණත් එක්ක අපි මේ අවුරුද්දේ තවදුරටත් සෘජු විදේශීය ආයෝජනය පහළ යන්න තියෙන ඉඩකඩ ඉතා වැඩියි.”
ආර්ථික විශේෂඥයින් පවසන්නේ රුපියල අවප්‍රමාණය වේ යයි යන මතය මත ආයෝජයින් තම ආයෝජන ප්‍රමාද කරන බවයි.
ඔවුන් පවසන්නේ වැවිලි කර්මාන්තය හරහා ද රටට විශාල විදේශ විනිමය ප්‍රමාණයක් ලැබුනද හදිසියේ කාබනික පොහොර හදුන්වා දී රසායනික පොහොර තහනම් කිරීම හරහා වැවිලි බෝග විශාල ප්‍රමාණයක අස්වැන්න විශාල ලෙස අඩුවීම මත රටට ලැබෙන විදේශ විනිම අඩුවී ඇති බවයි.
“අපේ රටේ අපනයන ආදායම වැඩිවුනේ ප්‍රධාන වශයෙන්ම තේ ආර්ථිකය මතයි. නමුත් රසායනික පොහොර තහනම නිසා පසුගිය මාස හත තුළ අපේ තේ ආර්ථිකය බොහොම නරක තැනකට ඇදගෙන වැටුණා. මෙම වසරේදී තේ අස්වැන්න වැඩි වුනේ දේශගුණික හා කාලගුණික සාදක මතයි. හැබැයි පෙබරවාරි මාසයේදී අපිට නියඟයකට මුහුණ දෙන්න වෙනවා. දැන්ම තේ වගාවට රසායනික පොහොර නොලැබුනොත් තේ වගාව සම්පුර්ණයෙන්ම විනාශ වෙනවා,” යනුවෙන් මාතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී වීරසුමන වීරසිංහ පසුගියදා පැවැසීය.
මේ අතර වැවිලි අමාත්‍ය රමේෂ් පතිරණ පසුගිය දා පැවසුවේ රසායනික පොහොර තහනම් කිරීමත් සමඟ ඇතිවූ අර්බුදය මේ වනවිට තරමක් දුරට විසඳී ඇති නමුත් මේ වනවිට ලෝකයේ ජනතාව තේ වෙනුවට වැඩිපුර කේපි පානය කරන්න පටන්ගෙන තිබෙන බවයි.
“කොරෝනා ගෝලීය වසංගත තත්ත්වය නිසා අපේ තේ ගැනුම්කරුවන් වන රුසියාව, ඉරානය වගේ රටවල ආර්ථිකය අර්බුදයට ලක්වෙලා. ඒ නිසා කෙටි කාලයක් තුළ මේ තත්ත්වයන් වෙනස් වේවි යැයි සිතන්න බැහැ,” යනුවෙනි.
GSP + අහිමිවීමේ අවදානම සහ ශ්‍රේණිගතකිරීම් පහත වැටීමේ අභියෝගය
ජාත්‍යන්තර ණය ශ්‍රේණිගත කරන්නන් අපගේ තත්ත්වය පහත හෙළා ඇතිබැවින්, ආයෝජකයින් මෙහි පැමිණීමේ ඉඩකඩ අඩුබව මහාචාර්යවරයා පැවසීය.
“ජාත්‍යන්තර ණය ශ්‍රේණිගතකිරීමේ ආයතන වන ෆීච්, S &P, මූඩීස් යන ආයතන අපිව ඩවුන්ග්‍රේඩ් කරලා ඉවර යි. ඒවගේ තැනකට විදේශීය මුදල් අරගෙන එයි කියලා විශ්වාස කරන්න්න බැහැ ආයෝජකයෝ. ඔවුන්ට මෙහෙ ඇවිල්ල බිස්නස් කරන්න අමාරු යි. එකක්, වෙන රටවල් පිළිගන්නේ නැහැ. එල්.සී එකක් ඕපන් කර ගන්න බැහැ, රේටින්ස් වැටිලා නිසා,” මහාචාර්ය පෙරේරා පවසා සිටියේ ය.
මහාචාර්යවරයා සඳහන් කළේ, මෙරටට යුරෝපා සංගමයෙන් ලබා දී තිබූ GSP+ සහනය විදේශීය අයෝජකයින් මෙරටට පැමිණීමට විශාල හේතුවක් වූ බව යි.
“අපිට අයෝජකයෝ ගෙන්ව ගන්න තිබ්බ ලොකු දෙයක් තමා GSP+. GSP+ ඉතාම අවදානම් තැනක තියෙන එකක්. යුරෝපා සංගමය ඒ පිළිබඳ සාකච්ඡා කරගෙන යනවා. අපේ 20 වැනි සංශෝධනය සහ පසුව ඇති වෙච්ච ප්‍රශ්න නිසා GSP+ සහනය අහිමි වීමේ විශාල අවදානමක අපි ඉන්නේ. ඒකත් නැති වුණොත් මොකට ද, මොනවට ද අයෝජකයෝ ලංකාවට එන්නේ කියන ගැටලුව අපිට තියෙනවා,” ඔහු පැහැදිලි කළේ ය.
“එන්න පුළුවන් චීන ආයෝජකයෝ. මොකද ඒක ඔවුන්ට තියෙන අයිතිය. ඉන්දියානු ආයෝකයෝ එන්න පුළුවන්, ඒ තමා චීනයත් එක්ක ඔවුන්ට තියෙන පෞද්ගලික ගැටලුව. අපි රාජ්‍ය සම්පත් විකිණීම හරහා යම් ආකාරය අයෝජකයෝ ප්‍රමාණයක් එන්න පුළුවන්. රජය උත්සහ කළානේ සෙලන්දිවා වැනි සමාගම් හරහා යම් යම් දෙපළ විකුණන්න. ඒවා මිලදී ගැනීමට යම් ප්‍රමාණයක් එයි. නමුත් ඒ අය නිවැරදි ව්‍යවසායකයන් නෙම්. දේපළ මිල දී ගැනීම සඳහා ඔවුන් ඉදිරිපත් වෙන්න පුළුවන්.”
පවතින අඩු පොලී අනුපාත ක්‍රමය නිසා රටේ උද්දමනය මෙන්ම රුපියල ඇති බලපෑම වාදී වී ඇත බවට ආර්ථික විශ්ලේෂකයින් පවසයි.
පොලී අනුපාත ඉහළට
ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය 2022 ජනවාරි මස 19 වැනි දින පැවති රැස්වීමේ දී ප්‍රතිපත්ති ක්‍රියාමාර්ග කිහිපයක් ක්‍රියාත්මක කිරීමට තීරණය කළේ ය.
ඒ අනුව, මුදල් මණ්ඩලය විසින් ප්‍රතිපත්ති පොලී අනුපාත ඉහළ දැමීම ඇතුළු ක්‍රියාමාර්ග රැසක් බලාත්මක කිරීමට තීරණයකර තිබේ.
ශ්‍රී ලංකා මහ බැංකුවේ නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකය (SDFR) සහ නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය (SLFR) පදනම් අංක 50 බැගින් පිළිවෙළින්, 5.50% සහ 6.50% දක්වා ඉහළ නැංවීම
ඉන්ධන මිලදීගැනීම් සඳහා වන අත්‍යවශ්‍ය ආනයන බිල්පත් මූල්‍යනය කිරීම, බලපත්‍රලාභී බැංකු අතර ඔවුන්ගේ විදේශ විනිමය ලැබීම්වලට සමානුපාතිකව බෙදා හැරීම
ශ්‍රී ලංකාවෙන් පිටත පදිංචි පුද්ගලයන්ට සපයනු ලබන සේවාවන් සඳහා විදේශ විනිමය පමණක් භාර ගන්නා ලෙස සියලුම ලියාපදිංචි සංචාරක ආයතනවලට අනිවාර්යය කිරීම
“විදේශ සේවා නියුක්තිකයන්ගේ ප්‍රේෂණ සඳහා දිරි දීමනා යෝජනා ක්‍රමය” යටතේ විදේශ ප්‍රේෂණ සඳහා එ. ජ. ඩොලරයක් සඳහා රුපියල් 2.00ක් වන දිරි දීමනාවට අමතරව ලබා දුන් එ. ජ. ඩොලරයට රුපියල් 8.00ක් වූ අමතර දිරි දීමනාව 2022 අප්‍රේල් මස 30 වැනි දින දක්වා දීර්ඝ කිරීම
2022 පෙබරවාරි මස 01 වැනි දින සිට ක්‍රියාත්මක වන පරිදි බලපත්‍රලාභී බැංකු සහ අනෙකුත් විධිමත් ක්‍රම ඔස්සේ රුපියල් ගිණුම් වෙත මුදල් ප්‍රේෂණය කිරීමේ දී ශ්‍රී ලාංකික විදේශගත ශ්‍රමිකයන්ගෙන් අයකරනු ලබන ගනුදෙනු පිරිවැය එක් ගනුදෙනුවක් සඳහා රුපියල් 1000 බැගින් ප්‍රතිපූරණය කිරීම
විදේශ ශ්‍රමිකයන්ගේ විදේශ ව්‍යවහාර මුදල් සහ රුපියල් තැන්පතු සඳහා ඉහළ පොලී අනුපාතික හඳුන්වාදීම
පවතින අඩු පොලී අනුපාත ආර්ථික වර්ධනයට සෘජු බලපෑමක් එල්ල නොකළත් පොලී අනුපාත ඉහළ දැමීම තැන්පත්කරුවන්ට යහපත් ලෙස බලපෑව ද එය ව්‍යාපාරිකයින් ඇතුලු ආයෝජකයින්ට නරක ලෙස බලපෑමට හැකි බව ආර්ථීක විශ්ලේශකයින් පවසයි.
අඩු පොලී අනුපාත මත ණය ලබාගත් ව්‍යාපාරිකයින් කඩා වැටීමකට ලක්විය හැකි බැවින් පවතින තත්ත්වය යටතේ සහනදායී පොලී අනුපාත යටතේ ව්‍යාපාරිකයින්ට ණය ලබාදීම සඳහා රාජ්‍ය සංවර්ධන බැංකුවක් ආරම්භ කිරීමේ අවශ්‍යතාව ද ආර්ථික විශේෂඥයෝ පෙන්වා දෙති.
2021 වසරේදී ශ්‍රී ලංකා රුපියල අමෙරිකානු ඩොලරයට සාපෙක්ෂව 7.0%කින් අවප්‍රමාණය වී ඇත.
ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කළේ, 2022 ජනවාරි 18 වැනි දින අමෙරිකානු ඩොලර් මිලියන 500ක ජාත්‍යන්තර ස්වෛරීත්ව බැඳුම්කරය නියමිත දිනට පියවීමට මහ බැංකුවට හැකි වූ බව යි.
2021 වසර අවසානය වන විට මෙරට නිල සංචිත අමෙරිකානු ඩොලර් ප්‍රමාණය බිලියන 3.1ක් වූ බවට මහ බැංකුව පැවසුවේ චීනයෙන් ලබාගත් මුදල් හුවමාරු පහසුකම නිසා එසේ නිල සංචිත වැඩි වී ඇති බවයි.
ආයෝජන ආකර්ෂණයට රජයේ වැඩපිළිවෙල
සෘජු විදේශ ආයෝජන ශ්‍රී ලංකාවේ ආර්ථිකයෙහි තීරණාත්මක අංගයක් ලෙස පවතින බව විදේශ අමාත්‍යංශය පවසයි.
සෘජු විදේශ ආයෝජන සඳහා ආකර්ෂණීය ස්ථානයක් ලෙස ශ්‍රී ලංකාව ප්‍රවර්ධනය කිරීමේ දී විදේශ සබඳතා අමාත්‍යාංශයේ සහ ශ්‍රී ලංකා දූත මණ්ඩලවල තීරණාත්මක කාර්යභාරය හඳුනා ගනිමින්, ආර්ථික කටයුතු අංශය 2018 වසරේ සිට ආයෝජන මණ්ඩල සමග සාකච්ඡාකොට විදේශවල පිහිටි අදාල දූත මණ්ඩල සඳහා ආයෝජන ඉලක්ක ලබා දී ඇත.
ආයෝජන ප්‍රවර්ධන වැඩසටහන් පිළිබඳ දූත මණ්ඩල කිහිපයකින් ලැබුණු යෝජනා මත පදනම්ව උත්සව අංග සංවිධානය කරන ලද අතර, ඒවා සාර්ථක වූ බව විදේශ අමාත්‍යංශය පවසයි.
ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ පාලන යටතේ අපනය සැකසුම් කලාප 14ක් ක්‍රියාත්මක වේ. ආයෝජන මණ්ඩලයේ ඉලක්කය වී ඇත්තේ ඉදිරි වසර තුන තුළ වාර්ෂිකව ඩොලර් බිලියන 1.5ක සෘජු විදේශීය ආයෝජන මෙරටට ගෙන්වා ගැනීම යි.
එහෙත් රටේ මේ වන විට පවතින ආර්ථික අර්බූදය හමුවේ රටට සෘජු විදේශ ආයෝජන ලබාගැනීම විශාල අභියෝගයක් ව වසර ගණනාවක් තිස්සේ පවතී.
සෘජු විදේශීය ආයෝජකයින් මෙරටට නොඑන්නේ ඇයි?
සාධාරණ මිලකට අඛණ්ඩව මූලික බලශක්තිය සැපයීමේ ගැටලු
විදේශ විනිමය අර්බුදය
යටිතල පහසුකම් ගැටලු
ප්‍රවාහන පහසුකම් ගැටලු
වෘත්තීය සමිති ක්‍රියාමාර්ග ගැටලු
ආයෝජන මණ්ඩලය ඇතුළු ආයතනවල අකාර්යක්ෂමතාව
විවිධ කටයුතු සඳහා කොමිස් ගෙවීමට සිදුවීම
රට පිළිබඳ ජාත්‍යන්තර ප්‍රතිරූපය
ණය ශ්‍රේණිගතකිරීම් පහත වැටීම
වැනි කරුණු ප්‍රධාන වී ඇති බවට විශ්ලේෂකයින් පවසයි.