මහ බැංකුව අලුතින් මුදල් අච්චු ගැහුවා ද?

මුදල් අච්චු ගැසීම සැබවින්ම මෙරට දේශපාලනයේ ආන්දෝලනාත්මක මාතෘකාවකි. විවිධ දේශපාලන පක්ෂ මේ සම්බන්ධයෙන් විපක්ෂයේ සිටියේදී පවත්නා රජයට චෝදනා එල්ල කිරීම සාමාන්‍යය සංසිද්ධියකි. වත්මන් ආණ්ඩුව මුදල් අච්චු ගැසීමක් කර තිබේ නම් මුදල් අමාත්‍යවරයා ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායකගේ අත්සනින් නිකුත් වූ මුදල් නෝට්ටුවක් පෙන්වන්නැයි,කැබිනට් ප්‍රකාශ අමාත්‍ය විජිත හේරත් පසුගියදා පැවති කැබිනට් මාධ්‍ය හමුවේදී අභියෝග කර සිටියේ ය.

අමාත්‍යවරයා පවසන පරිදි මුදල් අච්චු ගැසීම යනු එක් රැයකින් මුදල් නෝට්ටු මුද්‍රණය කිරීමේ ක්‍රියාවලියක් ද?

මුදල් නිකුත් කිරීමේ බලය ඇත්තේ ශ්‍රී ලංකා මහ බැංකුවට ය. පද්ධතියට අවශ්‍යතරම් මුදල් සැපයීම ශ්‍රී ලංකා මහ බැංකුවේ වගකීමකි.

මුදල් අච්චු ගැසීම යන්නෙන් අදහස් කරන්නේ මහ බංකුව ආර්ථිකයට අලුතින් මුදල් නිකුත් කිරීම ය. මුදල් අච්චු ගැසීම යනු යන්ත්‍රයක් ආධාරයෙන් මුදල් නෝට්ටු මුද්‍රණය කිරීමක් නොවේ.

මුදල් මුද්‍රණය කිරීම තීරණය කරන්නේ, මහ බැංකුවේ ව්‍යවහාරික මුදල් දෙපර්තමේන්තුව මගිනි. රට තුළ සංසරණය වන මුදල් ප්‍රමාණය ගැන අවධානයෙන් සි‍ටිමින්, රටට ගනුදෙනු කිරීමට අවශ්‍ය වන මුදල් ප්‍රමාණය සංසරණයට එකතු කිරීම මහබැංකුව විසින් සිදුකරනු ලබයි.

විදේශ මුදල් හුවමාරුවක් යනු කුමක්ද?
ඇත්තටම ආණ්ඩුව මුදල් අච්චු ගැහුව ද?
විවෘත වෙළඳපොළ කටයුතු හරහා ශ්‍රී ලංකා මහ බැංකුව රුපියල් බිලියන 100 ක් අච්චු ගැසූ බවට මෑත කාලීනව වාර්තා පළවීය.

එහෙත් ශ්‍රී ලංකා මහ බැංකුව අවධාරණය කරන්නේ මෙම වාර්තා පදනම් විරහිත බවය.

විවෘත වෙළඳපොළ කටයුතු හරහා ද්‍රවශීලතාව ලබාදීම සාමාන්‍ය මහ බැංකු කටයුත්තක් බව මහ බැංකුව සඳහන් කළේය.

විවෘත වෙළඳපොළ කටයුතු සිදු කරනු ලබන්නේ පොලී අනුපාතිකය කළමනාකරණය කිරීම හරහා මිල ස්ථායීතාව පවත්වා ගැනීම සඳහා වන අතර, එය හුදු මුදල් මුදල් අච්චු ගැසීමක් ලෙස ලඝු කොට දැක්විය නොහැකි බව මහ බැංකුව නිවේදනය කරයි.

විවෘත වෙළෙඳපොළ කටයුතු, රජයේ සුරැකුම්පත් ස්ථාවර හෝ තාවකාලික පදනම යටතේ මිලදී ගැනීමේ හා විකිණීමේ වෙන්දේසි හරහා සිදු කරනු ලබයි.

ඒ අනුව, විවෘත වෙළෙඳපොළ කටයුතු යනු බංකු පද්ධතියේ ද්‍රවශීලතාවේ ඇති වන අසමතුලිතතාවයක් කළමනාකරණය කිරීම සඳහා ප්‍රධාන වශයෙන් කෙටි කාලීනව සිදු කරනු ලබන මෙහෙයුමක් බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි. උදාහරණයක් ලෙස මහ බැංකුව මඟින් 2024 වසරේදී මෙම ද්‍රවශීලතාව එක්දින සහ කෙටි කාලීන පදනම මත (දින 7 ක්) ලබා දී ඇත.

මෙය තාවකාලික පදනමින් මුල්‍ය පද්ධතියේ ස්ථාවරත්වය ද ආරක්ෂා කිරීම අරමුණු කර ආර්ථිකයේ පොලී අනුපාත ඉහළ යෑම පාලනයට බැංකුවලට ලබා දී ඇති පහසුකමක් වන අතර මෙය මුදල් අච්චු ගැසීමක් ලෙස අර්ථ නිරූණය කිරීම නිවැරදි නොවන බව මහ බැංකුව සඳහන් කරයි.

ඇත්තටම මුදල් අච්චු ගහනවා කියන්නේ මොකද් ද ?
ආර්ථික විද්‍යාත්මක අර්ථයෙන් ගත් කළ , අලුතින් මුදල් නිකුත් කිරීම යනු මහ බැංකුව සතු සංචිත මුදල් හෙවත් පදනම් මුදල් නිකුත් කිරීමකි.

ඇඩ්වෝකාටා ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරී ධනනාත් ප්‍රනාන්දු පැවසුවේ, තාක්ෂණික වශයෙන් මහ බැංකුවට මුදල් මුද්‍රණය කළ හැකි ක්‍රම 3ක් ඇති බවය.

1.භාණ්ඩාර බිල්පත් සහ භාණ්ඩාගාර බැඳුම්කර මහ බැංකුව විසින්ම මිලදී ගැනීම එහි පළමු වැන්න ය. මෙම ක්‍රමයට මෑතකදී මහ බැංකුව මුදල් අච්චු ගැසීමක් කර නොමැත. එසේ කර ඇත්නම් මහ බැංකුව සතු භාණ්ඩාගාර බිල්පත් සහ බැඳුම්කර ප්‍රමාණය ඉහළ අගයක් ගත යුතු ය.

2.මහ බැංකුව විසින් බැංකු සතු ඩොලර් මිලදී ගැනීම එහි දෙවැනි ක්‍රමවේදය වේ.

3.දිනපතා බැංකු ගනුදෙනුවලදී හිඟ ද්‍රවශීලතාව වෙනුවෙන් කෙටිකාලීනව (දින 7කට) පද්ධතියට මුදල් මුදාහැරීම – මෙහිදී භෞතිකව මුදල් අච්චු ගැසීමක් නොවන අතර මේ යටෙත් බැංකු තුළ මුදල් නිර්මාණය වීමක් සිදුවනු ඇත.

PAYE TAX: රටට අවශ්‍ය විද්වතුන් රටට අහිමි කරන බද්දක් ද?
වත්මන් නීති අනුව ආණ්ඩුවට මුදල් අච්චු ගහන්න පුළුවන් ද?
වයඹ විශ්වවිද්‍යාලයයේ කළමනාකරණ හා මූල්‍ය පීඨයේ මහාචාර්ය අමින්ද මෙත්සිල පෙරේරා පැවසුවේ, පවත්නා නීතිමය තත්ත්වය තුළ වර්තමානයේ මහ බැංකුවට එළෙස මුදල් අච්චු ගැසීමක් කළ නොහැකි බව ය.

ශ්‍රී ලංකා මහ බැංකුව ද පැවසුවේ, 2023 වසරේ සැප්තැම්බර් මාසයේදී නීතිගත කරන ලද 2023 අංක 16 දරන ශ්‍රී ලංකා මහ බැංකු පනත මඟින් රජයේ අයවැය මූල්‍යනය කිරීම සඳහා රජයේ සුරැකුම් පත් මිලදී ගැනීම තුළින් ඇතිවන මුදල් අච්චු ගැසීම මුළුමනින්ම සීමා කර ඇති බව ය.

අන්තර් ජාතික මුල්‍ය අරමුදලේ එකඟතාව අනුව ද මහ බැංකුවට මුදල් මුද්‍රණය කිරීමේ හැකියාවක් නොමැති බව ධනනාත් ප්‍රනාන්දු පැවසීය.

ව්‍යවහාර මුදල් කළමනාකරණය
2023 අංක 16 දරන ශ්‍රී ලංකා මහ බැංකු පනතට අනුව ශ්‍රී ලංකාවේ මුදල් නෝට්ටු හා කාසි ඇතුළත් ව්‍යවහාර මුදල් නිකුත් කිරීමේ අධිකාරී බලය ශ්‍රී ලංකා මහබැංකුව සතු වේ.

මෙම කර්තව්‍යය සිදුකරනු වස් ශ්‍රී ලංකාවේ ව්‍යවහාර මුදල් නෝට්ටු සහ කාසි නිර්මාණය කිරීම, මුද්‍රණය කිරීම හා බෙදාහැරීම ශ්‍රී ලංකා මහ බැංකුවට පැවරී ඇත.

ව්‍යවහාර මුදල් කළමනාකරණයේ පරමාර්ථය වන්නේ ව්‍යවහාර මුදල්වල වටිනාකම හා විශ්වාසනීයත්වය ආරක්ෂා කර ගැනීම හා ආර්ථිකයේ මනා ක්‍රියාකාරිත්වය සඳහා අත්‍යවශ්‍ය වන, ව්‍යවහාර මුදල් සඳහාවන ඉල්ලුම සපුරාලීමට ප්‍රමාණවත්වන පරිදි ‍තොග පවත්වාගෙන යාම තුළින් මුදල් පිළිබඳ මහජන විශ්වාසය ගොඩනඟා පවත්වාගෙන යාමයි.

කාසි හා නෝට්ටු නව නිකුතුවක් නිර්මාණය කිරීමට මාස කීපයක් ගතවේ.

නෝට්ටු/කාසි නිර්මාණය කිරීම ශ්‍රී ලංකා මහ බැංකුව විසින් පත්කරන ලද පුද්ගලයෙකු විසින් හෝ නෝට්ටු මුද්‍රණ ශීල්පීන් හෝ කාසි නිෂ්පාදකයන් මගින් සිදු කෙරේ.

මුදල් නෝට්ටුවක් සම්බන්ධයෙන් එහි වටිනාකම, මෝස්තරය හා නෝට්ටුවේ වෙනත් ලක්ෂණ සඳහාත්; කාසියක් සම්බන්ධයෙන් එහි ලෝහය, බර, ප්‍රමාණය, මෝස්තරය, වටිනාකම හා වෙනත් ලක්ෂණ සඳහාත් අනිවාර්යයයෙන්ම ශ්‍රී ලංකා මහ බැංකුවේ පාලක මණ්ඩලයේත් ඊට සමගාමීව මුදල් අමාත්‍යවරයාගේත් අනුමැතිය ලබාගත යුතු වේ.

අනුමැතිය ලද පසු ශ්‍රී ලංකා මහ බැංකුව අදාල ක්‍රියාපටිපාටි හා මඟ පෙන්වීම් වලට අනුගතව මුදල් නෝට්ටු මුද්‍රණය සහ කාසි මුද්‍රණය කරනු ලබන සමාගමට කොන්ත්‍රාත්තුව භාර දෙනු ලබන බව මහ බැංකුව සඳහන් කළේය.

වත්මන් රජය අලුතින් ණය ගත්තා ද?
ඇඩ්වෝකාටා ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරී ධනනාත් ප්‍රනාන්දු පැවසුවේ, කලින් ගනුලැබු ණය සඳහා පොලී ගෙවීමට භාණ්ඩාගාර බිල්පත් සහ බැඳුම්කර නිකුත් කිරීම මගින් ණය ලබා ගැනීම සිදුවන බව ය.

“අපේ කලින් ගත්ත ණය පියවන්න තමා ණය ගන්න වෙන්නේ. අපේ ආදායම ප්‍රමාණතවත් නැහැ වියදමත් එක්ක. අපේ වියදමෙන් 50%ක් විතර වෙන්නේ ණයවල පොලිය.” ඔහු සඳහන් කළේය.

“පොලිය තමා අපේ වියදමෙන් 50%ක්ම තියෙන්නේ.”

“ණය නිතරම කල්පිරෙනවා. හැම තිස්සේම කලින් රජය ණය ගන්න ඇත්තේ ඊට කලින් රජය ගත්ත ණය සහ පොලිය ගෙවන්න. ඉතින් මේ රජයට ණය ගන්න වෙන්නේ කලින් රජය ගත්ත ණය සහ පොලිය ගෙවන්න. මේක බොහෝම චක්‍රයක් වගේ වැඩි වෙමින් යනවා. මෝකද අපේ පොලිය වියදමෙන් 50% විතර තියෙන නිසා. එක තමා නිතරම සතිපතා භාණ්ඩාගාර බිල්පත් සහ බැඳුම්කර හරහා ණය ගන්න වෙන්නෙන්.”

“බදු වලින් එකතු කරන සල්ලි වැටුප් හා ආරක්ෂාක ඇතුළු රජයේ වියදම් වලට ගිහාම ණය සහ පොලිය ගෙවන්න රජයට මුදල් ණයට ගන්න සිද්ධ වෙනවා.” ධනනාත් ප්‍රනාන්දු සඳහන් කළේය.

Leave A Comment