මනූෂගේ මල්ලිට අහුවුණා නම් CIDයට එන්න – පොලීසියෙන් දැනුම් දීමක්
- 5opn1
- January 2, 2025
- දේශපාලන
- මනූෂගේ මල්ලිට අහුවුණා නම් CIDයට එන්න - පොලීසියෙන් දැනුම් දීමක්
- 0 Comments
හිටපු අමාත්‍ය මනූෂ නානායක්කාර මහතාගේ සහෝදරයා වන තිසර නානායක්කාර විසින් සිදු කර ඇති රට රැකියා වංචාවන්ට හසුවූ පුද්ගලයන්ට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණ ඒ ගැන පැමිණිලි කරන ලෙස පොලිස් මාධ්‍ය ප්‍රකාශක නීතිවේදී බුද්ධික මනතුංග මහතා සඳහන් කළේය. තිසර නානායක්කාර මහතාගේ බැංකු ගිණුම් පරීක්ෂා කිරීමේදී 2019 වර්ෂයේ සිට 2024 වර්ෂය දක්වා රුපියල් කෝටි 27කට ආසන්න මුදලක් විටෙන් විට බැරවී ඇති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විමර්ශන නිලධාරීන්ට පෙනී ගොස් ඇති බව ද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසීය.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මූල්‍ය අපරාධ විමර්ශන ඒකකය මඟින් හෙළිකරගෙන ඇති තොරතුරුවලට අනුව මෙම මුදල බැරවී ඇත්තේ අවස්ථා 28දීය. මෙසේ එම ගිණුමට මුදල් බැර කර ඇත්තේ විදේශ රැකියා අපේක්ෂාවෙන් සිටි පුද්ගලයන් විය යැකි බවත් එසේ මෙම සැකකරුට මුදල් දී වංචාවන්ට හසු වී සිටින අය වෙතොත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවට පැමිණ ඒ ගැන පැමිණිලි කරන ලෙසත් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් සඳහන් කළේය.
විදේශ රැකියා වංචාවක් සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් පසුගිය 28 වැනිදා අත්අඩංගුවටගත් තිසර නානායක්කාර මහතා ගම්පහ අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබන 06 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරනු ලැබීය.
විදේශ රැකියාවකට පුද්ගලයකු යොමු කරන බව සඳහන් කරමින් රුපියල් ලක්ෂ 30ක මුදලක් ගෙන වංචා කර ඇති බවට ඔහුට එරෙහිව චෝදනා එල්ල වී තිබේ.
ගයාන් කුමාර වීරසිංහ