5 ශිෂ්‍යත්ව ප්‍රතිඵල අත්හිටුවමින් අතුරු තහනමක්

පෙත්සම් විභාගය අවසන් වන තෙක්
පසුගිය සැප්තැම්බර් 15 වැනිදා පැවැත්වූ පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීම ප්‍රශ්න පත්‍ර ඇගයීම් කටයුතු සිදුකිරීම, කඩඉම් ලකුණු නිකුත් කිරීම හා විභාගයට පෙර අන්තර්ජාලය හා සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ ප්‍රචාරය වූයේ යැයි කියන ප්‍රශ්න කීපය සඳහා සියලුම සිසු සිසුවියන්ට සම්පූර්ණ ලකුණු ලබාදීමට අධ්‍යාපන බලධාරීන් ගත් තීරණය ක්‍රියාත්මක කිරීම පෙත්සම් විභාගය අවසන් වනතුරු වළක්වමින් ශ්‍රේෂ්ඨාධිකරණය ඊයේ (18දා) අතුරු තහනම් නියෝගයක් නිකුත් කළේය.

එම ශිෂ්‍යත්ව විභාගය පැවැති ආකාරය අභියෝගයට ලක් කරමින් හා විභාගය නැවත පැවැත්වීමට බලධාරීන්ට නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා එම විභාගයට පෙනී සිටි සිසු සිසුවියන් හා ඔවුන්ගේ දෙමාපිය භාරකරුවන් පිරිසක් ගොනු කර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සම් හතරක් කැඳවූ අවස්ථාවේදී පෙත්සම්කරුවන් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ සාලිය පීරිස්, ජනාධිපති නීතිඥ සංජීව ජයවර්ධන යන මහත්වරුන් ඇතුළු නීතිඥවරුන් කළ කරුණු දැක්වීම් සලකා බැලූ ප්‍රීති පද්මන් සූරසේන, අචල වෙන්ගප්පුලි හා මහින්ද සමයවර්ධන යන මහත්වරුන්ගෙන් සමන්විත විනිසුරු මඬුල්ල එම අතුරු තහනම් නියෝග නිකුත් කළේය.

එම පෙත්සම්වල වග උත්තරකරුවන් ලෙස විභාග කොමසාරිස් ජනරාල්වරයා ඇතුළු නියෝජ්‍ය කොමසාරිස් ජනරාල්වරුන්, අගමැතිනි හා අධ්‍යාපන ඇමැතිනි ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය, එම අමාත්‍යාංශයේ ලේකම්වරයා, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාර නියෝජ්‍ය පොලිස්පතිවරයා හා දෙපාර්තමේන්තුව භාර අධ්‍යක්ෂවරයා, වැඩබලන පොලිස්පතිවරයා හා නීතිපතිවරයා ඇතුළු පිරිසක් නම් කර තිබිණි.

පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය යනු රජයේ පාසල්වල ඉගෙනුම ලබන සිසු සිසුවියන්ට ඉතා වැදගත් විභාගයක් බවත් පළමු ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න තුනක් පමණක් අයුතු ලෙස පිටවී ඇති බව අධ්‍යාපන බලධාරීන් ප්‍රකාශ කළත් සැබැවින්ම එයට වඩා ප්‍රශ්න විශාල ප්‍රමාණයක් පිටවී ඇති බැවින් පළමු ප්‍රශ්න පත්‍රය නැවත පැවැත්වීමට යෑම යුක්තිය ඉටුකළ හැකි එකම විසඳුම බව පෙත්සම්කරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥ මඬුල්ල අධිකරණයට පෙන්වා දුන්නේය.

අධ්‍යාපන අමාත්‍යවරිය ඇතුළු වගකිවයුතු බලධාරීන්ගෙන් ඒ පිළිබඳව උපදෙස් ලබාගෙන ඔවුන්ගේ මතය ඊළඟ නඩු දිනයේදී අධිකරණයට දැනුම්දීමට පියවර ගන්නා බව නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජනරාල් ජනාධිපති නීතිඥ විරාජ් දයාරත්න මහතා විනිසුරු මඬුල්ලට පැවසීය. ඒ අනුව එම පෙත්සම් ලබන දෙසැම්බර් 2 වැනිදා යළි කැඳවීමට විනිසුරු මඬුල්ල දින නියම කළේය.

නීතිඥ අංජන රත්නසිරි, සරින්ද ජයවර්ධන, ක්‍රිෂ්මාල් වර්ණසූරිය, ජනාධිපති නීතිඥ සාලිය පීරිස්, ජනාධිපති නීතිඥ සංජීව ජයවර්ධන යන මහත්වරුන් ඇතුළු නීතිඥ මණ්ඩලයක් පෙත්සම්කරුවන් වෙනුවෙන් පෙනී සිටියහ.

ඒ.ජේ.ඒ. අබේනායක

 

Leave A Comment