අත්‍යවශ්‍ය ආහාර බෙහෙත්-පාසල් උපකරණවලට වැට් 0% කිරීමට රජයේ අවධානය

අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය, බෙහෙත් සහ අභ්‍යාස පොත් ඇතුළු පාසල් උපකරණ සඳහා අය කරන වැට් බද්ද සියයට බින්දුව කිරීම කෙරෙහි රජයේ අවධානය දැඩිව යොමු කරන බව ජනාධිපති ආර්ථික සහ මූල්‍ය කටයුතු පිළිබඳ ජ්‍යෙෂ්ඨ උපදේශක මහාචාර්ය අනිල් ජයන්ත මහතා ප්‍රකාශ කළේය.

ශ්‍රී ලංකා ව්‍යාවසාය සංවර්ධන කවුන්සලයේ සභාපතිනි සෂිකා ද සිල්වා මහත්මිය විසින් සංවිධානය කරනු ලැබූ ගම්පහ දිස්ත්‍රික් ව්‍යවසායක හමුව ඊයේ (07) මිරිස්වත්තේදී පැවති අවස්ථාවට සහභාගි වෙමින් මහාචාර්යවරයා මේ බව කියා සිටියේය.

පොත්පත්වලට වැට් බදු අයකරන ලෝකයේ එකම රට ලෙස ශ්‍රී ලංකාව හැඳින්වෙන බව මෙම අවස්ථාවට එක්වූ ගම්පහ මින්සර ව්‍යාපාරයේ අධිපතිවරයා ප්‍රකාශ කළේය. ඒ අනුව ඔහු ඉල්ලා සිටියේ පාසල් උපකරණවලින් වැට් බද්ද ඉවත් කිරීමට කටයුතු කරන ලෙසය.

මීට පිළිතුරු ලබාදුන් මහාචාර්ය අනිල් ජයන්ත මහතා “අප මේ වනවිට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ විස්තීරණ ණය පහසුකමක් ලබාගෙන එකඟතා මාලාවකට එළඹ තිබෙනවා. ඒ අනුව යම් යම් මිණුම් දඬු සපුරාලීමට එකඟ වී තිබෙනවා. වසර 2025 මෙරට රාජ්‍ය ආදායම දළ දේශීය නිෂ්පාදිතයේ ප්‍රතිශතයක් ලෙස 15%ක් දක්වා වැඩිකර ගැනීමට ඉලක්ක කොට තිබෙනවා.

මෙම ඉලක්කය ජය ගැනීමට නම් වැට් බදු වැනි වක්‍ර බදු අය කර ගැනීම කළ යුතුයි. එහි දී පාසල් උපකරණ මෙම බද්දෙන් නිදහස් කර ගැනීම පිළිබඳ ඉතා සියුම්ව අධ්‍යයනය කළ යුතුයි. ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ප්‍රධාන අප අයි.එම්.එෆ්. සමඟ කළ සාකච්ඡාවේදී මේ සම්බන්ධයෙන් කතා කළා. දැනට 18%ක් වන මේ අංශයෙන් අය කරන වැට් බද්ද 0% කරනවාට වඩා ප්‍රතිශත සියයට හතක්, පහක් දක්වා අඩු කිරීම එක් යෝජනාවක් වුණා.

තවත් යෝජනාවක් වූයේ පාසල් දරුවන්ට උපකරණ මිල දී ගැනීමට මූල්‍ය ප්‍රදානයක් ලබා දීමයි. මෙවැනි යෝජනා අප ඉදිරියේ තිබෙනවා. නමුත් එකවරම ඒ සම්බන්ධයෙන් අවසන් තීරණයක් ගැනීමට තවමත් තීන්දුවක් ගෙන නැහැ. නමුත් රජය ප්‍රතිපත්තියක් වශයෙන් අතවශ්‍ය ආහාර ද්‍රව්‍ය බෙහෙත් සහ පාසල් පොත්, පාසල් උපකරණ සඳහා අය කරන වැට් බද්ද සියයට බින්දුව කිරීමට හැකි පළමු අවස්ථාවේදීම පියවර ගන්නවා” යැයි මහාචාර්යවරයා කීය.

මෙම අවස්ථාව අමතා ජාතික ජන බලවේගයේ ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු ධුර අපේක්ෂක මහින්ද ජයසිංහ, සෂිකාද සිල්වා ඇතුළු ව්‍යවසායකයන් කිහිප දෙනෙක්ද කතා කළහ.

DN

Leave A Comment