දේශපාලන පන්දම් නිසා ඊශ්‍රායල රැකියා දහදාහක් අහිමි වෙලා

විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ සභාපති කියයි

සුදුසුකම් නැති අයත් රට යවලා / යැවූ අයත් වැඩබිම්වලින් පලා ගිහින්

දේශපාලනඥයන් විසින් පසුගිය කාලයේ කිසිඳු දැනුමක් නොමැති පිරිස් විදේශ රැකියා සඳහා යොමු කිරීම හේතුවෙන් 10,000ක් වූ ඊශ්‍රායල කෘෂි රැකියා කෝටාව මෙරටට අහිමි වූ බව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ සභාපති කෝශල වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කළේය.

පසුගිය රජය සමයේ සිටි දේශපාලනඥයන්, සුදුසුකම් නොමැති පුද්ගලයන් ඊශ්‍රායල් කෘෂිකාර්මික රැකියා සඳහා යොමුකිරීම නිසා එම ශ්‍රමිකයන් සේවා ස්ථානවලින් පලාගොස් වෙනත් රැකියාවල නිරතවීම හේතුවෙන් මේ තත්ත්වය උද්ගත වූ බව ද හෙතෙම කීවේය.

ඊශ්‍රායල් කෘෂි රැකියා සඳහා ශාරීරික යෝග්‍යතා පරීක්ෂණය සම්බන්ධයෙන් මාධ්‍ය වෙත විශේෂ පැහැදිලි කිරීමක් සිදුකරමින් සභාපතිවරයා මේ බව පැවසීය.

“දේශපාලඥයන් පොරොන්දු දීලා, මුදල් අරගෙන අවුරුදු දෙකක් තිස්සේ 5000ක විතර පිරිසක් බලා ඉන්නවා රට රස්සාවට යන්න. මෙයට පෙර නිසි නියාමනයකින් තොරව පුද්ගලයන් තැන් තැන්වලින් රැගෙන ඇවිත් පිටත් කරලා තියෙනවා. කාර්යාංශයටත් බලපෑම් කරමින් දේශපාලකයන්ගේ හිතවතුන් වාහනවලින්, බස්වලින් රැගෙන ඇවිත් තමයි යොමුකරලා තියෙන්නේ. එහෙම වුණාම රටක් විදිහට රැකියා වෙ‍ෙළඳපොළ අපි රැකගන්නේ කොහොම ද, අපි ඒකට සුදුසු පියවර ගන්නවා. කවුරුහරි කියනවා නම් අපි අනවශ්‍ය දෙයක් කළේ කියලා එහෙම නැහැ” යැයිද හෙතෙම කීවේය.

“පසුගිය කාලයේ ඊශ්‍රායලයට ශ්‍රමිකයන් යවන්න 10,000ක පමණ කෝටාවක් ලැබී තිබුණා. ඉන් 2000ක් පමණ ශ්‍රමිකයන් ඊශ්‍රායලයට යොමුකරලා තිබුණා. නමුත් නිසි නියාමනයකින් තොරව නුසුදුසු ශ්‍රමිකයන් ඊශ්‍රායලයට යැවීම හේතුවෙන් ඔවුන් සිය වෘත්තිය කරන්නේ නැතුව සේවා ස්ථානවලින් බැහැර වෙලා විවිධ ස්ථානවල සේවය කරන පසුබිමක් නිර්මාණය වෙලා. ඒ හේතුවෙන් කෘෂි රැකියා කෝටාව නතර කරන්න ඊශ්‍රායල් රජය කටයුතු කරලා තිබුණා. අපි මේ රැකියා අවස්ථා යළි පණගන්වන්නේ කොහොම ද කියලා දීර්ඝ වශයෙන් සාකච්ඡා කළා. එහිදී ඔවුන් කිව්වේ මේ රැකියාවලට සුදුසු, ඊට සරිලන ශාරීරික යෝග්‍යතාවයෙන් යුත් ශ්‍රමිකයින් එවනවා නම් යළි සලකා බලන්න පුළුවන් කියලා.

ඒ නිසා අපි ශ්‍රී ලංකා යුද හමුදාව හා සෞඛ්‍ය අංශ සමඟ එකතු වෙලා සෞඛ්‍ය සම්බන්ධයෙන් තිබිය යුතු කාරණා නිසි නියාමනයකට යටත් කරලා වැඩපිළිවෙළක් හදලා පුද්ගලයන්ව අපි මාස එකහමාරක කාලයක් තිස්සේ දැනුම්වත් කළා. මේ රැකියා අවස්ථා අපිට නැතිවෙන්න යන්නේ, 5000ක විතර පිරිසක් පොරොන්දු වෙලා ඉන්නවා පහුගිය රජය යටතේ, වෛද්‍ය පරීක්ෂණවලට සල්ලි බැඳලා තියෙනවා, පුහුණු වෙලා තියෙනවා. කණකර ආභරණ උගස් තියලා සල්ලි බැඳලා තියෙනවා. ඒකෙදි අපි තීරණය කළා මේ හැම ප්‍රශ්නයකටම විසඳුමක් වශයෙන් කතා කරලා මේ රැකියා ලබාගන්න වැඩපිළිවෙළක් සකසන්න.

ඒ අනුව කලින් සඳහන් කරපු නිර්ණායක අනුව මේ වැඩපිළිවෙළ ක්‍රියාත්මක කරන්න අපි මේ රැකියා අපේක්ෂිතයන් කැඳවලා දැනුම්වත් කරලා සාකච්ඡා වට කිහිපයක්ම පැවැත්වුවා. රැකියා අවස්ථා යළි ලබාගන්න නම් මේ වගේ වැඩපිළිවෙළක් තමයි ක්‍රියාත්මක කරන්න වෙන්නේ යැයිද ඒ මහතා පැවසුවේය.

මහින්ද අලුත්ගෙදර

Leave A Comment