දේශබන්දුට එරෙහිව හරිනිලාගේ පෙත්සම ජනවාරි 30 දා කැඳවයි

පාර්ලිමේන්තුවට පිවිසෙන පොල්දූව මංසන්ධියේදී ඉකුත් වසරේදී ජාතික ජන බලවේගයේ කාන්තාවන් පිරිසක විසින් පැවැත් වූ සාමකාමී විරෝධතාවට ප්‍රහාර එල්ල කිරීමෙන්සිය මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය කළේ යැයි චෝදනා කරමින් එවක වැඩබලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් ඇතුළු පොලිස් නිලධාරීන් පිරිසකට එරෙහිව අගමැතිනි හරිනි අමරසූරිය මෙනවිය ඇතුළු පිරිසක් විසින් ගොනු කරන ලද මූලික අයිතිවාසිකම් පෙත්සමක් ජනවාරි මස 30 වැනිදා කැඳවන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය නියම කළේය.

මෙම පෙත්සම ඊයේ (22) යසන්ත කෝදාගොඩ, අචල වෙංගප්පුලි, ප්‍රියන්ත ප්‍රනාන්දු යන මහත්වරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඬුල්ල ඉදිරියේ කැඳවනු ලැබිණි.

එම අවස්ථාවේදී පෙත්සම්කාර පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ සාලිය පීරිස් මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් සිද්ධියේදී අත්අඩංගුවට ගත් පිරිසකට එරෙහිව මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ නඩු කටයුත්තක් පැවැත්වෙන බවත් එම නඩු කටයුත්ත ඉල්ලා අස්කර ගන්නේ නම් මෙම පෙත්සම තවදුරටත් පවත්වාගෙන යන්නේද? යන කරුණු සම්බන්ධයෙන් තීරණයක් ගත හැකි බවත් කියා සිටියේය.

එම අවස්ථාවේදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් මාධව තෙන්නකෝන් මහතා මීට අදාළව වගඋත්තරකරුවන්ගෙන් උපදෙස් ලබා ගත යුතු බව සඳහන් කළේය.

ඒ අනුව පෙත්සම යළි ජනවාරි මස 30 වැනි දා කැඳවීමට නියෝග කළ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල එදින මෙම කටයුතුවල ප්‍රගතිය දැනුම් දෙන ලෙසත් දෙපාර්ශ්වයේ නීතිඥවරුන්ට නියෝග කළේය.

වත්මන් අගමැති ආචාර්ය හරිනි අමරසූරිය, පාර්ලිමේන්තු මන්ත්‍රීනි නීතිඥ නිලන්ති කොට්ටහච්චි ඇතුළු ජාතික ජන බලවේගයේ කාන්තා ක්‍රියාකාරිනියන් පිරිසක් විසින් මෙම පෙත්සම ගොනු කර ඇත.

එහි වගඋත්තරකරුවන් ලෙස එවක වැඩබලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්, වැලිකඩ, තලංගම, මිරිහාන යන පොලිසිවල ස්ථානාධිපතිවරුන්, නුගේගොඩ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයා ඇතුළු පිරිසක් නම් කර ඇත.

2023 වසරේ දෙසැම්බර් මස 04 වැනිදා කාන්තා කටයුතු අමාත්‍යාංශයේ වැය ශීර්ෂ විවාදය පැවැති අවස්ථාවේ දී කාන්තාවන් මුහුණ දෙන ගැටලු පිළිබඳව ජනතාව දැනුවත් කිරීම සඳහා පාර්ලිමේන්තුවට පිවිසෙන පොල්දූව මංසන්ධියේ තමන් රැස්වී සාමකාමී විරෝධතාවක් පැවැත්වූ බව පෙත්සම්කරුවෝ ප්‍රකාශ කරති.

එම අවස්ථාවේදී පොලිසිය විසින් කිසිදු සාධාරණ හේතුවක් නොමැතිව රැස් ව සිටි පිරිසට එරෙහිව ජල ප්‍රහාර එල්ල කර සාමකාමී විරෝධතාව විසුරුවා හැරීමට කටයුතු කළ බවත් පෙත්සම්කරුවෝ චෝදනා කරති.

මේ තුළින් සිය මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වී ඇති බවට තීන්දුවක් ලබාදෙන ලෙසත් පෙත්සමෙන් ඉල්ලා ඇත.

ඒ. ජේ. ඒ. අබේනායක

 

Leave A Comment