වියදම් වාර්තා නොදුන් අපේක්ෂකයන් ගැන උසාවියෙන් සොයයි

පසුගිය සැප්තැම්බර් 21 වැනිදා පැවති මැතිවරණයට ඉදිරිපත් වී මැතිවරණ වියදම් නියාමන පනත යටතේ නිසි වියදම් පිළිබඳ වාර්තා ඉදිරිපත් නොකළ අපේක්ෂකයන් සහ ඔවුන්ගේ නියෝජිතයන් පිළිබඳ විමර්ශන පවත්වා ප්‍රගතිය තම අධිකරණයට වාර්තා කරන ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් මංජුල රත්නායක මහතා ඊයේ (13දා) කොළඹ වංචා විමර්ශන කාර්යාංශයට නියෝග කළේය.

මැතිවරණ කොමිසම විසින් කරන ලද පැමිණිලි හතක් සම්බන්ධයෙන් වංචා විමර්ශන කාර්යාංශය කළ කරුණු දැක්වීම් සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා විමර්ශනවල ප්‍රගතිය ලබන මාර්තු 14 වැනිදා ඉදිරිපත් කරනා ලෙසටද වැඩිදුරටත් නියේග කළේය.

2023 අංක 3 දරන මැතිවරණ වියදම් නියාමන පනත යටතේ ජනාධිපතිවරණයට තරග කළ අපේක්ෂකයන් හා ඔවුන්ගේ නියෝජිතයන් විසින් ජනාධිපතිවරණයේදී තමන් වියදම් කළ සියලු වියදම් පිළිබඳව සවිස්තර වාර්තාවක් ඔක්තෝබර් මස 13 වැනිදා මැතිවරණ කොමිසම වෙත ඉදිරිපත් කළ යුතු බවත්, එහෙත් ඇතැම් අපේක්ෂකයන් හා ඔවුන්ගේ නියෝජිතයන් ඒ අනුව මෙතෙක් කටයුතු කර නොමැති බවට මැතිවරණ කොමිෂන් සභාව පැමිණිලි කර ඇති බවත් එම කාර්යාංශය අධිකරණයට පැවසීය. එලෙස වියදම් නිසියාකාරව ඉදිරිපත් නොකිරීම 2023 අංක 3 දරන පනත යටතේ දඬුවම් ලැබිය යුතු වරදක් වන්නේ යැයිද එමගින් එම කාර්යාංශය වැඩිදුරටත් අධිකරණයට පෙන්වා දුන්නේය.

ඒ.ජේ.ඒ. අබේනායක

Leave A Comment