මේ වසරේ රට රැකියා ලක්ෂ 3 පනී

මෙම වසරේ (2024) ගතවූ කාලයේදී රැකියා සඳහා විදේශ ගතවූ ශ්‍රී ලාංකිකයන් ගණන ලක්ෂ 3 ඉක්මවා ඇත. සිකුරාදා (13 දා) වනවිට එම ගණන 300,162කි.

පසුගිය වසර 10ක කාලයකදී ශ්‍රමිකයන් ලක්ෂ 3ක ප්‍රමාණය ඉක්මවා ගිය දෙවන අවස්ථාව මෙය වෙයි. මීට පෙර 2022 වර්ෂයේදී ශ්‍රමිකයන් 310,948 දෙනකු රැකියා සඳහා විදේශ ගතවී තිබේ.

2024 වර්ෂයේදී පිරිමි ශ්‍රමිකයන් 177,804 හා කාන්තාවන් 122,358 දෙනකු රැකියා සඳහා විදේශ ගතවී තිබේ. අදාළ කාලය තුළ විදේශ ගතවූ මුළු සංඛ්‍යාවෙන් කාන්තාවන් රැකියා සඳහා විදේශ ගතවීම සියයට 40.7ක් වන අතර පිරිමි ශ්‍රමිකයන් විදේශ ගතවීම මුළු සංඛ්‍යාවෙන් සියයට 60ක් දක්වා ඉහළ ගොස් තිබේ.

මෙම කාලයේ ස්වයං මාර්ගයෙන් විදේශ ගතවූ ප්‍රමාණය 184,140ක් වන අතර විදේශ රැකියා නියෝජිතායතන මාර්ගයෙන් 116,022 දෙනෙකු විදේශ ගතවී තිබේ.

ශ්‍රී ලාංකිකයන් වැඩි වශයෙන් රැකියා සඳහා විදේශ ගතවී ඇත්තේ කුවේට් රාජ්‍යයට වන අතර එම ගණන 73,995කි. දෙවනුව වැඩි වශයෙන් විදේශ ගතවී ඇත්තේ එක්සත් අරාබි එමීර් රාජ්‍යයට වන අතර, එම ගණන 49,499කි.

පෙර වර්ෂවලට සාපේක්ෂව දකුණු කොරියාව, ඊශ්‍රායලය, රුමේනියාව හා ජපානය වැනි රටවල රැකියා සඳහා ශ්‍රී ලාංකිකයන් යොමුවීමේ වැඩි නැඹුරුවක් පෙන්නුම් කෙරේ. ඒ අනුව 2024 වර්ෂය තුළදී දකුණු කොරියාවේ රැකියා සඳහා ලාංකිකයන් 7,002 දෙනෙකු ද, ඊශ්‍රායලයේ රැකියා සඳහා 9,211 දෙනෙකු ද, රුමේනියාවේ රැකියා සඳහා 10,274 දෙනෙකු හා ජපානයේ රැකියා සඳහා 8,251 දෙනෙකු පිටත්ව ගොස් තිබේ.

2024 වර්ෂය අවසානය වනවිට රැකියා සඳහා විදෙස් ගතවන ශ්‍රී ලාංකිකයන් ගණන 311,000 ඉක්මවා යනු ඇතැයි විදේශ සේවා නියුක්ත කාර්යාංශය අපේක්ෂා කරයි.

විදෙස්ගත ශ්‍රමිකයන්ගෙන් මෙරටට ලැබෙන විදේශ විනිමය ප්‍රමාණය ද මෙම කාලසීමාවේදී සැලකිය යුතු ප්‍රමාණයකින් ඉහළ ගොස් ඇත. ඒ අනුව 2024 නොවැම්බර් මාසය දක්වා ඇමෙරිකානු ඩොලර් මිලියන 5961.6ක් මෙරටට ලැබී තිබේ.

divaina

 

Leave A Comment